ජාන් ඩී ඇලම්බර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Alembert Jean Le Rond D) (1717.11.16–1783.10.29). ප්‍රංශ ජාතික ගණිතඥයකු වූ ඇලම්බර් දාර්ශනිකයෙකු, භෞතික විද්‍යාඥයෙකු හා විශ්වකෝෂ කතුවරයෙකු හැටියට ද ප්‍රසිද්ධ ය.

පැරිස්හී චැවලියර් ඩේටූස් (Destouches) නම් රදලවරයෙකුගෙන් පැවැත එන පුතකු වූ ඔහු උපන් මෙහොතේ දේවස්ථානයක් ඉදිරිපිට අත්හැරපියන ලදී. දේවස්ථානයට පැමිණියවුන් විසින් දක්නා ලද එම ළදරුවා ඔවුන් විසින් අනාථ බිළිඳු මඬමකට යවන ලදී. තම පිතෘත්වය ආනාවරණය නොකර ම ඔහු අන් ගෙයක නවතා උසස් අධයාපනයක් ලබා දුන්නේ ය.

Collège des Quatre-Nations (1735), University of Paris, Paris Law Faculty යන ආයතනයන්හි අධ්‍යාපනය ලද ඇලම්බර් පළමුව නීතිය ද ඉක්බිති වෛද්‍ය විද්‍යාව ද ඉන්පසු ගණිතය ද හදාළේ ය. 1741 දී ඔහු පැරිස්හි විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වය ලැබී ය. පසුව ප්‍රංශ ඇකඩමියේ ලේකම්වරයා බවට ද පත් විය. ඔහුට බර්ලින් ඇකඩමියේ සභාපතීත්වය කිහිප විටක් ම පවරන ලද නමුත් ඔහු එය ප්‍රතික්‍ෂෙප කළේ ය.

1745 දී ඇලම්බර්ගේ මූලධර්මය නම් වූ යන්ත්‍ර විද්‍යානුගත මූලධර්මය (Mechanical principle) ඔහු ප්‍රකාශයට පැමිණවී ය. ඉන්පසූ තවත් ගණිත සොයා ගැනීම් කළ හේ ගණිතය, විද්‍යාව සහ දර්ශනය පිළිබඳ ලිපි හා පොත් ද ලීවී ය.

ඇලම්බර් කලක් ඩිඩෙරෝ සමඟ ඇන්සයික්ලොපීඩ් නම් ප්‍රංශ විශ්වකෝෂයෙහි සමසංස්කාරක පදවිය ද දැරී ය. ඔහු එයට ගණිතය, දර්ශනය, සාහිත්‍ය යන විෂයයන් යටතේ ලිපි සැපයී ය.

වෝල්ටෙයාර්ගේ මරණින් පසු ඇලම්බර් ඇකඩසියේ දාර්ශනික කණ්ඩායමේ නායකයා හැටියට සැලකිණ. ඔහු ගති විද්‍යාව, සංගීතය ආදී විෂය පිළිබඳ වැදගත් ග්‍රන්ථ ද කළේ ය. ප්‍රංශයේ පැරීසියේ දී උපත ලද ඇල්ම්බර් වයස 66 දී මිය ගියේ ද පැරීසියේ දී ම ය.

(කර්තෘ: ඩී.පී. පොන්නම්පෙරුම: 1958)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජාන්_ඩී_ඇලම්බර්&oldid=4480" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි