ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (International Civil Aviation Organization – ICAO)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ආයතනයක් වන මෙය ජාත්‍යන්තර ගගන තරණ මූලධර්ම හා තාක්ෂණික ශිල්පක‍්‍රම සම්පාදනය කිරීම හා ජාත්‍යන්තර ගුවන් පරිවහන සේවාවන්ගේ සුරක්ෂිතතාව හා අනුක‍්‍රමික වර්ධනය සහතික කරන්නා වූ සංවර්ධන සැලසුම් සැකසීම මූලික කර්තව්‍යය කොට ගෙන ක‍්‍රියාත්මක වේ. එහි මූලස්ථානය කැනඩාවේ මොන්ටි‍්‍රයෙල් නුවර පිහිටා තිබේ.

 (ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිල ලාංඡනය)

ගගන තරණය, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම, ගුවන් යානා මෙහෙයුම් හා සැලසුම්කරණයට අදාළ ජාත්‍යන්තර තාක්ෂණික ප‍්‍රමිතීන් පැනවීම හා සමාලෝචනය, ගගන යාත‍්‍රා පරීක්ෂාව, ගුවන් අනතුරු අන්වේෂණය, අතුරු බාධා නිවාරණය, සිවිල් ගුවන් ක්ෂේත‍්‍රයේ සේවයේ නියුතුවීමට අදාළ බලපත‍්‍ර නිකුත් කිරීම, විදුලි සංදේශනය, කාලගුණික හා ගගන තරණ උපකරණ පරීක්ෂාව, ගුවන් තොටුපළ භෞමික පහසුකම් පැනවීම, සොයා බැලීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාව වෙනුවෙන් ගුවන් සීමා තරණය කිරීමේ ක‍්‍රම පටිපාටි සැකසීමට සහාය වීම අරභයා ප‍්‍රමිතීන් හා නිර්දේශිත ප‍්‍රායෝගික භාවිතයන් ආදේශ කිරීම කරනු ලබන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ කවුන්සලය විසිනි. උක්ත සියලූ පියවර මඟින් සාමකාමී අරමුණු උදෙසා ජාත්‍යන්තර ගුවන් පරිවහනය සුරක්ෂිත හා කාර්යක්ෂම ලෙස සංවර්ධනය කිරීම හා සෑම රාජ්‍යයක් උදෙසා ම ජාත්‍යන්තර ගුවන් සේවා පවත්වා ගැනීමට ප‍්‍රමාණාත්මක අවස්ථා සහතික කිරීම අපේක්ෂා කෙරේ.

මෙම සංවිධානයේ ඉතිහාසය 1903 දී ජර්මනියේ බර්ලින් නුවර මුළු දුන් ජාත්‍යන්තර ගගන තරණ කොමිසමෙන් ආරම්භ වේ. එහෙත් ඊට සහභාගී වූ රටවල් අට අතරේ කිසිදු සම්මුතියක් ඇති කර ගනු නොලැබිණි. රටවල් 27ක් සහභාගී වූ එම කොමිසමේ දෙවන රැස්වීම බර්ලින් නුවර දී ම පැවැත්වුණේ 1906 දී ය. එහි තෙවන රැුස්වීම 1912 දී ලන්ඩන් නුවර දී පැවති අතර ගුවන් යානා විසින් උපයෝගී කර ගනු වස් පළමු රේඩියෝ ඇමතුම් සංඥා හඳුන්වා දෙනු ලැබුණේ එහි දී ය. 1945 දී ප‍්‍රදේශීය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය බිහිවන තෙක් ඉහත කී සංවිධානය ක‍්‍රියාත්මක විය. ඒ සඳහා පදනම වූයේ 1944 දී රටවල් 52ක් විසින් අස්සන් තැබුණු චිකාගෝ සම්මුතිය ලෙස ප‍්‍රකට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුතියයි. ඇමුණුම් 18කින් සමන්විත එම සම්මුතියේ 9 වන සංස්කරණයට 1918 සිට 2006 දක්වා සිදු වූ නවීකරණ අඩංගු ය. 1947 දී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය බවට පත් වූයේ යට කී සංවිධානයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සෑම රටක් ම පාහේ, එනම් රටවල් 191ක් හා කුක් දිවයින් මෙම සංවිධානයේ සාමාජිකත්වය දරයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ විශාලතම ආයතනික ව්‍යූහය වනුයේ තුන් වසරකට වරක් රැුස්වන සාමාජික රටවල් සියල්ලේ නියෝජිත සම්මේලනයයි. සාමාජික රටවල් 33ක නියෝජිතයින්ගෙන් සමන්විත කවුන්සිලය ඉහත කී සම්මේලනය හමුවේ වගකීම් දරමින් නිත්‍ය වශයෙන් මෙම සංවිධානයේ මූලස්ථානයේ කටයුතු කරයි. තාක්ෂණික කරුණු කෙරේ අවධානය යොමු කරන ගගන තරණ තාක්ෂණ කොමිසම පත් කරනු ලබනුයේ කවුන්සිලය විසිනි. එසේ ම මූල්‍ය කමිටුව ඇතුළු ස්ථාවර කමිටු කිහිපයක් ද මෙම ආයතනයේ ව්‍යූහයට ඇතුළත් ය. තව ද මෙම සංවිධානය සතු ව කලාප නවයකට සේවා සපයන ප‍්‍රදේශීය කාර්යාල හතක් ක‍්‍රියාත්මක වේ. ආසියා හා පැසිෆික් කලාපය වෙනුවෙන් තායිලන්තයේ බැංකොක් නුවර, මැද පෙරදිග කලාපය වෙනුවෙන් ඊජිප්තුවේ කයිරෝ නුවර, බටහිර හා මධ්‍යම අප‍්‍රිකානු කලාපය වෙනුවෙන් සෙනෙගාලයේ දකාර් නුවර, දකුණු ඇමෙරිකානු කලාපය වෙනුවෙන් පේරු රාජ්‍යයේ ලීමා නුවර, උතුරු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව හා කැරිබියන් කලාපය වෙනුවෙන් මෙක්සිකෝ රාජ්‍යයේ මෙක්සිකෝ නුවර, නැගෙනහිර හා දකුණු අප‍්‍රිකානු කලාපය වෙනුවෙන් කෙන්යාවේ නයිරෝබි නුවර, යුරෝපා හා උතුරු අත්ලාන්තික් කලාපය වෙනුවෙන් ප‍්‍රංසයේ පැරිස් නුවර වශයෙනි.

ගගන පණිවුඩ මෙහෙයුම් පද්ධතිය (Aeronautical Message Handling System) වැනි නවීන ක‍්‍රම භාවිතයෙන් ගුවන් යානා නිෂ්පාදන ක‍්‍රියාදාමයන් ප‍්‍රමිතිගත කිරීම පිණිස ද මෙම සංවිධානය ක‍්‍රියාත්මක වෙයි. ඒ අනුව මෙය ප‍්‍රමිති ආයතනයක් වශයෙන් ද කටයුතු කරයි. තව ද මෙම සංවිධානය විසින් ජාත්‍යන්තර වායුගෝලීය ප‍්‍රමිතියක් ද හඳුන්වා දී තිබේ. ඒ අනුව, උන්නතාංශයට සාපේක්ෂව පෘථිවි වායුගෝලයේ පීඩනය, උෂ්ණත්වය, ඝනත්වය (Density) හා දුස්ස‍්‍රාවීතාව (Viscosity) යන සාධකයන්හි ප‍්‍රමිතිගත විචලන ආකෘතියක් සකසා ඇත. උපකරණ ක‍්‍රමාංකණය කිරීමටත් ගුවන් යානා සැලසුම් කිරීමටත් මෙය ප‍්‍රයෝජනවත් වේ. ‘යාන්ත‍්‍රික කියැවීම සඳහා වන ප‍්‍රමිතිගත බලපත‍්‍රයක්’ ද මෙම සංවිධානය විසින් හඳුන්වා දී ඇත. දේශසීමා අතර ගමන් පාලකයින්ගේ හා නීතියෙන් බලය ලැබී ඇති නියෝජිතවරුන්ගේ කාර්යය පහසු කරවනු වස් සියලූ දත්ත වරින්වර යාන්ත‍්‍රිකව පරිගණකයට කා වැද්දීමට සිදුවීම වැළැක්වීම මෙයින් සැලසෙන මහඟු සේවයයි. මෙහි නවතම අංගය බවට පත් ව ඇත්තේ ‘ජීව දත්ත ගමන් බලපත‍්‍රය’යි. මෙමගින් කුඩා පරිගණක චිපයක මගීන්ගේ අනන්‍යතා දත්ත ඇතුළත් කෙරේ. චන්ද්‍රිකා පද්ධති ද ඇතුළත් ඩිජිටල් තාක්ෂණවේද මෙන් ම සංදේශන, ගගන තරණ හා ආවේක්ෂණ ක‍්‍රම උපයෝගී කර ගනිමින් විශ්ව ව්‍යාප්ත ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් මෙමගින් ගොඩනැෙඟ්. ගුවන් තොටුපළ හා ගුවන් සේවා කේත සැකසීම හා ගුවන් යානා ලියාපදිංචි කිරීම සිදු කෙරෙනුයේ ද මෙම සංවිධානය මඟිනි.

1944 සිට මේ දක්වා මෙම සංවිධානයේ ප‍්‍රධාන ලේකම්වරුන් වශයෙන් එකොළොස් දෙනකු සේවය කර ඇති අතර 2009 සිට මේ දක්වා (2012* එම ධුරය හොබවනු ලබනුයේ ප‍්‍රංස ජාතික රේමන්ඞ් බෙන්ජමින් විසිනි.

ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් දිනය 1948 ජූනි 1 දා ලෙස සැලකේ. එම ආයතනයේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක නියෝජිතායතනය වනුයේ ‘ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි’ (Civil Aviation Authority of Sri Lanka).


-රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ-