ජායාංගි පුෂ්පය (Pistillate Flower)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ස්තී‍්‍ර ලිංගික කොටස වන ඩිම්බකෝෂය සහිත එහෙත් පුරුෂ ලිංගික කොටස ක්ෂීණ වූ හෝ රහිත වූ හෝ පුෂ්ප, ජායාංගි පුෂ්ප ලෙස හැඳින්වේ. මෙම පුෂ්පවල පරාග හටනොගනී. එම නිසා ඵල ඇතිවීම සඳහා අවශ්‍ය පරාග වෙන ම පවතින පුමාංගි පුෂ්පයක් එම ශාකයේ ම හෝ එම විශේෂයේ වෙනත් ශාකයක ඇති වේ. ගස්ලබු, පොල්, සාදික්කා වැනි ශාකවල මෙම ජායාංගි හා පුමාංගි පුෂ්ප පවතී. පුමාංගය නොමැති බැවින් ජායාංගි පුෂ්පයක් අසම්පූර්ණ පුෂ්පයක් ලෙස හැඳින්වේ.

පුෂ්පය මධ්‍යයෙහි ඇති ජායාංගයේ කොටස් තුනකි. එහි පාදස්ථයේ ඇති ඩිම්බකෝෂය මධ්‍යයේ ඇති කීලය හරහා කලංකයට විවෘත වේ. ඩිම්බකෝෂයේ ඇති ඩිම්බ සංසේචනයට අවශ්‍ය පරාග කලංකය මත තැන්පත් වේ. මෙම පරාග, කීලය තුළින් (ඩිම්බ සංසේචනය සඳහා) ඩිම්බකෝෂය දෙසට වර්ධනය වන පරාග නලයක් ඔස්සේ ගමන් කරනු ලැබේ.

ජායාංගි හා පුමාංගි පුෂ්ප වෙන වෙන ම පිහිටීම අනිවාර්යයෙන් පරපරාගනය සිදුවීමේ ලක්ෂණයකි. පරපරාගනය සඳහා පරාග ප‍්‍රචාරණ කාරකයක් (සුළඟ, කෘමීන් වැනි) අවශ්‍ය වන අතර එය පරිණාමයේ ප‍්‍රධාන සාධකයක් වන ස්වාභාවික වෙනස්කම් ඇතිවීම සුලභ කරවයි. ජායාංගි පුෂ්ප හා පුමාංගි පුෂ්ප එක ම ශාකයක හෝ ශාක දෙවර්ගයක පිහිටිය හැක. යම් විශේෂයක ජායාංගි හා පුමාංගි පුෂ්ප ශාක දෙවර්ගයක පවතින විට ජායාංගි හා පුමාංගි යනුවෙන් ශාක දෙවර්ගයක් පිහිටයි. ජායාංගි පුෂ්ප පමණක් පවතින ශාක ජායාංගි ශාක යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙසේ යම් විශේෂයක ලිංගය අනුව ශාක දෙවර්ගයක් පිහිටීම ද්විගෘහිතාව ලෙස හැඳින්වේ. ජායාංගි හා පුමාංගි ශාක දෙවර්ගය වෙන වෙන ම එක ම ශාකයේ පවතින විට එය ඒකගෘහිතාව ලෙස හැඳින්වේ.

 (රූප සටහන- පොල් මලක ඇති ජායාංගි පුෂ්ප හා පුෂ්ප සටහන)


ප‍්‍රසාද් සේනාධීර