ජාලකරණය (Networking)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කිසියම් කාර්ය සාඵල්‍යතාවක් සාක්ෂාත් කරගනු වස් ජාලයක් ලෙස කණ්ඩායමක් වශයෙන් සාමූහිකව කි‍්‍රයා කිරීම මෙනමින් හැඳින්වේ. නවීන විද්‍යාත්මක ක‍්‍රම, මනෝවිද්‍යාත්මක හා කළමනාකරණ සිද්ධාන්ත උපයෝගී කර ගනිමින් නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරමින් කණ්ඩායමක් ලෙස කි‍්‍රයාත්මක වීම මෙහි දී සිදු වේ. එබැවින් ‘ජාලකරණය යනු සබඳතාවක්, මිතුදම්කරණයක්, කොටස්කරණයක් මෙන් ම නායකත්වයක් වශයෙන්’ සඳහන් කොට තිබේ (Fogg. JM (2003). The Greatest Network in the World. Greatest Net Worker Inc. United States of America. p. 257).

ජාලකරණය වූ කලි පරිගණක විද්‍යා ක්ෂේත‍්‍රයෙහි ද ප‍්‍රචලිත ක‍්‍රමවේදයකි. එසේ වුව ද මෙම සංකල්පය 16 වන සංකල්පය තරම් ඈතට දිව යන්නකි. ජාලකරණය (networking) යන වචනය 16 වන සියවසේ පමණ මාළුදැල් භාවිතය (fishing net) සඳහා යන අරුතින් භාවිත කෙරුණි. දැනුදු මාළු කර්මාන්තය සඳහා ජාලකරණය (net - working) යන වචනය භාවිත කෙරේ.

ලොව විවිධ ස්ථාන සහ පුද්ගලයන් සමීපතමයන් බවට පත් කර ගැනීමට ජාලකරණය මගින් හැකියාව ලැබී ඇත. මෙහි ලා වඩාත් අවධාරණය කෙරෙන්නේ කණ්ඩායම් කි‍්‍රයාකාරීත්වය තුළ සහ මානව සම්පත් කළමනාකරණය තුළ කවර ආකාරයෙන් ජාලකරණය යොදා ගන්නේ ද යන්නයි.

නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක‍්‍රම මගින් විශේෂයෙන් පෘථිවියත් පොදුවේ සමස්ත විශ්වයත් අන්‍යෝන්‍ය වශයෙන් දැඩි ව සම්බන්ධ ව පවතින වත්මන් ලෝකයෙහි සාමූහිකව එකට සම්බන්ධ වී කි‍්‍රයා කිරීම අත්‍යවශ්‍ය කරුණක් ව පවතී. දැනට ලොව පවත්නා විශාලතම ජාලකරණය වන අන්තර්ජාලය (internet) තුළින් මුළු ලොව ම විශ්ව ගම්මානයක් බවට පත් කොට ඇත. මීට අමතරව තවත් විවිධ ආකාරයේ ජාලකරණ නිර්මාණය වේ.

උදා.
  • උපදේශක
  • සන්ධාන
  • සුවිශේෂ ළැදියා ඇති කණ්ඩායම්
  • ගුණාත්මක කණ්ඩායම්
  • සුවිශේෂී අරමුණු සඳහා ගොඩනැංවූ කණ්ඩායම්
  • ඉලෙක්ට්‍රොනික ජාලකරණ කණ්ඩායම්


ජාලකරණ බලය කි‍්‍රයාත්මක කිරීමේ දී බහුවිධ පුද්ගලයන්ගේ සහාය අවශ්‍ය කෙරෙන හෙයින් අන්තර්පුද්ගල සම්බන්ධතාව ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීම අවශ්‍ය කෙරේ. එහි දී පුද්ගලයන් තුළ පවත්නා අඩුපාඩු හැකිතාක් මගහරවා ගනිමින් දක්ෂතා ඉස්මතු කර ගනිමින් උපස්තම්භන ලබා දෙමින් සංවේදී ලෙස කි‍්‍රයා කරමින් වඩාත් ඉහළ මානව ශක්තියක් ඉස්මතු කර ගැනීමට කණ්ඩායම් සාමාජිකයන් මෙන් ම විශේෂයෙන් කණ්ඩායම් නායකයින් නිරතුරුව කි‍්‍රයා කළ යුතු ව පවතී.

ජාලකරණය මගින් අත් වී ඇති ප‍්‍රයෝජන රාශියකි. ඒ අතර තිරසාර සංවර්ධන කි‍්‍රයාවලිය සඳහා මානව සංවර්ධනයට සකි‍්‍රය මෙවලමක් වනවා සේ ම ජාලකරණය මානව සංවර්ධනය ප‍්‍රායෝගික ව කි‍්‍රයාවට නංවන බලවේගයක් ලෙස ද හඳුනා ගත හැකි ය.

ජාලකරණයේ අරමුණු :-

1. රැකියාවක් වෙනස් කර ගැනීම
2. වෘත්තිය වෙනස් කිරීම
3. ස්වදැනුම හා කාර්ය වර්ධනය කර ගැනීම
4. ස්වකුශලතා අන් අය වෙත යොමු කිරීම
5. ව්‍යාපාර සහ වෘත්තීය සබඳතා උත්පාදනය කිරීම
6. නව මිතුරන් ඇති කර ගැනීම


ජාලකරණය සාර්ථක කර ගැනීමට මානව කුශලතාවල එකතුවක් අවශ්‍ය වේ. එම උපාය මාර්ගික ජාලකරණ සඳහා අවශ්‍ය මානව කුශලතා කිහිපයකි.

ඒවා නම් :

1. ධනාත්මකව හා පැහැදිලිව අදහස් ප‍්‍රකාශ කිරීම
2. හොඳ ප‍්‍රශ්න ඇසීම
3. සවන්දීමේ හැකියාව
4. සිත් ගන්නා පරිදි ඉදිරිපත් කිරීම
5. දැනුම හා කුශලතා සහිත වීම
6. අන් අයව බල ගැන්වීමට (empower) උනන්දුව පෙන්වීම


ජාලයක් ලෙස සාමූහිකව කි‍්‍රයා කිරීමේ දී සන්නිවේදන කුසලතා වැදගත් අංගයකි. මෙහිලා තම අදහස් අන් අයට සම්පේ‍්‍රෂණය කිරීමට මෙන් ම නිර්මාණශීලීව අන් අයගේ අදහස්වලට ඇහුම්කන් දීම (creative listening) ද අවශ්‍ය කෙරේ. නිර්මාණශීලී සවන්දීම ලොව ඉතා දුර්ලභ සවන්දීමක් ලෙස පිළිගැනේ.


නිර්මාණශීලී සවන්දීම (creative listening)

1. විවෘත සවන්දීම (open listening)
2. සැලසුම්කරණ සවන්දීම (listening by design)


ප‍්‍රතිචාර සවන්දීම (re-active listening)

1. සංවෘත සවන්දීම (closed listening)
2. දත්ත පදනම් කර ගැනීම (listening by default)


කිසියම් අවස්ථාවක නිර්මාණශීලී සවන්දීමක් සිදු නොවේ නම් එසේ වීමට බලපාන හේතු සාධක කිහිපයක් අනාවරණය කොට ගෙන ඇත.

1. සැසඳීම (comparing). එනම් ශ‍්‍රාවකයා දේශනයට සවන්දෙන අතරතුර තම ජීවිත අද්දැකීම් සමග එය සංසන්දනය කිරීම
2. පීලි පැනීම (derailing). දේශකයා සිය දේශනය ක්ෂණික ව වෙනත් අතකට හැරවීම
3. සිහින දැකීම (dreaming). පුද්ගලයන් සවන් දෙන අතර යම් යම් දෑ සිතින් මවාගෙන ඒ තුළ ජීවත්වීම
4. එරෙහිවීම (opposing). දේශනය අතරතුර ඊට එරෙහි ව කායික ව හෝ වාචසික ව ප‍්‍රතිචාර දැක්වීම
5. පෙරීම (filtering). සවන්දෙන දෙයින් තමා රුචි කරන දෙය පමණක් තෝරා ගෙන ඊට පමණක් සවන්දීම
6. හඳුනා ගැනීම (identifing). සමස්ත දේශනයෙන් ඒකදේශයක් පමණක් ග‍්‍රහණය කර ගැනීම
7. අර්ථ නිරූපණය ලබා දීම (interpreting) දේශනයේ ඇතුළත් කරුණු තම සිතැගි පරිදි අර්ථ දැක්වීම
8. මනස කියැවීම (mind reading). දේශකයාගේ සිතැඟි දැන ගැනීමට පෙළඹීම
9. සලකුණු කිරීම (plotting). දේශනයේ ඇතුළත් කරුණු කලින් අසා ඇති විට වර්තමාන දේශනයට කලින් එය මනයෙහි සටහන් ව ඇති බැවින් වත්මන් දේශනය ඇසීමට දක්වන අකමැත්ත
10. පෙරහුරුව (rehearsing). දේශනය අතරතුර ඉදිරියේ දී කළ යුත්ත වෙත සිත නැඹුරු කර ගැනීම හෝ එය ප‍්‍රායෝගිකව සිදු කිරීමට යාම


ජාලකරණය තුළ නායකත්ව භූමිකාව:

ජාලකරණය කි‍්‍රයාකාරීත්වයට නායකත්ව භූමිකාව අත්‍යවශ්‍ය අංගයකි. එබැවින් ජාලකරණය ඉහළ ම නායකත්ව කුසලතාවක් ලෙස ද හඳුන්වා දී ඇත. ජාලකරණ කුසලතාව මෘදු කුසලතාවක් (Soft Skills) වශයෙන් ද හඳුන්වා දී ඇත. ජාලකරණය තුළ අදාළ සාමාජිකයන්ගේ ආත්ම විශ්වාසය, උද්‍යෝගය, අභිමානය ඇති කිරීමට නායකයකු අවශ්‍ය වන්නා සේ ම ජාලකරණය වැඩි කර ගැනීමට ද උපාය ක‍්‍රම තීරණයට ද නායකයෙක් සුවිශේෂී කාර්යයක් ඉටු කරයි. මෙහි දී නායකයා නිතර ම ජාලකරණයේ ඉලක්ක වෙත ගමන් කිරීමට අවශ්‍ය පුහුණුව හා අධ්‍යාපනය ලබා ගන්නා අතර සිය සහායකයන් වෙත ද එකී පුහුණුව ලබා දීමට නිරතුරුව කි‍්‍රයාත්මක විය යුතු ය.

ජාලකරණය ව්‍යාපාරික වශයෙන් ද සංවිධානාත්මක අංශ වෙත ගමන් කර ඇත. ජාලකරණ අලෙවිකරණය (network marketing) වූකලි සබඳතා සහිත ව්‍යාපාරයකි. ලොව පවත්නා ප‍්‍රකට ව්‍යාපාර රැසක් ම ජාලකරණ අලෙවිකරණය භාවිත කෙරේ. බැංකුකරණය, කොටස් වෙළෙඳපොල, භාණ්ඩ අලෙවිකරණය ආදිය නිදසුන් ය.


සෝමපි‍්‍රය දහනායක

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජාලකරණය_(Networking)&oldid=851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි