ජාත්‍යන්තර සම්බන්ධතා (International Relations)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


ජාතික දේශසීමා ඉක්මවා යමින් ලෝකයේ වෙනස් ප‍්‍රදේශ හා ජාතීන් සමග අන්තර්කි‍්‍රයා කරමින් බලපෑම් ඇති කරන්නාවූ ප‍්‍රතිපත්ති, වර්ධනයන් සහ මූලෝපාය හදාරන, සමාජීය විද්‍යා ශාඛාවකි. දැනට එය වෙන ම අධ්‍යයන විෂයයක් ලෙස ලෝකය පුරා උසස් අධ්‍යාපන ආයතනවල හැදෑරීම හා පර්යේෂණ පැවැත්වීම සිදු වේ.

සැලකිය යුතු කාලයක සිට ලෝකයේ ස්ථාපිත ව පැවැති ඉතිහාසය, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව හා භූගෝල විද්‍යාව වැනි සමාජීය විද්‍යා අතරට විසිවන සියවසේ මුල් දශකවල දී ඇතුළු වූ සමාජ අධ්‍යයන ක්ෂේත‍්‍රය ජාත්‍යන්තර සම්බන්ධතා ය. සමහර විද්වතුන් ජාත්‍යන්තර සම්බන්ධතා දේශපාලන විද්‍යාවේ ම අනුවිෂයයක් ලෙස හෝ එම විෂයයන් දෙක ම එකක් ලෙස සැලකීමට උත්සාහ දරා ඇතත් එය එතරම් පිළිගැනීමට ලක් වී නැත. ජාත්‍යන්තර සම්බන්ධතාහි අන්තර්විෂයීභාවය සලකන විට සමහර ඇමෙරිකානු විද්වතුන් විසින් ජාත්‍යන්තර අධ්‍යයන (International Studies) ලෙස හැඳින්වීම නම් සමහර විට අර්ථාන්විත ය. කෙසේ වුව ද මේ වන විට මෙම සාපේක්ෂ වශයෙන් නව්‍ය වූ විෂයය ලෝකය පුරා ප‍්‍රචලිත වී ඇත්තේ ජාත්‍යන්තර සම්බන්ධතා ලෙස ය.

ජාත්‍යන්තර සම්බන්ධතා යන්න 20 වන සියවසේ මුල් භාගයේ සිට ජාතීන් අතර නොහොත් රාජ්‍ය අතර සම්බන්ධතා හදාරන විෂයයකට යෙදෙන නම වශයෙන් භාවිතයට පැමිණිය ද ජාතීන් හෝ රාජ්‍ය හෝ අතර සම්බන්ධතා පමණක් නොව ඊට පෙර ශිෂ්ටාචාර අතර ද පැවැති විවිධ ආකාරයේ සම්බන්ධතා හෝ අන්තර් කි‍්‍රයා විද්වතුන්ගේ විග‍්‍රහයන්ට ලක්විය. ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයක් ලෙස ස්ථාපිත වීමට පෙර හා එය විෂයයක් වශයෙන් ස්ථාපිත වීමට පසුව වුවත් ජාත්‍යන්තර දේශපාලනය, ජාත්‍යන්තර කටයුතු හෝ ප‍්‍රශ්න, ජාත්‍යන්තර අධ්‍යයන, ජාත්‍යන්තර නීතිය, ලෝක කටයුතු හෝ දේශපාලනය, ගෝලීය කටයුතු හෝ දේශපාලනය සහ ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකය නැතහොත් පද්ධතිය යන්න ද ව්‍යවහාර වනු දක්නට ලැබේ. ඊට අමතර වශයෙන් ජාතීන් අතර සම්බන්ධතා සහ ජාතීන් අතර දේශපාලනය යන යෙදුම් ද භාවිතයට පැමිණීම දක්නට ලැබිණි. මෙම නම් සමහරක් ඍජුව ම විවිධ අධ්‍යයන ක්ෂේත‍්‍රයන්ට යෙදුණු අතර මේ අතරින් ‘ජාත්‍යන්තර සම්බන්ධතා’ යන්න ඒ සියල්ලෙන් වෙනස් වූ සුවිශේෂ ස්ථාපිත අධ්‍යයන ක්ෂේත‍්‍රයක නම බවට පත්වීමට යම් යම් හේතු බලපෑ අතර එම ස්ථාපිත විෂය ලෝකය පුරා පිළිගත් අධ්‍යයන විෂයයක් බවට ද පත්විය.

ජාත්‍යන්තර සම්බන්ධතා නොහොත් ජාතීන් අතර හෝ එබඳු සංස්ථිතීන් අතර සම්බන්ධතා ඉතා පැරණි වුව ද එම සම්බන්ධතා හදාරන ‘ජාත්‍යන්තර සම්බන්ධතා’ විෂය සමාජ අධ්‍යයන ක්ෂේත‍්‍රයක් වශයෙන් බොහෝ විෂයයන්ට වඩා නව්‍ය වූවකි. මෙම විෂයය ආරම්භ වූයේ කවදා ද යන්නට ස්ථිර පිළිතුරක් දීම අපහසු වුව ද එක්සත් රාජධානියේ වේල්ස් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයනය නිල වශයෙන් ආරම්භ වූ බව 1919 දී එම විෂයය පිළිබඳ මහාචාර්ය ධුරයක් ස්ථාපිත කිරීමෙන් පැහැදිලි වේ. මෙම වර්ෂය පළමුවන ලෝක සංග‍්‍රාමය අවසානය දුටු වර්ෂය වූ අතර ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයක් වශයෙන් වෙන ම හැදෑරීම සඳහා උනන්දුවක් ඇති වීමට පළමු ලෝක යුද්ධය ද ඉමහත් ලෙස බලපෑ බව පැහැදිලිව දක්නට ලැබිණි. මිනිස් ඉතිහාසය පුරා ම යුද්ධ හා ගැටුම් දැකීමට ලැබුණු නමුත් පළමු ලෝක යුද්ධය වූ කලි එම සියලූ යුද්ධවලට වඩා ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් වෙනස් වූවකි. ඉන් සිදු වූ ජීවිත සහ දේපළ හානිය කෙතරම් විශාල වී ද යත් සංවේදී විද්වතුන් ඇතුළු බොහෝ දෙනාට යළිත් මෙබඳු යුද්ධයක් ඇති වීම වැළැක්වීම අත්‍යවශ්‍ය දෙයක් බව කල්පනා විය. එලෙස ගත් විට යුද්ධ ඇතිවීම වැළැක්වීමටත් සාමය හා ස්ථාවරතාව පවත්වා ගැනීමටත් කවර පියවර ගත යුතුදැයි සිතා බැලීමත් සමගින් ඒ සඳහා යුද්ධය හා සාමය යන්න විධිමත් ලෙස අධ්‍යයනය කළ යුතු බවත් යුද්ධයෙහි නියම හේතු සොයා බැලිය යුතු බවත් සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා යෝග්‍ය ආයතන හා නීති ස්ථාපිත කර ගත යුතු බවත් විද්වත් පිරිස්වලට අවබෝධ විය. පළමු ලෝක යුද්ධයෙන් පසුව මෙතෙක් වෙනත් විෂයයන්ගේ කොටස් වශයෙන් පැවැති ජාතීන් අතර සම්බන්ධතා අධ්‍යයනය වෙන ම විෂයයක් ලෙස පැන නැගීම මේ ආකාරයෙන් පළමු ලෝක යුද්ධයේ ප‍්‍රතිඵලයකැයි කිව හැකි ය.

ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයක් වශයෙන් වැඞීමත් සමග එම සම්බන්ධතාවල විවිධ පැතිකඩ අධ්‍යයනය කිරීම ගැන ද අවධානය යොමු වූ අතර විවිධ නිර්වචන ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව සපයනු ලැබිණ. කේ. ජේ. හොල්ස්ටි (K.J.Holsti) ජාත්‍යන්තර සම්බන්ධතා නිර්වචනය කළේ ‘අඩු වැඩි වශයෙන් විධිමත් කරන ලද කි‍්‍රයාවලියකට අනුව සැලකිය යුතු නිරන්තර භාවයකින් අන්තර් කි‍්‍රයා කරන්නාවූ ස්වෛරී දේශපාලන සංස්තිථි සමූහයක් නොහොත් ජාත්‍යන්තර පද්ධතිය පිළිබඳ අධ්‍යයනයක්’ ලෙස ය. එක් එක් රාජ්‍ය වෙන වෙන ම ගත් කල සාපේක්ෂ වශයෙන් ස්වෛරී නමුත් සියල්ල එකට ගත් විට පොදු ව්‍යූහයක්, සීමාවන් හා කි‍්‍රයාවලියක් ද සමහර විට පොදු නීති හා ආයතන ද සහිතව පද්ධතියක් (System) නිර්මාණය කරති යි යන්න ද මින් ගම්‍ය කෙරේ.

කේ. ඩබ්ලිව්. තොම්සන් (K.W.Thompson) නිර්වචනය කළේ ‘ජාතීන් අතර තරගකාරී ප‍්‍රතිවිරෝධතාව හා එය වඩාත් යහපත් හෝ උද්දීපනය කරන්නා වූ තත්ත්වයන් හෝ ආයතන අධ්‍යයනය කිරීම’ යනුවෙනි. ‘ජාතික දේශ සීමා හරහා සිදුවන සත්‍ය සම්බන්ධතා නැතහොත් දෙන ලද ඕනෑම කාලයක් තුළ ඒවා පිළිබඳ අපට ඇති දැනුම්කාය’ යනුවෙන් ජෝන් ඩන් (John Dunn) ජාත්‍යන්තර සම්බන්ධතා නිර්වචනය කරයි. විෂයයෙහි විග‍්‍රහයට ලක්විය යුතු අංශ සැලකිල්ලට ගනිමින් ස්ටැන්ලි හොෆ්මන් (Stanley Hoffman) දක්වන පරිදි ජාත්‍යන්තර සම්බන්ධතා, බාහිර ප‍්‍රතිපත්ති කෙරෙහි බලපාන්නාවූ සාධක හා කි‍්‍රයාකාරකම් ද ලෝකය බෙදී ඇත්තා වූ මූලික ඒකකයන්ගේ බලය ද සැලකිල්ලට ගනී. මෙහි මූලික ඒකක ලෙසින් හැඳින්වෙන්නේ රාජ්‍ය හෝ ජාතීන් ම ය. ඒවායේ බලය පිළිබඳව ද සඳහන් කරන විට සාමාන්‍යයෙන් දේශපාලන යථාර්ථවාදී ගුරුකුලය අවධානය කොට දක්වන බල දේශපාලනය (Power Politics) ද ගම්‍ය කෙරේ. ක්වින්සි රයිට් (Quincy Wright) ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයනයට වඩාත් වැදගත් එකතුවක් කරමින් එය ජාතීන් අතර සම්බන්ධතාවලට පමණක් සීමා නොකොට ‘ලෝකයේ විවිධ සංස්ථිතීන් අතර සම්බන්ධතා’ දක්වා පුළුල් කිරීමට අදහස් කෙළේ ය. ‘ජාත්‍යන්තර සම්බන්ධතා විධිමත් කිරීමට උත්සාහ කරන්නේ ජාතීන් පමණක් නොවේ’ යනුවෙන් ක්වින්ස් රයිට් පෙන්වා දෙන අතර ‘වඩාත් යථාර්ථවාදී වීමට නම් ‘ජාත්‍යන්තර සම්බන්ධතා’ අධ්‍යයනයේ දී විවිධ වර්ගයේ පිරිස්, ජාතීන්, රාජ්‍ය, ආණ්ඩු, ජනතාව, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන පමණක් නොව කාර්මික සංවිධාන ද ආගමික සංවිධාන ද සංස්කෘතික සංවිධාන ද සැලකිල්ලට ගත යුතු ය.’ මෙම නිර්වචනයෙහි වැදගත්කම නම් රාජ්‍ය නම් වූ සංවිධානය හැරුණු විට වෙනත් රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන ද ජාත්‍යන්තර සම්බන්ධතා ක්ෂේත‍්‍රයට ඇතුළු කිරීම ය. නූතන ජාත්‍යන්තර සම්බන්ධතා විස්තාරණය වී ඇති පුළුල් ක්ෂේත‍්‍රය හා ජාත්‍යන්තර දේශපාලනයෙහි කැපී පෙනෙන කාර්යභාරයක් ඉෂ්ට කරන හා ක‍්‍රමයෙන් වර්ධනය වන රාජ්‍ය නොවන සංවිධාන සැලකිල්ලට ගැනීම යෝජනා කිරීම වැදගත් වේ. මෙම සියලූ නිර්වචන පරිසමාප්ත ම නිර්වචන නොවූව ද ජාත්‍යන්තර සම්බන්ධතා විෂයය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වන බව කිව හැකි ය. ජේම්ස් රෝස්නෝ (James Rosenau) ජාත්‍යන්තර සම්බන්ධතා විශ්ලේෂණයේ දී ලෝකයෙහි එක් ගුණාත්මක ලක්ෂණයක් අවධානයට යොමු කරමින් ‘විකේන්ද්‍රගත සමාජ වටපිටාව’ (Decentralized milieu) සැලකිල්ලට ගත්තේ ය. මෙයින් පැහැදිලි වන්නේ අවශ්‍ය නම් ජාත්‍යන්තර සම්බන්ධතා ජාතීන් හෝ රාජ්‍ය වශයෙන් හඳුන්වන සංස්ථිතීන්ට සීමා කරමින් පටු නිර්වචනයක් සැපයිය හැකි අතර ලෝකයේ ජාතීන් හා රාජ්‍යයන්ට අමතරව බිහි වූ රාජ්‍ය නොවූ ආයතන හා සංවිධාන ද ඇතුළත් කොට පුළුල් නිර්වචනයක් ද කළ හැකි බව ය. වෙනත් අයුරකින් කිවහොත් ජාත්‍යන්තර සම්බන්ධතා, රාජ්‍යයන්ගේ වරලත් කොටස් විසින් පවත්වාගෙන යන දේශපාලන හා රාජ්‍යතාන්ති‍්‍රක සම්බන්ධතාවලට සීමා නොකොට ජාතික හා ජාත්‍යන්තර ආණ්ඩු නොවන සංවිධාන (Non Governmental Organizations) සහ බහුජාතික ආයතන මෙන් ම බලපෑම් සහිත විවිධ ව්‍යාපාර, සංවිධාන හා පුද්ගලයන් ද ඇතුළු කොට ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයනයෙහි විෂයය ක්ෂේත‍්‍රය විස්තාරණය කළ හැකි බව ය. මෙය විශේෂයෙන් නූතන ලෝකයේ විවිධ වර්ධනයන් හමුවෙහි අවශ්‍යතාවක් ද වේ.

ජාත්‍යන්තර සම්බන්ධතා සමාජ අධ්‍යයන විෂයයක් වශයෙන් ගත් කල මූලික වශයෙන් ප‍්‍රතිපත්ති අධ්‍යයන (Policy Studies) ගණයට අයත් වූවකි. මෙහි දී සැලකිල්ලට ගැනෙන්නේ රාජ්‍ය ඒකකයක හුදු අභ්‍යන්තර ප‍්‍රතිපත්ති නොව බාහිර බලපෑමක් ඇති කරන නොහොත් වෙනත් රාජ්‍ය, ආයතන හා සංස්තිථීන් මෙන් ම ජනකොටස් කෙරෙහි ද බලපෑමක් ඇති කරන හා ප‍්‍රතිකි‍්‍රයාවන්ට තුඩු දෙන ප‍්‍රතිපත්ති ය. පොදු ව්‍යවහාරයේ මේවා විදේශ ප‍්‍රතිපත්ති (Foreign Policies) කියා ද හැඳින්වේ.

ප‍්‍රතිපත්ති යන්න භාවිතයෙන් වෙන් කළ නොහැකි හෙයින් ප‍්‍රතිපත්ති හා බැඳුණු තීරණ (decisions) හා කි‍්‍රයා (acts) ද විමර්ශනයට ලක් කිරීම අනිවාර්ය වේ. මෙම විමර්ශනයක දී ‘සිදුවන්නේ කුමක් ද’ යන්න අවබෝධ කර ගැනීමත් පැහැදිලි කිරීමත් අවශ්‍ය නම් එහි ප‍්‍රතිඵල පෙර දැකීමත් ජාත්‍යන්තර සම්න්ධතා විෂයය තම කාර්යය ලෙස සලකයි. මේ සඳහා ප‍්‍රවේශ වන්නේ කෙසේ ද නැතහොත් කුමන දෘෂ්ටියකින් මෙම පැහැදිලි කිරීම් කළ යුතු ද යන්න ද වැදගත් වන බැවින් වෙනත් විෂයයන්ටත් වඩා ජාත්‍යන්තර සම්බන්ධතා විෂයය තමන් තෝරා ගන්නා ප‍්‍රවේශ, න්‍යාය හා ක‍්‍රමවේද ද සැලකිය යුතු ප‍්‍රමාණයකින් සාකච්ඡුා කිරීම සිරිතක් කරගනී.

මේ අනුව ජාත්‍යන්තර සම්බන්ධතා තම ප‍්‍රමුඛ පාත‍්‍රයන් වූ රාජ්‍යයන්ගේ ව්‍යූහය, ජාත්‍යන්තර පාත‍්‍රයකු ලෙස කි‍්‍රයා කිරීම සඳහා රාජ්‍යයක් සතු විය යුතු දේශපාලනික වූත් නෛතික වූත් මූලිකාංග හා හැකියා තම මූලික අවධානයට යොමු කරන අතර, රාජ්‍යයන් කි‍්‍රයා කරන සන්දර්භය වූ ජාත්‍යන්තර පද්ධතිය (International System) ද එහි මූලිකාංග වූ පද්ධති ව්‍යූහය, සීමා, කි‍්‍රයා විධි හා අරමුණු ද පද්ධතිය හා ඒකක අතර විපර්යස්ත සම්බන්ධය ද එම සම්බන්ධතා පැහැදිලි කිරීමට ඉවහල් වන න්‍යායයන් ද සැලකිල්ලට ගනී. රාජ්‍යන්තර සම්බන්ධතාවන්හි කේන්ද්‍රීය සාධක වූ බලය, බල තරගය (Power Rivalry) හා ජාතික අභිලාෂය (National Interest) ද ඒ හා නොබෙදිය හැකි ලෙස බැඳී පවතින ආරක්ෂාව (ජාතික හා ජාත්‍යන්තර), බල තුලනය (Balance of Power), අවරෝධනය (Deterrence) රාජ්‍යතාන්ති‍්‍රක ගනුදෙනු විෂය ක්ෂේත‍්‍රයෙහි වැදගත් තැනක් ගනී. රාජ්‍ය චර්යාව සාමාන්‍යයීකරණය කොට අවබෝධ කර ගැනීම අවශ්‍ය ලෙස සලකන කි‍්‍රයා විධියක් වූ අනුකලනය හෝ ඒකාග‍්‍රකරණය (Integration) එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි බලපෑමට උත්සාහ කිරීමක් වූ මැදිහත් වීම (Intervention) හා ප‍්‍රචණ්ඩ ලෙස ප‍්‍රශ්න විසඳා ගැනීමේ වෑයමක ප‍්‍රතිඵලය වූ යුද්ධය හා එහි අවසාන ඉලක්කය වූ සාමය ද මෙම එකිනෙක වෙනස් චර්යාවන්ගේ ප‍්‍රතිඵල වූ කලාපීය හා ජාත්‍යන්තර සංවිධාන ද ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ක්ෂේත‍්‍රයට අයත් යැයි සැලකේ.

රාජ්‍ය හා ආණ්ඩු නොවන සංවිධාන, විවිධ ජන කණ්ඩායම්, දේශපාලන සමාජ හා ආර්ථික අභිලාෂ සාධනය කර ගැනීමට කි‍්‍රයාකරන බහු ජාතීය හා අධිජාතීය සංවිධාන හා ව්‍යාපාර මෙන් ම පුද්ගලයන් ද රාජ්‍ය සමග අන්තර් කි‍්‍රයා කිරීම නිසා ඒවා ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයට ම අයත් විශ්ලේෂණයට ලක් විය යුතු ප‍්‍රපංචයන් ය.


ඉතිහාසය

ජාත්‍යන්තර සම්බන්ධතා ඉතිහාසය දෙවිධියකින් සලකා බැලිය හැකි ය. එකක් නම් ජාත්‍යන්තර සම්බන්ධතා යැයි නූතනයෙහි නිර්වචනය කෙරෙන සම්බන්ධතා බිහිවීමට පෙර රාජ්‍ය, ජාතීන් හෝ ඊටත් පෙර පැවති ශිෂ්ටාචාර අතර පැවැති සම්බන්ධතා හෝ අන්‍යොන්‍ය ගනුදෙනු විස්තර කිරීම ය. දෙවැන්න නම් 20 වන ශතවර්ෂයේ බිහිවූ විෂයයක් ලෙස ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයෙහි වර්ධනය විභාග කිරීම ය.

17 වන සියවසට පෙර එනම් ලෝකයේ පිළිගත් නූතන රාජ්‍ය පද්ධතිය පහළවීමට පෙර ශිෂ්ටාචාර නමින් හැඳින්වෙන පුළුල් ප‍්‍රජාසමූහ අතර විවිධාකාර අන්තර් සම්බන්ධතා පැවතිණි. මේවා ආගමික හෝ සංස්කෘතික හෝ සම්බන්ධතා වූ අතර ඇතැම් විට දියුණු ශිෂ්ටාචාරවලට අයත් සමහර කොටස් යම් යම් වීරකි‍්‍රයාවන්හි නිරතවීමක් ලෙස ද හුදෙක් කුතුහලය සඳහා ද සීමිත ව වුවත් යම් යම් භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා ද එක් ශිෂ්ටාචාර ප‍්‍රදේශයක සිට තවත් එබඳු ප‍්‍රදේශයකට ගමන් කිරීම සිදු විය. කෙසේ වුව ද මෙලෙස පැවැති සම්බන්ධතා ‘ජාත්‍යන්තර සම්බන්ධතා’ ලෙස හැඳින්වීමට කොහෙත්ම හැකියාවක් නැත. එක් අතකින් මෙම සම්බන්ධතා නිරන්තර නොවූ අතර අනෙක් අතින් කිසියම් රීති පද්ධතියකින් පාලනය වූ සම්බන්ධතා ද නොවී ය. නූතන සම්බන්ධතාවල නම් මෙම ලක්ෂණ දෙක ම දැකිය හැකි ය. මෙයින් අදහස් වන්නේ ශිෂ්ටාචාර අතර පැවැති සම්බන්ධතාවල දී කිසිදු සීමාවක් නොතිබූ බව නොවේ. සමහර දියුණු ශිෂ්ටාචාර සෙසු ප‍්‍රජාකොටස් සමග ගනුදෙනු කිරීමේ දී චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිපැදි අතර සදාචාර මූලධර්ම විසින් මෙහෙයවනු ලැබුවා පමණක් නොව නූතන අර්ථයෙන් පවා නීති ලෙස විස්තර කළ හැකි යම් යම් සීමාවන්ගෙන් පාලනය ද විය. නිදර්ශන වශයෙන් චීනය, ඉන්දියාව වැනි රටවල දියුණු ශිෂ්ටාචාර පැවැති යුගයන්හි දී යුද නීති සම්පාදනය කරගෙන තිබිණ. දීර්ඝ කාලයක් පුරා පැවති මෙම ගණයේ සම්බන්ධතා 17 වන සියවසේ මැද භාගයේ සිට වෙනසකට භාජනය විය. 1648 වෙස්ට්ෆේලියා ගිවිසුමත් (Peace of Westphalia) සමග භෞමික රාජ්‍ය (Territorial States) ඒවායේ භූමි ප‍්‍රමාණය හා බලය පිළිබඳ සැලකිල්ලක් නොදක්වා ස්වාධිපති රාජ්‍ය ලෙස පිළිගැනුණ අතර මෙතැන් පටන් බොහෝ විද්වතුන්ගේ මතය අනුව නූතන ජාත්‍යන්තර පද්ධතිය ද (Modern International System) බිහිවිය. මෙහි දී මූලික වශයෙන් සැලකිල්ලට ගැනුණේ යුරෝපා රාජ්‍ය සමූහය පමණි. වෙනත් වචනයෙන් කිවහොත් ජාත්‍යන්තර පද්ධතිය යුරෝපා රාජ්‍ය පද්ධතියක් විය. සම්බන්ධතා යම් යම් පිළිගත් චාරිත‍්‍ර හා රීතීන්ගෙන් පෙරට වඩා පාලනය වූ අතර ඒවා පවත්වාගෙන යන ලද්දේ ද රාජ්‍යයෙන් වරලත් (Authorized) පුද්ගලයන් විසිනි. වෙළෙඳාම ද මෙම කාලය වන විට වර්ධනය වී ජාත්‍යන්තර සම්බන්ධතා සඳහා පොළඹවන සාධකයක් විය. ඒ හැරුණු විට එබඳු සම්බන්ධතා සඳහා අවශ්‍ය ශිල්පීය අංශවල (විශේෂයෙන් නාවික ශිල්පයේ) දියුණුවක් යුරෝපයේ සමහර රාජ්‍යවල දක්නට ලැබුණි. සාමාන්‍යයෙන් නියම ජාත්‍යන්තර සම්බන්ධතා බිහිවූ කාලයේ සැලකිල්ලට ලක් වූ යුද්ධය, සාමය, රාජ්‍ය දූත සේවා සහ පොදුවේ දේශපාලන හා වාණිජ කටයුතු ද සම්බන්ධතා ක්ෂේත‍්‍රය තුළ කැපී පෙනිණ. යුරෝපා ඉතිහාසයෙහි යුරෝපා ව්‍යාප්තිය (European Expansion) යනුවෙන් හැඳින්වෙන ප‍්‍රයාණය ද මීට ඇතුළත් වේ.

18, 19 වන සියවස් තථ්‍ය ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි විප්ලවකාරී යුගයක් ලෙස හැඳින්වීම සාධාරණ ය. එක් අතකින් ජාතීන් හා ජාතික රාජ්‍ය බිහිවීම මේ අවධියෙහි සිදුවිය. ඒ සමග ම මේ යුගයේ ම මූලික ලක්ෂණයක් ලෙස ආර්ථික වූත් දේශපාලනමය වූත් ප‍්‍රධාන විප්ලව දෙකක් සිදුවිය. පළමුවැන්න වූ ආර්ථික විප්ලවය නම් බි‍්‍රතාන්‍යයෙහි ඇරැුඹී යුරෝපයේ අන් පෙදෙස්වලට පැතිර ගිය කාර්මික විප්ලවයයි. දෙවැන්න වන්නේ දේශපාලනමය වශයෙන් යුරෝපයටත් සෙසු ලෝකයටත් දැඩි බලපෑමක් ඇති කළ ප‍්‍රංස විප්ලවයයි. ප‍්‍රංස විප්ලවකාරී යුද්ධ සහ ඉන්පසුව නැපෝලියානු යුද්ධ යුරෝපය විශාල වෙනසකට භාජනය කළ අතර මෙම යුද්ධ අවසානයේ ඇති වූ 1815 වියානා සම්මුතිය (Settlement of Vienna) රාජ්‍ය අතර ඇතිවිය හැකි ගැටුම් සාමකාමී සාකච්ඡුා මගින් විසඳා ගැනීම පිළිබඳ හොඳ පූර්වාදර්ශයක් සැපයී ය. මෙය ජාත්‍යන්තර පද්ධතියේ නව අවධියක් වශයෙන් ද සැලකිය හැක්කකි.

ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි නූතන යුගය උදාවූයේ දළ වශයෙන් 20 වන සියවසේ ආරම්භයත් සමග ය. මෙය නූතන රාජ්‍ය පද්ධතියක ආරම්භය පමණක් නොව විද්‍යා හා තාක්ෂණික දියුණුව සලකන විට විශාල ඉදිරිගමනක් ද සිදු වූ සියවස විය. සමාන්තර වශයෙන් යුද්ධය, සාමය, නීතිය සහ රාජ්‍ය දූත කටයුතු යන සෑම ක්ෂේත‍්‍රයක ම නවීකරණයක් සිදු වූ අතර විෂයයක් වශයෙන් ‘ජාත්‍යන්තර සම්බන්ධතා’ බිහිවීමට අවශ්‍ය පසුබිම ද මෙම වෙනස්කම් මගින් සකස් විණ. මීටත් වඩා වැදගත් වෙනසක් ලෙස සිදුවූයේ කලින් ශිෂ්ටාචාර හෝ රාජ්‍යවලට සීමාවී පැවැති සම්බන්ධතා විසිවන සියවස වන විට රාජ්‍ය නොවන පාත‍්‍රයන් ද ඇතුළත් කර ගනිමින් වඩාත් පුළුල්වීම හැරණු කොට නව ලෝක පර්යායක් (New World Order) ද බිහිවීම ය.


තථ්‍ය සම්බන්ධතා

දළ වශයෙන් සමානාර්ථ පද ලෙස සැලකෙන රට, රාජ්‍යය, ජාතිය හා ජාතික රාජ්‍යය යන නම්වලින් හඳුන්වන දේශපාලන සංවිධාන අතර විධිමත් වූත් ක‍්‍රමානුකූල වූත් නිරන්තරවූත් සම්බන්ධතා බිහිවීමට පෙර ද එතරම් සංවිධානාත්මක නොවූ දේශපාලන හා සමාජ ඒකක අතර විවිධ ගනුදෙනු පැවතිණ. නොයෙකුත් ශිෂ්ටාචාර අතර පැවැති සම්බන්ධතා මේ ගණයට අයත් ය. මෙම සම්බන්ධතා විටින් විට සිදු වූ රාජ්‍යතාන්තී‍්‍රය දේශපාලන සම්බන්ධතාවල සිට වාණිජමය, සංස්කෘතිකමය හා ආගමික සම්බන්ධතා ද දක්වා විහිදී ගියේ ය.

ගැටුම හා සහයෝගීතාව හෝ එකතුව හා ප‍්‍රතිවිරෝධය යනුවෙන් ශේෂ කොට දක්වන මානව සම්බන්ධතා මානව වර්ගයාගේ ප‍්‍රභවය තරම් ම පැරණි බවත් තරමක හෝ සංවිධානාත්මක සමාජ බිහි වූ තැන් සිට එබඳු සම්බන්ධතා පිළිබඳව වාර්තා වී ඇති බවත් දැකිය හැකි ය.

නූතන සංස්ථිති හැටියට ‘රාජ්‍ය’ හෝ ‘ජාතික රාජ්‍ය’ නමින් හැඳින්වෙන දේශපාලන සංවිධාන බිහිවීමට පෙර ශිෂ්ටාචාර අතර අන්තර් සම්බන්ධතා පවතිනු දක්නට ලැබිණ. ශිෂ්ටාචාරයක් ලෙස හඳුනාගෙන ඇත්තේ කිසියම් ජන කොටසකගේ සමාජ හා සංස්කෘතික වර්ධනයේ ඉහළ අවස්ථාවක් වන අතර වෙනත් ශිෂ්ටාචාර සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා උත්සාහ කිරීම එබඳු වර්ධනයක එක් අංගයක් විය. ශිෂ්ටාචාර අතර සම්බන්ධතා සමහර විට යුද්ධය පිළිබඳ නීතිවලින් ද වාණිජ ගනුදෙනු සඳහා පොදු හුවමාරු ඒකක තනා ගැනීමට දරන ලද ප‍්‍රයත්නයන්ගෙන් ද ප‍්‍රකාශයට පත් විය.

කෙසේ වෙතත් මෙම සම්බන්ධතා ක‍්‍රමානුකූල අධ්‍යයනයකට ලක්වී නැති අතර එසේ වීමට තරම් මෙම සම්බන්ධතා නිරන්තර විධිමත් ස්වරූපයක් ගත්තේ ද නැත. එබඳු නිරන්තර හා විධිමත් භාවයක් අවශ්‍ය වූයේ ඓතිහාසික වශයෙන් කරුණු කිහිපයක් සම්පූර්ණ වූ විට සහ කොන්දේසි ගණනාවක් නිර්මාණය වූ විට ය. එනම් :

1. ශිෂ්ටාචාරයකට වඩා විධිමත් වූ හා ශක්තිමත් වූ ඒකීය දේශපාලන සංවිධාන බිහි වීම
2. පැවැත්ම සඳහා මෙම සංවිධානයන්ට වෙනත් සංවිධාන සමග ගනුදෙනු කිරීම අවශ්‍ය වීම
3. මෙම ගනුදෙනු ක‍්‍රමානුකූල කිරීමට පාදක කරගත හැකි චාරිත‍්‍ර හා සම්මතයන් ස්ථාපිත වීම මෙන් ම සෑහෙන දුරකට ඒවාට ගරුකිරීම අවශ්‍ය යයි පිළිගැනීමක් ඇතිවීම

උක්ත කරුණු හා කොන්දේසි ප‍්‍රමාණවත් දුරකට සම්පූර්ණ වූයේ දළ වශයෙන් දහහත් වන සියවසේ දෙවන භාගයේ පමණේ දී යයි කිව හැකි ය.

ලිහිල් සංවිධානයක් සහිත ශිෂ්ටාචාරයකට වඩා ව්‍යූහාත්මක ලෙස කේන්ද්‍රීය හා ශක්තිමත් ආයතන රටාවකින් යුක්ත වූත් දේශපාලන වශයෙන් ස්වාධීන හා ස්වෛරී වූත් සාපේක්ෂ වශයෙන් බලවත් වූත් රාජ්‍ය සමූහයක බිහිවීම සංකේතාත්මකව පෙන්නුම් කෙළේ 1648 වෙස්ට්ෆේලියා සාමය හෙවත් ගිවිසුමයි. 1618 සිය 1648 දක්වා දිග්ගැස්සී ගිය තිස් අවුරුදු යුද්ධයෙන් පසු අස්සන් තබන ලද මෙම ගිවිසුම කිහිප අතකින් වැදගත් විය. වඩාත් ම වැදගත් වූයේ එය ජාත්‍යන්තර පද්ධතියේ ආරම්භය සනිටුහන් කළ අවස්ථාව වීම ය. ලොකු, කුඩා භේදයකින් තොරව සමහර මූලිකාංග සම්පූර්ණ කළ දේශපාලන ඒකකයක් රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ (Recognition of State) මූලාරම්භය ද එය විය. මෙසේ පිළිගැනීමේ අර්ථය නම් එම ඒකක අතර සම්බන්ධතා හුදෙක් අහම්බෙන් හෝ කිසියම් විශේෂ අවස්ථාවක දී ඇතිකර ගත් සම්බන්ධතා වීම වෙනුවට නිරන්තර විධිමත් හා ක‍්‍රමානුකූල ද වීම ය.

සම්බන්ධතා පාලනය කරන හා ඒවායේ සීමා දක්වන නීති, චාරිත‍්‍ර හා භාවිතයන් එක්වර ම ඇති වූවා නොවේ. අවශ්‍යතා අනුව බිහි ව කාලයත් සමග ක‍්‍රමිකව වර්ධනය වී, ස්ථාපිත වීම ය, සිදු වූයේ.

මෙම අවශ්‍යතා මූලික වශයෙන් ආර්ථික මුහුණුවරක් ගති. භාණ්ඩ නිෂ්පාදනය හා පරිභෝජනයේ භෞමික සීමා බිඳ දමමින් සාගර හරහා යමින් කෙරෙන ලෝක වෙළෙඳාමට අවශ්‍ය වාතාවරණය සකස්වීම නාවික ශිල්පයේ හා සාගරික ප‍්‍රවාහනයේ ප‍්‍රතිඵලයකි. ප‍්‍රවාහන දියුණුවත් සමග යුරෝපා රාජ්‍ය අතර ගනුදෙනු වැඩි වූවා පමණක් නොව සමහර යුරෝපා රාජ්‍ය යටත් විජිත ව්‍යාප්තියක් කරා පවා යොමු විය. මෙහි දී වැදගත් වූයේ එම ව්‍යාප්තිය පිළිබඳ කාරණය නොව යුරෝපා රාජ්‍ය අතර වැඞී ගිය අන්තර් රාජ්‍ය වෙළෙඳාම හා අමුද්‍රව්‍ය වෙළෙඳපොලක් සඳහා තරග වැදි යුරෝපා රාජ්‍ය අතර පැනනැගි නව ගනුදෙනු රාශිය ය. මෙම ගනුදෙනුවල හරය වූයේ රාජ්‍ය අතර ගැටුම්, සහයෝගීතාව හා යුද්ධ මෙන් ම ඊට අදාළ නොයෙක් විධියේ අන්තර් කි‍්‍රයාවන් ය. විවිධ ගණයේ රාජ්‍ය දූතමය නොහොත් තානාපතිමය සහ වෙනත් සංස්කෘතික සම්න්ධතා ද මීට ඇතුළත් විය. ජාත්‍යන්තර සම්බන්ධතා විග‍්‍රහයේ දී, පහසුව සඳහා එකිනෙකින් වෙන් කොට දක්වන නමුත් දැඩි ලෙස එකට බැඳී පැවති හා පවත්නා වූ මෙම සම්බන්ධතා, පද්ධතියක් ලෙස සැලකීම අවශ්‍ය යයි තර්ක කළ විද්වතුන් බහුල ය. සැබැවින් ම ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විද්වත්හු අඩු වැඩි වශයෙන් මෙම කොටස් දෙකට අයත් වෙති.

වෙනත් විෂයයන්ගෙන් වෙන් ව හැකි තරම් දුරට ස්වාධීන විෂයයක් ලෙස වර්ධනය වීමටත් පැහැදිලි සීමා ඇති කර ගැනීමටත් උත්සාහ ගැනීමේ අවධියෙන් පසු ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයෙහි ඇති වූයේ වෙනත් විෂයයන්ගෙන් ආභාසය ලබමින් පොහොසත් වීමට උත්සාහ දැරීමේ කාල පරිච්‍ඡේදයකි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස නොයෙක් විෂය ක්ෂේත‍්‍රවල පුහුණුව ලැබූ අය ද මෙම නව ක්ෂේත‍්‍රයට ප‍්‍රවිෂ්ටවීමට උත්සාහ ගනු දක්නට ලැබිණි.

විෂයයක් වශයෙන් ‘ජාත්‍යන්තර සම්බන්ධතා’ ඉතිහාසය, නීතිය, දේශපාලනය යන විෂයයන්ගෙන් වෙන් වී ස්වාධීන විෂයයක් ලෙස තම සීමා පිහිටුවා ගෙන යළිත් සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, මානව විද්‍යාව, සමාජ මනෝවිද්‍යාව, භූගෝල විද්‍යාව පමණක් නොව ස්වාභාවික විද්‍යාවන්ගෙන් ද තවමත් නව විෂයයන් ලෙස වර්ධනය වෙමින් පවතින ජනගහන විද්‍යාව, මාධ්‍යවේදය වැනි ක්ෂේත‍්‍රයන්ගෙන් ද පෝෂණය වීමට දරන ලද උත්සාහය පැහැදිලි ය.


