ජාවා පරිගණක භාෂාව. (Java Computer Language)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පරිගණක ප‍්‍රලේඛන භාෂාවක් මෙනමින් හැඳින්වේ. සන් මයික්‍රො සිස්ටම්ස් ආයතනයේ ජේම්ස් ගොස්ලිං (James Gosling) විසින් සංවර්ධනය කරන ලදුව මයික්‍රො සිස්ටම් ආයතනයේ ජාවා වේදියෙහි (Java platform) ප‍්‍රධාන සංරචකයක් ලෙස 1995 දී මෙය හඳුන්වා දෙන ලදි.

ජාවා පරිගණක භාෂාවෙහි පද සංයෝජනය (syntax) බොහෝ සෙයින් C හා C + + භාෂාවන්ගෙන් ව්‍යුත්පන්න කරන ලද නමුත් එය සරල වූ විෂය (objects) මොඩලයකින් (ආකෘතියකින්) සමන්විත වන අතර පහළ මට්ටමෙහි (low - level) පහසුකම්වල ඌනතාවක් දක්වයි. ජාවා යෙදුම් ඕනෑම ජාවා අභාවිතික (අතාත්වික) යන්ත‍්‍රයක් (JVM) මත ධාවනය කළ හැකි බයිට් කේතයකට (bytecode) සංකලනය (compile) කිරීම නිසා එය පරිගණක වාස්තුකලාවේ (computer architecture) ස්වභාවය මත රඳා නොපවතී.

ජාවා යනු සාමාන්‍ය කාර්ය (general purpose) සඳහා වන සංගමනික (concurrent), පන්ති පදනම් වූ (class-based), විෂයානති (object oriented) ලක්ෂණ සහිත භාෂාවක් වන අතර එය කි‍්‍රයාත්මකකරණයෙහි යැපුම්, හැකි පමණ අඩුවෙන් පවතින ලෙස විශේෂයෙන් සැලසුම් කර ඇත. මෙය යෙදුම් සංවර්ධකයන් සඳහා ‘එක්වරක් ලියා ඕනෑම තැනක ධාවනය කරන්න’ (Write Once. Run Anywhere - WORA) යන තේමාවට අනුව එක් වේදියක් මත ධාවනය කරන ලද යෙදුමක් නැවත සංකලනය කිරීමකින් තොර ව වෙනත් වේදියක් මත ධාවනය කළ හැකි වන පරිදි සංවර්ධනය කරන ලද භාෂාවකි.

ජාවාහි මූලික සංකලන, අභාසි (virtual) යන්ත‍්‍රය සහ පන්ති ලේඛනාල සන් ආයතනය විසින් 1995 දී සංවර්ධනය කරන ලදි. 2007 වන විට ජාවා සමාජ කි‍්‍රයාවලියේ පිරිවිතරයන්ට (specifications) අනුකූල වන පරිදි සන් ආයතනය විසින් ජාවා තාක්ෂණයෙහි බොහෝ ප‍්‍රමාණයක් සාමාන්‍ය මහජන බලපත‍්‍ර (GPU - General Public License) යටතේ නැවත බලලත් කරන ලදි. වෙනත් අය විසින් ද සන් තාක්ෂණයෙහි විකල්ප කි‍්‍රයාත්මකකරණයන් සංවර්ධනය කර ඇත.

ජාවා ඇප්ලට් (Java Applet) : වෙබ් අතරික්සුවක (browser) ප‍්‍රදර්ශනය වන වෙබ් පිටුවක් වැනි යෙදුමකට නිහිත (embedded) කරන ලද ක‍්‍රමලේඛයන් ‘ජාවා ඇප්ලට්’ නමින් හැඳින්වේ.

ජාවා සර්වලට් (Java servelets) : ජාවා සර්වලටයක් යනු යාචන - ප‍්‍රතිචාර (request - response) ක‍්‍රමලේඛන ආකෘතිය ඔස්සේ යෙදුම් ධාරණය කරනු ලබන සේවකයක (server) හැකියාවක් විස්තාරණය (extend) කරනු ලබන ජාවා ක‍්‍රමලේඛන භාෂා පන්තියකි.

ජාවා වේදිය (Java platform) : ජාවාහි එක් අනුලක්ෂණයක් වන්නේ එහි සුවාග්‍යතාවයි (portability). එනම් ජාවා මාධ්‍යයෙන් ලියන ලද ක‍්‍රමලේඛයක් ඕනෑම දෘඪාංග/මෙහෙයුම් පද්ධති වේදියක එක ම ආකාරයට ධාවනය කළ හැකි වීමයි. මෙය සිදු කෙරෙනුයේ ජාවා භාෂා කේතයක් ඍජු ලෙස වේදියට විශේෂ වූ යන්ත‍්‍ර කේතයට සංකලනය කිරීම වෙනුවට අතරමැදි අවස්ථාවක් වන ජාවා බයිට් කේතයකට සංකලනය කිරීමෙනි. ජාවා බයිට් කේත උපදේශ යන්ත‍්‍ර කේතයට ප‍්‍රතිසම වන අතර අභාසි යන්ත‍්‍රයක් මගින් පරිවර්තනය කිරීමට භාජන වේ. මෙහි දී ධාරක විශේෂිත වූ ආලේඛ (graphics) රසනාකරණය (threading) සහ සංජාලනය (networking) සඳහා වන ගණිත ක‍්‍රම සම්මත ලේඛනාල මගින් සිදු වේ.


එච්. එල්. පේ‍්‍රමරත්න