ජැක්සන්, තෝමස් ජේ. (Jackson, Thomas Jonathan) (1824-1863)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකාවේ දකුණු හා උතුරුදිග ජනපද අතර ඇතිවූ සිවිල් යුද්ධවල දී (1861-1865) දකුණු නොහොත් සංයුක්ත ජනපදවල ඒකාබද්ධ සේනා මෙහෙයවූ මෙතෙමේ යුද්ධෝපක‍්‍රම පිළිබඳ මනා නිපුණත්වයක් ලද ජනරාල්වරයෙකි. බාල වියෙහි දී ම දෙමාපියන් මිය ගියෙන් ඥාතීන් භාරයේ ඇතිදැඩි වූ මොහුට ක‍්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබීමේ භාග්‍යය අහිමි විය. 1842 දී ඇමෙරිකානු හමුදා ඇකඩමියට ඇතුළත් වූ හේ පුහුණුව නිම වූ පසුව කාලතුවක්කු කටයුතු භාර ලූතිනන්වරයකු සේ ඇමෙරිකන්-මැක්සිකෝ යුද්ධයට සහභාගි විය. තනතුරු උසස්වීම් සමග හමුදා කටයුතු පිළිබඳ වගකීම් වැඩි වශයෙන් ඔහු වෙත පැවරුණත් නොබෝ කලකින් හමුදා සේවයෙන් ඉවත් වූ ජැක්සන් වර්ජිනියා හමුදා ආයතනයේ කාලතුවක්කු ශිල්පය හා ස්වභාව දර්ශනය පිළිබඳ මහාචාර්ය තනතුරට පත් විය (1851-1861). මෙසමයේ දී ආගම් ගැන උනන්දු වූ මොහු ඊට අදාළ පර්යේෂණවල නිරත වූයේ ය.

 (ඡායාරූපය)

ඇමෙරිකානු සිවිල් යුද්ධය පැනනැඟි විට වර්ජිනියා ජනපදයේ හමුදා සේවයට බැඳුණු මෙතෙමේ ස්වේච්ඡා භට කණ්ඩායම් එක්කොට ක‍්‍රියාකාරී සංයුක්ත ජනපද හමුදාංකයක් ඇති කරමින් කිත් පැසසුම් හා නිලතල ලද්දේ ය. සංයුක්ත ජනපද සේවා ජයග‍්‍රහණය කළ බුල්රන් සටන්වල දී (1861-1862) ජැක්සන් ද එම හමුදාවේ අණදෙන නිලයක් දැරී ය. සංයුක්ත ජනපද සේවාවල සේනාධිපති රොබට් ලී යටතේ සේවය කළ අතිදක්ෂ වූත් අවංක වූත් නිලධාරියා සේ හැඳින්වෙන්නේ මෙතෙමේ ය. ලීගේ නායකත්වයෙන් චාන්ස්ලස්විල්හි දී උතුරු ජනපද සේනා පරදවා ලද ජයග‍්‍රහණයෙන් උදම් වෙද්දී ජැක්සන් අභාග්‍යවත් ලෙස මරු වසඟ වූයේ ය. ඒ, යුද්ධ ව්‍යාපාරයට අදාළ කටයුත්තක නිරත වී ඉර බැස යන යාමයේ ආපසු එද්දී තම හමුදාවේ ම අයකු වැරදීමකින් තැබූ වෙඩි පහරකට ගොදුරු වීමෙනි.

තමා වෙත පැවරුණ කාර්යය තම ශක්ති ප‍්‍රමාණයෙන් ඉටුකිරීම, විනය ගරුකත්වය හා සංග‍්‍රාම ශූරත්වය නිලධාරීන් හා සෙබළ මුළු අතර ඔහුගේ ජනප‍්‍රියත්වය හා විශිෂ්ටත්වය කැපී පෙනීමට හේතු වූ ගුණාංග වේ.


අජන්තා සී. දයාරත්න