විෂයයෙහි ආරම්භය හා වර්ධනය

ඉහත දැක්වූ ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල් වීමත් සමග උක්ත විෂය ද කලින් ඊට අයත් ක්ෂේත‍්‍රයන්ගෙන් වෙන් වී වෙන ම විෂයයක් බවට විය. පළමු වන ලෝක යුද්ධයෙන් පසුව එම විෂය අද දක්වා වර්ධනය වීමටත් සුවිශේෂ සමාජ අධ්‍යයන ක්ෂේත‍්‍රයක අංග ලක්ෂණ අත්පත් කර ගැනීමටත් දශක කිහිපයක් ගත විය. මෙම කි‍්‍රයාවලිය සමහර විද්වතුන් විසින් යුග කිහිපයකට බෙදා දක්වා තිබේ.

1. ප‍්‍රාග් උත්පත්ති අදියර (Pre-Natal / Historical Phase) : ලෝක යුද්ධය අවට කාලය, 1914ට පෙර සමය
2. සංවිධානාත්මක අදියර (Organizational Phase) : 1914-45 දක්වා
3. තුෂ්ණී (නිරවි) යුද්ධ අදියර (Cold War Phase) : 1945-89 දක්වා
4. විද්‍යාත්මක අදියර (Scientific Phase)  : 1960 සිට ඉදිරියට

ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයක් ලෙස වර්ධනය වීමේ ප‍්‍රථම අදියරේ දී එනම් ප‍්‍රථම ලෝක සංග‍්‍රාමයට තදාසන්න කාලයේ දී රාජ්‍ය හෝ ජාතීන් අතර සම්බන්ධතා අවබෝධ කර ගැනීමට හා පැහැදිලි කිරීමට උත්සාහ කරන ලද්දේ ඉතිහාසය පිරික්සා බැලීමෙනි. මෙහි දී රාජ්‍ය පද්ධතිය එවකට පැවැති ආකාරයට සංවිධානය වූයේ කෙසේ ද කියාත් නීතිය (ජාතීන් අතර නීතිය) හා රාජ්‍ය දූත කටයුතු වැඞී ගියේ කෙසේ ද කියාත් විමසා බලන ලදි. මෙම ක‍්‍රමවේදය සලකන විට ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මේ අවධියේ ප‍්‍රමුඛ වූයේ ඓතිහාසික හා නෛතික ප‍්‍රවේශයන් (Historical and Legal Approaches) යැයි කිව හැකි ය. කෙසේ වුව ද මෙම ප‍්‍රවේශ තුළින් කළ විග‍්‍රහයන්ට එක් ප‍්‍රශ්නයකට එනම් යුද්ධය පිළිබඳ ප‍්‍රශ්නයට සතුටුදායක පිළිතුරක් සැපයීම අපහසු විය. මෙබඳු පිළිතුරක් සොයා ගැනීම මෙම අදියර අවසන් කරමින් ඇති වූ ප‍්‍රථම ලෝක සංග‍්‍රාමය (1914-1919) අත්‍යවශ්‍ය දෙයක් බවට පත් කෙළේ ය.

දෙවන අදියර වූ සංවිධානාත්මක අදියර ප‍්‍රථම ලෝක යුද්ධයෙන් ඇරඹී දෙවන ලෝක යුද්ධයේ නිමාවෙන් (1945) අවසානයට පත් විය. පළමුවන ලෝක යුද්ධය (1914-19) මෙතෙක් ඉතිහාසයේ ඇති වූ විනාශකාරී ම යුද්ධය නම් දෙවන ලෝක යුද්ධය එමෙන් දෙගුණයකටත් වැඩි ජීවිත හා දේපල හානියක් ගෙන දුන්නේ ය. යුද්ධය නොපැවති 1919-39 දක්වා වූ කාලය ද ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප‍්‍රමුඛ ලේඛකයකු වූ ඊ. එච්. කාර් (E.H.Carr) හැඳින්වූයේ ‘විසි අවුරුදු අර්බුදය’ නමිනි. මෙබඳු කාල පරිච්ඡේදයක දී වියතුන් අතර, යුද්ධය කුමක්දැයි අවබෝධ කර ගැනීම සඳහාත් යළිත් ඇතිවිය හැකි මහා පරිමාණ යුද්ධයක් වැළැක්වීම සඳහාත් බලවත් අවශ්‍යතාවක් පහළවීම ස්වාභාවික ය. මේ හේතුව නිසා ම 1914-45 දක්වා වූ අදියර දී ජාත්‍යන්තර සම්බන්ධතා විශ්ලේෂකයන්ගේ ප‍්‍රමුඛ ව්‍යායාමය වූයේ යුද්ධයත් එය වැළැක්වීමට මූලික වශයෙන් උපයෝගී කර ගත හැකි යයි කල්පනා කළ ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සංවිධානය කෙරෙහි අවධානය යොමු කිරීමත් ය. ප‍්‍රමුඛ ප‍්‍රවේශය ද විඥානවාදී ප‍්‍රවේශය (Idealist Approach) විය. මෙම විඥානවාදී ගුරුකුලයට අයත් වූවන් ප‍්‍රධාන වශයෙන් රූසෝ, කාන්ට් හා ග්‍රෝෂස් වැන්නන්ගේ දාර්ශනික චින්තාවන්හි බලපෑමට හසුවූවන් ලෙස සැලකේ. යුද්ධය වැළැක්විය හැකි දෙයක් ය, නීතිය හා ජාත්‍යන්තර සංවිධානයක් මගින් සාමය හා ස්ථාවරභාවය පවත්වාගෙන යා හැකි යැයි විශ්වාස කළ ඔවුහු මනෝරාජකවාදීහු (Utopians), සාරදර්ශවාදීහු (Optimists) හා නෛතිකවාදීහු (Legalists) වූහ. මෙම චින්තනය ප‍්‍රයෝගිකව ප‍්‍රකාශයට පත් කළ ඇ.එ.ජ. ජනාධිපති වුඞ්රෝ විල්සන් තම ‘කරුණු 14’ සාම සැලැස්ම මගින් යෝජනා කළ ‘ජාතීන්ගේ සංගමය’ හැම අතින් ම විඥානවාදී අපේක්ෂා මුල් කර ගත්තක් විය. එසේ වුවත් මෙම සියලූ අපේක්ෂා බිඳ දමමින්, 1939 දී ඇරඹි දෙවන ලෝක යුද්ධය න්‍යෂ්ටික අවිය පවා භාවිත කිරීමෙන් අතිශය විනාශකාරී ලෙස නිමා වූ විට විඥානවාදය (Idealism) මෙන් ම එම ප‍්‍රවේශ විධිය ගත් ගුරුකුලය ද ප‍්‍රශ්නයට ලක්විය.

