ජැක්සන්, මයිකල් ජෝසෆ් (Jackson, Michael Joseph) (1958.08.29-2009.06.25)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලෝක ජනප‍්‍රිය සංගීතයේ රජු වශයෙන් අභිවාදනයට පාත‍්‍ර වූ ද එදා මෙදා තුර ලොව බිහිවූ ඉතා ම සාර්ථක ප‍්‍රාසාංගික ශිල්පියා ලෙස ගිනස් වාර්තා පොතෙහි නම රැන්දූ ගායකයා යත ගේය පද රචකයකයා යත ශබ්දවාහිනී තැටි නිෂ්පාදකවරයා යත තනු රචකයා යත නැටුම් ශිල්පියා යත නර්තන රචකයා ය, නළුවා යත ව්‍යාපාරිකයා යත පරහිතකාමී සමාජ සේවකයා ය.

 (පින්තූරය)

ඇ.එ.ජ.යේ ඉන්දියානා ප‍්‍රාන්තයේ චිකාගෝ බද ගැරි නුවර කළු ඇමෙරිකානු කම්කරු පන්ති පවුලක මෙතෙමේ උපත ලද්දේ දරුවන් දස දෙනකුගේ පවුලක අටවැන්නා ලෙසිනි. මොහුගේ පියා යකඩ මෝලක කම්කරුවකු වූ ජෝසෆ් වෝල්ටර් ‘ජෝ’ ජැක්සන් විය. මව කැතරින් ඊස්තර් ස්ක‍්‍රෑස් වූවා ය. පියා ‘ෆොල්ක්න්’ නම් වූ ‘රිද්ම් හා බ්ලූ’ (R&B) සංගීත කණ්ඩායමකට සම්බන්ධ ව සිටියේ ය. ඔහු දරුවන් ශික්ෂණය කිරීමට අනුගමනය කළ දැඩි කායික, වාචසික හා මානසික දණ්ඩන ක‍්‍රම මයිකල් පීඩාවට පත් කළ ද ඔහු සංගීතඥයකු ලෙස ගොඩනැගීමට ද දායක විය.

මයිකල්ගේ සොහොයුරන් වූ ජැකී, ටිටෝ හා ජර්මේන් විසින් ගොඩනඟා තිබූ ‘ජැක්සන් සහෝදරයෝ’ (Jackson Brothers) නම් සංගීත කණ්ඩායමට 1964 දී මයිකල් හා මාර්ලන් යන සහෝදරයන් ද සම්බන්ධ වූයේ කොන්ගො හා ටැම්බුරීන වාදකයින් ලෙස ය. කලකට පසු මයිකල් පසුබිම් ගායනයෙන් හා රංගනයෙන් එම කණ්ඩායමට දායක විය. වයස අවු. 8 දී ජර්මේන් සමග මයිකල් ගීත ගැයීමට වූයෙන් ඉක්බිති ඔවුන්ගේ සංගීත කණ්ඩායම ‘ද ජැක්සන් 5’ (The Jackson 5) ලෙස හැඳින්වෙන්නට විය. ඔහු කේවල ගායකයකු ලෙස තම ජීවිතය ඇරඹුවේ 1971 දී ය.

1980 ගණන්වල මුල් කාලය වන විට ලෝක ජනප‍්‍රිය සංගීතයේ ප‍්‍රකට චරිතයක් බවට පත් මයිකල්ගේ ‘බීට් ඉට්’ (Beat It), ‘බිලී ජීන්’ (Billie Jean) හා ‘ත‍්‍රිලර්’ (Thriller) වැනි ඇල්බම සඳහා යොදා ගැනුණු වීඩියෝ පට නිසා ගීතය සිය පැරණි රාමුවෙන් ඔබ්බට ගොස් දෘශ්‍ය කලා මාධ්‍යයක් හා ප‍්‍රචාරාත්මක මෙවලමක් බවට පරිවර්තනය විය. තව ද එකල ආරම්භ කිරීමට යෙදුණු එම්.ටී.වී. නාලිකාවේ ජනප‍්‍රියත්වයට ද එම ඇල්බම මහත් සේ දායක විය. ‘බ්ලැක් ඕ වයිට්’ (Black or White), ‘ස්ක‍්‍රීම්’ (Scream) වැනි ජැක්සන්ගේ ඇල්බම 1990 දශකයේ ඉහත නාලිකාවේ ජනප‍්‍රිය ම ගීත සමුච්ච විය. ගීත වීඩියෝ හා වේදිකා රංගන හරහා ‘රොබෝ’ (robot) හා ‘මූන්වෝක්’ (moonwalk) යනුවෙන් නම් සපයන ලද සංකීර්ණ නැටුම් විලාස ජැක්සන් විසින් ජනප‍්‍රිය කරවනු ලැබිණි. ඔහුගේ සුවිශේෂී ගීතමය හඬෙන් හා මධුර උච්චාරණයෙන් ‘හිප්-හොප්’, ‘පෝස්ට්-ඩිස්කෝ’, සමකාලීන ‘රිද්ම් හා බ්ලූ’, ‘පොප්’ හා ‘රොක්’ සංගීත ශිල්පීහු මහත් ආභාසයක් ලැබූහ.

1982 දී එළි දැක්වුණු ජැක්සන්ගේ ‘ත‍්‍රිලර්’ වනාහි ලොව මෙතෙක් වැඩියෙන් ම අලෙවි වූ ගීත ඇල්බමයයි. ‘ ඕෆ් ද වෝල්’ (Off the Wall) (1979), ‘බෑඞ්’ (Bad) (1987), ‘ඬේන්ජරස්’ (Dangerous) (1991), ‘හිස්ටි‍්‍ර’(History) (1995) යනු ද ලොව වැඩියෙන් ම අලෙවි වූ ගීත ඇල්බම විය. ඒවා පිටපත් මිලියන 750ක් පමණ ලොව පුරා අලෙවි වී ඇති බවට ගණන් බලා තිබේ. එහෙත් 2001 දී එළි දැක් වූ ‘ඉන්විසිබ්ල්’ (Invisible) ඇල්බමය ඒ මට්ටමින් ම සාර්ථක වූයේ නැත.

‘රොක් ඇන්ඞ් රෝල් යශෝ ශාලාවට’(Rock and Roll Hall of Fame) දෙවරක් ප‍්‍රවිෂ්ට කරවන ලද කලාකරුවන් කිහිප දෙනා අතරට වැටෙන ජැක්සන් ‘නැටුම් යශෝ ශාලාවට' (Dance Hall of Fame) ප‍්‍රවිෂ්ට කරවනු ලැබූයේ ලෝක ‘රොක්’ හා ‘රොක් ඇන්ඞ් රෝල්’ ක්ෂේත‍්‍රයෙන් පැමිණි ප‍්‍රථම හා මේ දක්වා වන එක ම ශිල්පියා ලෙසිනි. ‘ග්රැමි වෘත්තාන්ත තරු’( Grammy Legend Award) හා ‘ග්රැමි යාවජීව කාර්ය සාධන’ (Grammy Lifetime Achievement Award) ඇතුළු ග‍්‍රැමී සම්මාන 13ක් ද ‘සියවසේ කලාකරු’ සම්මානය ඇතුළු ඇමෙරිකානු සංගීත සම්මාන 26ක් ද තම ගායන කුසලතාව වෙනුවෙන් ‘එක්සත් ජනපදයේ කේවල අංක එක’(number - one singles in the United States) සම්මාන 13ක් ද ඇතුළු සම්මාන සිය ගණනකින් ජැක්සන් පිදුම් ලබා සිටියේ ජනප‍්‍රිය සංගීත ක්ෂේත‍්‍රයේ වැඩි ම සම්මානයට පාත‍්‍ර වූ කලාකරුවා ලෙසිනි.

ලෝකයේ ඉහළින් ම කැපී පෙනෙන මානව හිතවාදියකු හා පරාර්ථකාමියකු වූ මෙතෙමේ පෞද්ගලිකව මෙන් ම, 1992 ඇරඹූ ඔහුගේ ‘ලෝක සංහිඳියා පදනම’ (Heal the World Foundation) හරහා ද ඇමෙරිකානු ඩොලර් මිලි. 300කට අධික ප‍්‍රමාණයක්, යුද්ධයෙන්, දිළිඳුකමින් හා රෝගාබාධවලින් පීඩිත දරුවන්ගේ සුභසිද්ධිය සැලසීම ඇතුළු අසරණ සරණ පිණිස පරිත්‍යාග කරමින් ලෝකයේ ජනප‍්‍රිය කලාකරුවන් අතර වැඩි ම ධන පරිත්‍යාග කළ පුද්ගලයා ලෙසින් ගිනස් වාර්තා පොතට ඇතුළු විය. 1984 දී රොනල්ඞ් රේගන් ජනාධිපතිවරයා අතින් ඇමෙරිකානු ධවල මන්දිරයේ දී ඔහු සම්මානයට බඳුන් වූයේ මද්‍යසාර හා අන්තරායකර ඖෂධ පාවිච්චියට ඇබ්බැහි වූවන් එයින් මුදා ගනු පිණිස සිදු කරන ලද ධන කැප කිරීම හේතුවෙනි. එසේ ම ධන පරිත්‍යාගයේ ගීය ලෙසින් ලෝ පතල වූ We are the world (ලොව නම් අපි වෙමු) හි ගේය පද රචකයෝ වූවෝ ලයනල් රිචී (Lionel Richie) හා මයිකල් ජැක්සන් ය. එමගින් අරමුණු කෙරුණේ ඇ.එ.ජ.යේ හා අප‍්‍රිකාවේ දිළින්ඳන් කුසගින්නෙන් මුදවා ගැනීමයි. එම ගීය විශේෂ, ඇමෙරිකන් සංගීත සම්මාන දෙකකින් පිදුම් ලැබී ය. ඒ, ගීතයේ නිර්මාණය හා ‘අප‍්‍රිකාව වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය’ යන අදහස වෙනුවෙනි. ගායකයකු නොවන ලෙස ජැක්සන්ට හිමි වූ එක ම ඇමෙරිකන් සංගීත සම්මාන වනුයේ ඒවා ය. රයන් වයිට්ගේ (Ryan White) මරණයෙන් පසු ඒඞ්ස් රෝගය නිවාරණය කරනු පිණිස ආධාර හා පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන් කරන ලෙස ජනාධිපති බිල් ක්ලින්ටන් පාලනයෙන් ඉල්ලා සිටීමට ජැක්සන් ඉදිරිපත් වූයේ එකල එය කුතුහලය දනවනසුලූ කාරණයක් වූ බව ද නොතකා ය. කොසෝවෝ සරණාගතයින් හා ග්වාතමාලාවේ දරුවන් වෙනුවෙන් ද ඔහු මහත් ධනයක් කැප කෙළේ ය.

තරුණ කාලය මුළුල්ලේ සාමාන්‍ය දුඹුරු පැහැ සමකට ජැක්සන් හිමිකම් කීවේ ය. එහෙත් 1980 මැද භාගයේ සිට එය සුදු පැහැයට හැරීමට වීම ජැක්සන් සම්බන්ධයෙන් කටකතා පැතිර යෑමට හේතු විය. ඊට හේතු වූයේ සුවිශේෂී චර්ම රෝග දෙකක් බවට ද අදහසක් පවතී. පසු කලෙක තම ස්වයං ලිඛිත චරිතාපදානය වන ‘මූන්වෝක්’ (Moonwalk) මගින් තමාගේ නාසයේ ප්ලාස්ටික් සැත්කම් දෙකක් සහ දෙකොපුල්හි වලගැසීමක් ඇති වන පරිදි සැත්කමක් කර ඇති බව හෙතෙම පිළිගත්තේ ය. එහෙත් බාහිර වෛද්‍යවරු ඔහුගේ මුහුණේ සැත්කම් රාශියක් කර ඇති බවට අදහස් දක්වති.

ප‍්‍රතිකාරයන්ට භාජනය වීමේ දී ඔහුට උපස්ථාන කළ හා මානසික සහාය ලබා දුන් දන්ත හෙදි ඩෙබී (Debbie Rowe) ඔහුගේ දෙවන බිරිඳ බවට පත් වූවා ය. ජැක්සන්ගේ වැඩිමහල් දරුවන් දෙදෙනා ඇයගෙනි. ජැක්සන් පළමුවර විවාහ වී සිටියේ එල්විස් ප්‍රෙස්ලිගේ (Elvis Presley) දියණිය වූ ලීසා මේරි ප්‍රෙස්ලි (Lisa Marie Presley) සමගිනි. 2002 දී කෘත‍්‍රිම සිංචන ක‍්‍ර‍්‍රමයෙන් ඔහුගේ තෙවන දරුවා උපත ලැබී ය. දරුවාගේ මවගේ තොරතුරු අප‍්‍රකට ය.

1989 දී ඔහු සෝවියට් සංගමයේ රූපවාහිනී තිරයේ වෙළෙඳ දැන්වීමක දර්ශනය වූ ප‍්‍රථම බටහිර ජාතිකයා බවට පත් විය. ධවල මන්දිරයේ ‘දශකයේ කලාකරුවා’ ලෙස ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් මෙතෙමේ නම් කෙරිණ.

ජැක්සන් චරිතයේ තවත් පැතිකඩක් හෙළි කළ ඔහුගේ දෙවන කෘතිය වූ Dancing the Dream නමැති කවි නිර්මාණ එකතුව එළිදුටුවේ 1992 දී ය. එය විචාරකයින්ගේ දෝෂ දර්ශනයට ලක් වුව ද 2009 දී පළ වූ එහි දෙවන මුද්‍රණය යම් ඇගයීමකට ලක් විය.

2006 වන විට Neverland Ranch නමින් හැඳින්වුණු ඔහුගේ මන්දිරය වියදම් අවම කිරීමේ පියවරක් ලෙස වසා දැමීම නිසා ඔහු ආර්ථික පරිහානියකට පත් ව ඇති බවට ආරංචි පැතිර යන්නට විය.

2009 මාර්තු මාසයේ දී ‘දිස් ඉස් ඉට්’ (This is it) යනුවෙන් නව ප‍්‍රසංගයක් ඉදිරිපත් කරන බවත් ඉක්බිති විශ‍්‍රාම ගැනීමට අදහස් කරන බවත් ජැක්සන් මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කෙළේ ය. ලන්ඩන්, පැරිස්, නිව් යෝර්ක් හා මුම්බායිහි ප‍්‍රසංග 10ක් පැවැත්වීමට සැලසුම් කෙරිණි. මේ ප‍්‍රසංගයේ ප‍්‍රවේශ පත‍්‍ර මිලියනයක් පැය දෙකකට අඩු කාලයක දී ලන්ඩන් නුවර දී අලෙවි විය. මෙහි පළමු ප‍්‍රසංගය ආරම්භ වීමට සති තුනකට අඩු කාලයක් තිබිය දී ඔහු තම හෘදයේ ක‍්‍රියාකාරීත්වය ඇණහිටීමෙන් මරණයට පත් විය. එහෙත් පසුව අනාවරණය වූ පරිදි ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ කොන්රඞ් මරේ (Conrad Murray) විසින් ප‍්‍රමාණය ඉක්මවා නියම කරන ලද වේදනා නාශක ඖෂධ නිසා ඔහුගේ මරණය සිදු වූයෙන් ජැක්සන්ගේ මරණයට හෙතෙමේ ලොස් ඇන්ජලීස් අධිකරණය විසින් වැරදිකරු කෙරිණ.

ඔහුගේ දේහය, කැලිෆෝර්නියාවේ ග්ලෙන්ඬේල්හි ෆොරෙස්ට් ලෝව්න් මෙමෝරියල් පාක්හි (Forest Lawn Memorial Park) මිහිදන් කෙරිණ.

මයිකල් ජැක්සන්ගේ මරණයෙන් ඉක්බිති පළ වූ පළමු ගීතය වූයේ 1980 ගණන්වල දී පෝල් අන්කා සමග රචනා කළ ‘දිස් ඉස් ඉට්’ය. එනමින් යුත් ප‍්‍රසංගයේ පුහුණුවීම් අඩංගු වාර්තා චිත‍්‍රපටය දෙසතියක දී ඇ.ඩො.මිලි. 260ක ආදායමක් ඉපිදවී ය.


රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