ජැක්සන්, ඇන්ඩ‍්‍රෑ (Jakson Andrew) (1767-1845)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පොදු ජනතාව අතරින් ඉදිරියට විත් රාජ්‍ය පාලන කටයුතු කෙරේ පොදු ජන සහභාගීත්වය වැඩි කිරීමේ අපේක්ෂාවෙන් ක‍්‍රියාකිරීම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයකු සේ හඳුන්වනු ලැබූ මෙතෙමේ ඇමෙරිකාවේ හත්වන ජනාධිපතිවරයා ය.

 (පින්තූරය)

ඔහුගේ මව්පියෝ අයර්ලන්තයේ සිට ඇමෙරිකාවට සංක‍්‍රමණය වූවෝ ය. ඇන්ඩ‍්‍රෑ උපත ලද්දේ උතුරු හා දකුණු කැරොලිනා දේශසීමාවේ පිහිටි ජනපදයක ය. කුඩා වියේ සිට ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශයක දුෂ්කර ජීවිතයකට හුරු වූ මොහු ලද අධ්‍යාපනය ද කඩාකප්පල් වූයේ ඇමෙරිකානු විප්ලවය හේතුවෙනි. විප්ලවකරුවන්ට ආධාර දුන් මොහු වරක් බි‍්‍රතාන්‍යයන් විසින් අත්අඩංගුවට ද ගන්නා ලදි. මෙම ගැටුම්වල දී ඔහුගේ මවත් සොහොයුරන් දෙදෙනාත් මියගිය බැව් පැවසේ.

ඇමෙරිකානු නිදහස් සටනින් පසුව උපන් බිමෙන් පිටවී නීතිය හදාරා රාජ්‍ය නීතිඥ මණ්ඩලයේ සේවයට බැඳුණු මොහු (1787) ඉනික්බිති වත්මන් ටෙනසි ජනපදයේ සොලිස්ටර්වරයා ලෙස පත් කරන ලද්දේ ය. සිය රැකියාවට අමතරව ඉඩම් මිලදී ගැනීමෙන් හා වගා කටයුතුවල යෙදීමෙන් ධනවතකු වූ මොහුට ප‍්‍රදේශයේ ධනවත්, බලවත් කොටස්වල මිත‍්‍රත්වය දිනා ගැනීමට හැකි විය. ඔහු විවාහ පත් වූයේ එහි විසූ කර්නල්වරයකුගේ වැන්දඹු දියණියක සමග

පොදුජන කටයුතු කෙරේ උනන්දුවක් දැක්වූ ජැක්සන් ඇන්ඩ‍්‍රෑ සිය දේශපාලන ජීවිතය ඇරඹුයේ නව ටෙනසි ජනපදයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසිනි. පළමුවරට ජාතික රාජ්‍ය සභාවේ ටෙනසි ජනපදය නියෝජනය කරන ලද්දේ (1796-1797) ද ඔහු විසිනි. 1797 දී සෙනට් මණ්ඩලයට තේරී පත්වුව ද 1798 දී ඉන් ඉල්ලා අස්වූ හේ 1804 තෙක් ටෙනසිහි සුප‍්‍රීම් උසාවියේ විනිසුරුවකු සේ සේවය කෙළේ ය. අනතුරුව ටෙනසි හේවා වැසියන්ගේ (Militia) මේජර් ජනරාල් තනතුරට පත්වූ මොහු 1812 යුද්ධ සමයේ දී හමුදාවල අණදෙන නිලයක් දරමින් දකුණුදිග දේශසීමා ප‍්‍රදේශ ආක‍්‍රමණය කළ ක‍්‍රීක් ඉන්දියානුවන් පරදවා ඔවුන් සතු ව තිබූ විශාල භූමි ප‍්‍රදේශයක් ගිවිසුමක් මගින් ෆෙඩරල් රජයට පවරා ගෙන රණවීරයකු සේ ජනප‍්‍රියත්වයක් ලද්දේ ය. ඔහුගේ කිතුගොස තවත් පැතිරුණේ නිව් ඕර්ලියන්ස් අල්ලාගෙන බි‍්‍රතාන්‍ය හමුදා පරදවා ඔවුන් ලූවිසියානාවෙන් පලවා හැරීමෙන් (1815) පසුව ය. ඉන්පසුව දකුණු දිග ප‍්‍රදේශවල හමුදා අණදෙන නිලය ඉසිලූ මොහු ස්පාඤ්ඤය සතු ව තිබී ෆ්ලොරිඩාවෙහි විසූ සෙමිනොල් ඉන්දියානුවන්ගෙන් දකුණු ජෝර්ජියාවට එල්ලවූ ප‍්‍රහාර මැඬලනු වස් ෆ්ලොරිඩාව ආක‍්‍රමණය කොට ස්පාඤ්ඤ මධ්‍යස්ථාන කිහිපයක් නතුකර ගත්තේ ය. ෆ්ලොරිඩාව ඇමෙරිකානු එක්සත් රාජ්‍යයට ඈඳාගත් පසුව පළමුවරට එහි ආණ්ඩුකාර පදවිය දරන ලද්දේ ද ජැක්සන් විසිනි.

1823 දී සෙනෙට් මඬුල්ලට තේරී පත්වූ මෙතෙමේ ජනප‍්‍රියත්වය හා හිතවතුන්ගේ ඉල්ලීම් මුල්කොට ජනාධිපති තරගයට ද ඉදිරිපත් වූයේ ය. එම තරගයෙන් මුල්වරට ජයග‍්‍රහණය ලද්දේ 1828 දී ය. බටහිර ජනපදවල ජන සහයෝගය ලබා එපෙදෙසින් තේරී පත් පළමුවන ජනාධිපතිවරයා වීමත් දක්ෂ ලෙස සැලසුම් කළ මැතිවරණ ව්‍යාපාරයක් දියත්කොට ඡන්දදායකයන් හමුවට ගොස් ඔවුන්ගේ ඡන්දය දිනාගත් පළමුවන ජනාධිපතිවරයා වීමත් මොහුගේ ජයග‍්‍රහණයේ විශේෂ ලක්ෂණ විය.

ජැක්සන්ගේ ප‍්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන ව්‍යාපාර ජැක්සෝනියන් ප‍්‍රජාතන්ත‍්‍ර-වාදය නමින් හැඳින්විණ. තමා බලයට පත් කළ දේශපාලන කොටස් සංවිධානය කර ඔහු විසින් ගොඩනඟන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (Democratic Party) ඇ.එ.ජ. ඉතිහාසයේ පළමුවන නවීන දේශපාලන පක්ෂයයි. මොහුගේ පාලන සමය තුළ දී ජනපද හයක් එක්සත් රාජ්‍යයට අනුබද්ධ කරන ලදි. ඡුන්ද බලය සම්බන්ධ නීතිරීති පුළුල් කිරීමෙන් දේශපාලන ක්ෂේත‍්‍රයේ නව අදහස් නියෝජනය කරන නව නායකයන්ට ඉදිරියට ඒමට පසුබිම සැකසිණ. දිගු කලක් තිස්සේ රාජ්‍ය පාලනයෙහි නිරත වීමෙන් ලද අද්දැකීම් නොවූයෙන් ප‍්‍රශ්න පැනනැඟි විට දී අවස්ථානුකුලව දැඩි ස්ථිර තීරණ ගත් මෙතෙමේ සිය අධිකාරය තදින් ක‍්‍රියාත්මක කළ ජනාධිපතිවරයකු සේ හැඳින්වේ. ජනාධිපති කෙළින් ම වගකිව යුත්තේ සිය ජාතියට බව විශ්වාස කළ හේ කොන්ග‍්‍රසයට විරුද්ධ ව නිෂේධ බලය පාවිච්චි කෙළේ ය. විරුද්ධවාදීන් තනතුරුවලින් ඉවත් කොට තම සහායකයන්ට නිලතල පැවරීම ක‍්‍රියාත්මක කෙරුණ ද එසේ සේවයෙන් පහ කෙරුණේ නිලධරයන්ගෙන් 1/5 තරම් ප‍්‍රමාණයක් පමණකැයි පැවසේ.

ජනපද පිළිබඳ ප‍්‍රශ්න පැනනැඟි අවස්ථාවල ඔහු ක‍්‍රියා කළ ආකාරයෙන් පෙනී යන්නේ එක්සත් රාජ්‍ය සංගමයේ ඒකාබද්ධතාව රැක ගැනීම ඔහුගේ මූලික අරමුණක් වූ බවයි. දකුණු කැරොලිනාව ආරක්ෂිත තීරුබදු ගෙවීම ප‍්‍රතික්ෂේප කළ විට යුද බලය යොදවා හෝ ජනපදය රාජ්‍ය නීතියට අවනත කරවා ගැනීමට අපේක්ෂා කළ ජැක්සන් ජෝර්ජියා ජනපදය සුප‍්‍රීම් උසාවියේ තීරණය ද නොසලකා රතු ඉන්දියානුවන් සතු ඉඩම් බලයෙන් පවරා ගත් අවස්ථාවේ දී මුනිවත රැක්කේ ය.

ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවාසීන්, ගොවියන්, ශ‍්‍රමිකයන් හා කුඩා පරිමාණ ව්‍යාපාර හිමියන් ආදි ජනකොටස්වල සහයෝගය ලද ජැක්සන් 1832 දී දෙවන වරටත් ජනාධිපති ධුරයට පත්වූයේ ය. ඇමෙරිකන් බැංකුවේ වරපත අලූත් කිරීම සම්බන්ධයෙන් බැංකුව සමග පැනනැඟි අර්බුදය මෙම නිලකාලය පුරා ම පැවතුණි. ඒ පිළිබඳ සම්මත වූ පනත් කෙටුම්පත ජැක්සන් විසින් නිෂ්ප‍්‍රභ කරනු ලැබීම නිසා ඔහුගේ විරුද්ධවාදීහු අරගල කළහ. රාජ්‍ය අරමුදල් ජනපද බැංකුවල තැන්පත් කිරීම හා පොදු ඉඩම් මිලදී ගැනීමේ දී රන්රිදීවලින් ගෙවීම් කිරීම අනුමත කිරීම, බැංකු කටයුතු අඩපණ කිරීමට ජැක්සන් ගත් පියවර දෙකකි. මෙම අර්බුදය සමථයකට පැමිණීමට පෙර සේවයෙන් විශ‍්‍රාම ගත් (1837) මෙතෙමේ ටෙනසිහි පදිංචියට ගියේ ය. ආර්ථික අතින් හා ශරීර සෞඛ්‍යයෙන් පිරිහුණ ද හේ ජීවිතයේ අවසන් කාලය දක්වා ම තමා හමුවීමට පැමිණි පක්ෂ නායකයන්ට හා හිතවතුන්ට උපදෙස් දීමේ නියැළී සිටි බව පැවසේ.


අජන්තා සී. දයාරත්න