1945 සිට 1989 දක්වා වූ තුෂ්ණී යුද්ධ (නිරවි යුද) අදියර නව ගුරුකුලයක පැන නැගීමට සුදුසු වාතාවරණයක් සහිත වූවකි. මොවුන් තමන් හඳුන්වා දුන්නේ යථාර්ථවාදීන් (Realists) ලෙස ය. ජාත්‍යන්තර සම්බන්ධතා විග‍්‍රහ කිරීමට හා නියම ලෙස අවබෝධ කර ගැනීමට විඥානවාදය අපොහොසත් වූ බව කල්පනා කළ යථාර්ථවාදී ගුරු කුලය, තුෂ්ණී යුද්ධ අදියර නමින් හඳුන්වන මෙම තරමක් දීර්ඝ කාල පරිච්ඡේදයේ දී අවධානය යොමු කළේ සියලූ දේශපාලනයට මෙන් ම ගැටුමට හා යුද්ධයට ද තුඩුදුන් බලය යන කේන්ද්‍රීය සාධකය පිළිබඳව ය. සුපිරි බලවතුන් දෙදෙනා (ඇ.එ.ජ. හා සෝවියට් දේශය) අතර ආතතිය, අන්‍යොන්‍ය සතුරුභාවය, දෘෂ්ටිවාදමය ගැටුම, අවි තරගය හා ඍජු යුද්ධයක් නැතත් යුද සූදානම පැවැති මෙම අදියරේ දී ජාත්‍යන්තර සම්බන්ධතා විෂයය මූලික වශයෙන් යොමු වූයේ බලය හා ජාතික අභිලාෂය කේන්ද්‍ර කරගෙන ජාතීන් අතර සම්බන්ධතා විග‍්‍රහ කිරීම කෙරෙහි ය. දේශපාලන යථාර්ථවාදයේ පියා වශයෙන් සැලකෙන හැන්ස් ජේ. මෝර්ගන්තෝ (Hans J. Morgenthau) ගේ සුප‍්‍රකට ග‍්‍රන්ථයෙහි මාතෘකාව වූයේ ‘ජාතීන් අතර දේශපාලනය : බලය හා සාමය සඳහා වූ අරගලය’ (Politics Among Nations: Struggle for Power and Peace) යන්න ය. සියලූ ජාත්‍යන්තර දේශපාලනය, බලය සඳහා වූ අරගලයක් ය යනුවෙන් කල්පනා කළ ජාත්‍යන්තර නීතිය හෝ සංවිධානවලට වඩා බල තුලනයක් (Balance of Power) පිළිබදව විශ්වාස කළ යථාර්ථවාදීන්ගේ ගුරුකුලයේ බලපෑම විවිධ අයුරින් අඛණ්ඩව දක්නට ලැබුණකි. එසේ වුව ද මෙම අදියර අවසාන භාගය වන ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විද්‍යාත්මක ගුරුකුලයක නැගී ඒම ද දක්නට ලැබිණ.

අතිශයින් ම සංකීර්ණ වූ දළ වශයෙන් 1960 ගණන්වල සිට අද දක්වා විහිද එන සිව්වන අදියර ‘විද්‍යාත්මක’ (Scientific) ලෙස හැඳින්වෙන්නේ කරුණු කිහිපයක් නිසා ය. මෙහි ලා වඩාත් කැපී පෙනුණු කරුණක් නම් සාමාන්‍යයෙන් සියලූ ස්වාභාවික විද්‍යාවන්ගේත් විශේෂයෙන් ගණිතය, පරිගණක විද්‍යාව හා නව තාක්ෂණයේ බලපෑමට ජාත්‍යන්තර සම්බන්ධතා විෂයය ද හසුවීම ය. සම්භාව්‍ය ප‍්‍රවේශයන් වූ දේශපාලන විඥානවාදය හා යථාර්ථවාදය සම්පූර්ණයෙන් අත්හැර නොදමන ලද නමුත් විද්‍යාත්මක ප‍්‍රවේශය (Scientific Approach) ලෙස ද හඳුන්වන ලද චර්යාවාදය (Behaviourism) ප‍්‍රවේශයක් ලෙස හා ක‍්‍රමවේදයක් ලෙස යොදා ගැනීම කැපී පෙනුණක් විය. මීට අමතරව පද්ධතිවාද ප‍්‍රවේශය (System Approach) ඇතුළු නූතන ප‍්‍රවේශ භාවිත කිරීමේ පෘථුල උත්සාහයක් ද විය. චර්යාවාදීන් ඉතිහාසය හා දර්ශනය පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම හා ගුණාත්මක විග‍්‍රහය වෙනුවට ප‍්‍රමාණාත්මක විග‍්‍රහයට (Quantitative Analysis) ප‍්‍රමුඛත්වය දීම ද නව පර්යේෂණ විධි යොදා ගැනීම ද වැදගත් කොට සැලකිය යුතු වේ.

ජාත්‍යන්තර සම්බන්ධතා විෂය වර්ධනයවීම පිළිබඳ ඉහත අදියර පෙන්නුම් කෙළේ එම විෂයයෙහි අවධානයට යොමු වූ සුවිශේෂ ක්ෂේත‍්‍රය, විෂය ප‍්‍රවේශ, න්‍යාය, සංකල්ප, පර්යේෂණ සැලසුම් හා පාරිභාෂික වචනමාලාව සම්බන්ධයෙන් අත්පත් කරගත් ප‍්‍රගතිය ය. මීට සමගාමීව දැකීමට හැකි වූවක් නම් මහා විවාදයන් (Great Debates) ය. මින් පළමුවැන්න සාම්ප‍්‍රදායික ප‍්‍රවේශයක් වූ විඥානවාදය හා යථාර්ථවාදය අතර වූ විවාදයයි. මින් ප‍්‍රකාශ වූයේ ජාත්‍යන්තර සම්බන්ධතා විග‍්‍රහය සඳහා එළඹෙන්නාවූ ප‍්‍රධාන දෘෂ්ටිවාද අතර සංවාදයයි. දෙවැන්න සම්භාව්‍ය ප‍්‍රවේශ හා විද්‍යාත්මක ප‍්‍රවේශය අතර වූවකි. අද දක්වාත් පවතින ප‍්‍රධාන ඇරැුඹුම අතර විවාදය තෙවැන්න ය.

මෙබඳු පසුබිමක් තුළ ‘ජාත්‍යන්තර සම්බන්ධතා’ විෂයයක් වශයෙන් ඉස්මතු වීම සලකා බැලීමේ දී ප‍්‍රශ්න දෙකක් වැදගත් වේ.

1. ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයට එම විෂයයෙහි පුරෝගාමී උගතුන් විසින් ඇති කර ගන්නා ලද හෝ එසේ ඇති කර ගැනීමට උත්සාහ කළ සීමා කවරේ ද යන්න
හා
2. එම සීමා හඳුනාගනිමින් හෝ එබඳු සීමා ඇති කර ගැනීම සඳහා දැරූ උත්සාහයෙහි කොටසක් වශයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා විෂයය සුවිශේෂ ලෙස වර්ධනය වූයේ කෙලෙස කුමන අවධි වශයෙන් ද යනුවෙනි.

විෂය සීමාව පිළිබඳ ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් කිව හැක්කේ ජාත්‍යන්තර සම්බන්ධතා පටු ලෙසත් පුළුල් ලෙසත් යන දෙවිධියකට විග‍්‍රහ කිරීමට උත්සාහ දරා ඇති බව ය. ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මෙතෙක් සැපයී ඇති නිර්වචන සමහරකින් මෙය පැහැදිලි වේ. සුලභ පාඨ ග‍්‍රන්ථ නිර්වචනයන්හි ප‍්‍රධාන වශයෙන් කරුණු දෙකක් අවධාරණය කෙරේ. එකක් නම් ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයෙහි සැලකිල්ලට ගැනෙන්නේ ජාතික සීමා ඉක්මවා යන ප‍්‍රතිපත්ති, වර්ධනයන් හා මූලෝපාය යන්න ය. දෙවනුව ඒවා ලෝකයේ නොයෙක් ප‍්‍රදේශවල ජීවත් වන විවිධ ජන කොටස්වල ජීවිතවලට කරන බලපෑම ද සැලකිය යුතු බව ය.

විශාල වශයෙන් වෙනස් වූ සංකීර්ණ වූ තථ්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා ද ඒවා විශ්ලේෂණය කොට ක‍්‍රමානුකූලව අධ්‍යයනය කරන්නා වූ ජාත්‍යන්තර සම්බන්ධතා විෂයය ද සලකන විට නිරීක්ෂණ දෙකක් කළ හැකි වේ.

එකක් නම් ආරම්භයේ දීට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල් ක්ෂේත‍්‍රයකට විහිද ගොස් වඩාත් සංකීර්ණ ස්වරූපයක් ගෙන ඇති බව ය. මීට සමගාමීව ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ද සාම්ප‍්‍රදායික රාජ්‍ය කේන්ද්‍රීය රාමුවෙන් මිඳී රාජ්‍ය, ආණ්ඩු, ආණ්ඩු නොවන සංවිධාන, බහුජාතික සමාගම් හා එබඳු ආයතන පමණක් නොව පුද්ගලයන් ද ඇතුළු විවිධත්වයෙන් යුතු ඒකක අතර අතිශයින් සංකීර්ණ වූ අන්තර්කි‍්‍රයා අධ්‍යයනය කිරීම සඳහා යොමු වී ඇති බව ය. මෙය විෂය ක්ෂේත‍්‍රය හා පථය පුළුල්වීම පිළිබඳ කාරණයක් පමණක් නොව විවිධ වූ නව ප‍්‍රවේශ, න්‍යාය හා විධික‍්‍රම භාවිතයට ගැනීමකට ද තුඩු දුන්නකි.

දෙවැන්න නම් ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයනය හා විශ්ලේෂණයේ දී වෙනත් ඕනෑම විෂයයක දී සිදුවිය හැකි පරිදි වෙනස් වන සුසමාදර්ශයන් හෙවත් පැරඩයිමයන් (Paradigms) පාදක කර ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම ය. මෙය ජාත්‍යන්තර සම්බන්ධතා න්‍යාය වර්ධනයේ ම කොටසකි. ජාත්‍යන්තර සම්බන්ධතාහි පාත‍්‍ර වර්ගයන් හෝ සුවිශේෂතා විග‍්‍රහ කිරීමෙන් ඔබ්බට ගොස් ලෝකයේ මූලික ස්වභාවය පදනම් කරගෙන විශ්ලේෂණයට යොමු වීමකි. මේ අනුව ජාත්‍යන්තර සම්බන්ධතාහි විකේන්ද්‍රතාව, අරාජිකත්වය, හා ස්වෝපකාරය (Decentralization, Anarchy and Self-help) කේන්ද්‍ර කර ගනිමින් ලෝකය විග‍්‍රහ කිරීමකට මෙහෙයවීම 1970 ගණන්වලින් මෙපිට කැපී පෙනිණ.

විකේන්ද්‍රගතභාවය යන මූලධර්මය පිළිබඳ සැලකිලිමත්වීම රාජ්‍ය පද්ධතිය පාලනය කරන කේන්ද්‍රීය අධිකාරයක් නොමැති බව හා රාජ්‍ය ඒකකවල ස්වාධීන-ස්වෛරී චර්යාව, බහුවිධතාව මෙන් ම ස්වායත්ථ පැවැත්ම පිළිබඳ අවධානය යොමු කිරීමක් විය. අරාජිකත්වය පිළිබඳ සංකල්පය යොමු කෙළේ කේන්ද්‍රීය අධිකාරයක් නොමැති වූ විට පහළ විය හැකි පාලනයකින් හා කිසියම් පර්යායකින් (Order) තොර මූලික වශයෙන් ගැටුම්වලට තුඩුදිය හැකි වාතාවරණය හැදෑරීම ය. ස්වෝපකාරය දේශපාලනික මෙන් ම නෛතික හා සදාචාරාත්මකභාවය පිළිබඳ ප‍්‍රශ්න ද මතු කරමින් රාජ්‍යවල අයිතිවාසිකම් හා යුතුකම් ජාත්‍යන්තර සම්බන්ධතා සන්දර්භය තුළ විමර්ශනයට ලක් කිරීමට යොමු කෙළේ ය.

මීට සමාන්තර වශයෙන් මෙතෙක් භාවිතයෙහි පැවැති ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප‍්‍රධාන ප‍්‍රවේශ අභියෝගයට ලක්වීම සිදු වූ අතර නව ප‍්‍රවේශ හඳුනාගැනීම ද අවශ්‍ය විය. දේශපාලන විඥානවාදයට නව ලිබරල්වාදය (Neo-Liberalism) එකතු විය. වඩාත් ම ප‍්‍රශ්නයට ලක් වූයේ යථාර්ථවාදී ප‍්‍රවේශයයි. නව යථාර්ථවාදය (Neo-Realism) සැලකිය යුතු පිළිතුරක් සැපයුව ද එයින් සෑහීමකට පත් නොවූ විශ්ලේෂකයෝ වඩ වඩාත් පෙරළිකාරී දායකත්වයන් කිරීමට උත්සාහ කළහ. සමාජ ව්‍යූහවාදය (Social Constructivism) ජාත්‍යන්තර සම්බන්ධතාහි නව පැතිකඩ සොයා යෑමට උත්සාහ ගෙන ඇති අතර තවත් විද්වතුන් ව්‍යවහාරයේ පැවැති සංකල්පයන්ට නව නිර්වචන සැපයීමට උත්සාහ ගැනීම මෙන් ම යළි යළිත් එබඳු ප‍්‍රයත්නයන්හි නිරත වීම ද දැකිය හැකි වේ. පශ්චාත් නූතනවාදී (Post Modernist) හා ස්ත්‍රීවාදී (Feminist) ගුරුකුල බිහිවීම මේ සමග සම්බන්ධ වූවකි.

න්‍යාය, ප‍්‍රවේශ හා සංකල්ප පිළිබඳ වෙනස්කම් ‘ජාත්‍යන්තර සම්බන්ධතා’ විෂයයෙහි ගුණාත්මක පක්ෂයේ වර්ධනය පෙන්නුම් කරන අතර ඒ සමග ම සැලකිය යුතු වර්ධනයක් ප‍්‍රමාණාත්මක පක්ෂයෙන් ද ලෝකය පුරා ඇති වනු දැකිය හැකි ය.

ජාත්‍යන්තර සම්බන්ධතා විෂය මුලින් ම බි‍්‍රතාන්‍යයේ ඇති වී ඉතා ඉක්මනින් ඇ.එ.ජ.යෙහි මුල් බැස ගනිිමින් ආංගල - ඇමෙරිකානු අධ්‍යයන විෂයයක් බවට පත් වුව ද දැන් එය ලෝකය පුරා ම පාහේ ජනපි‍්‍රය අධ්‍යයන හා පර්යේෂණ විෂයයක් බවට පත් ව ඇත. ජාත්‍යන්තර සම්බන්ධතා විෂයයෙහි ම කොටස් වශයෙන් පැවැති ගැටුම් අධ්‍යයන (Conflict Studies), සාම අධ්‍යයන (Peace Studies), මූලෝපායික අධ්‍යයන (Strategic Studies), ආරක්ෂක අධ්‍යයන (Security Studies) වෙන ම විෂයයන් මට්ටමට වර්ධනය වීම ද ඒ සඳහා ලෝකය පුරා වෙන ම පාඨමාලා හා අධ්‍යයනාංශ පවා බිහිවීම ද සැලකිල්ලට ගත හැකි ය.

ශී‍්‍ර ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල නොහොත් විශ්වවිද්‍යාලවල පාඨමාලාවන්ට, ජාත්‍යන්තර සම්බන්ධතා ප‍්‍රවිෂ්ට වූයේ දළ වශයෙන් 1970 දශකයේ දී ය. එය ද සමාජීය අධ්‍යයන උපාධි පාඨමාලාවක එක් විෂයයක් හෝ අනුවිෂයයක් වශයෙනි. විශේෂ උපාධි විෂයයක් හැටියට ජාත්‍යන්තර සම්බන්ධතා හඳුන්වාදීම සිදු කෙරුණේ 1985/86 කාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ය. ඒ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ පශ්චාද් උපාධි පාඨමාලාවක් හඳුන්වා දීමෙන් මඳ කලකට පසුව ය.

දැනට ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල බොහොමයක ජාත්‍යන්තර සම්බන්ධතා උපාධි පාඨමාලා අධ්‍යයනය ඇරැුඹී ඇති අතර විවිධ ආයතනවල ඩිප්ලෝමා හා සහතික පත‍්‍ර පාඨමාලා ද පවත්වාගෙන යනු දැකිය හැකි ය.

ශිෂ්‍ය සංඛ්‍යාව වශයෙන් සලකන විට ජාත්‍යන්තර සම්බන්ධතා ඉතා ජනපි‍්‍රය විෂයයක් බවට පත්වෙමින් තිබේ.


-එම්. ජී. ඒ. කුරේ-