ජැකොබයිට්වරු (Jacobites)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

1688 දී එංගලන්තයේ ඇති වූ උත්කෘෂ්ට විප්ලවයෙන් (Glorious Revolution) එංගලන්ත සිහසුන අහිමි වූ ස්ටුවර්ට් වංශිකයන්ට සහයෝගය දැක්වූවන් හැඳින්වෙන ඓතිහාසික නාමයයි. 1688 දී සිහසුනෙන් පහ කෙරුණු ස්ටුවර්ට්වංශික ජේම්ස් II ගේ (බ.) උරුමය වෙනුවෙන් පෙනී සිටි ජැකොබයිට්වරුන්ට එම නම ලැබුණේ ජේම්ස් යන්න ලතින් බසින් ජැකොබුස් (Jacobus) වූ හෙයිනි.

ජැකොබයිට්වරුන්ගේ බලපෑම් බි‍්‍රතාන්‍යය, ස්කොට්ලන්තය හා අයර්ලන්තය යන රටවල පැවතුණි. බි‍්‍රතාන්‍යයේ විග් පක්ෂය බලවත් වූ විට ටෝරිවරු බොහෝ දෙනෙක් ජැකොබයිට්-වරුන් හා කුමන්ත‍්‍රණය කළහ. ස්කොට්ලන්තයේ හා වේල්සයේ ජැකොබයිට් ව්‍යාපාරවල දී පෙළපත්වල බලපෑම කැපී පෙනුණි. අයර්ලන්තයේ එය ආගමික මුහුණුවරක් ගත්තේ ය. එංගලන්තයේ විසූ රෝමානු කතෝලිකයන් හා අන්තවාදී ටෝරි පාක්ෂිකයෝ ද සාමාන්‍යයෙන් ජැකොබයිට්වාදීහු වූහ.

සිහසුනෙන් පහ කෙරුණු II වන ජේම්ස් පළා ගියේ ප‍්‍රංසයට ය. ජැකොබයිට්වරු ප‍්‍රංසය හා ස්පාඤ්ඤය යන රටවල සහයෝගය ලද්දාහු ය. II ජේම්ස්ගේ ඇවෑමෙන් ඔහු පුත් ජේම්ස්, III ෆ්රැන්සිස් ජේම්ස් ලෙස පිළිගැනීම ජැකොබයිට්වරුන් මෙන් ම ඉහත කී රටවල රාජ්‍යසභා විසින් ද අනුගමනය කරන ලදි. එංගලන්තයේ රජ පත් විලියම් III 1689 දී ප‍්‍රංසයේ සිට අයර්ලන්තයට ගොඩබට ජේම්ස් II, බොයින් සටනින් (1690) ජයග‍්‍රහණය කරමින් අයර්ලන්තයේ ජැකොබයිට්වාදය මැඩලූයේ ය. ජේම්ස් ෆ්රැන්සිස් යටතේ ස්කොට්ලන්තයේ ජැකොබයිට් ආක‍්‍රමණ කිහිපයක් ඇති වුව ද ඒවා අසාර්ථක විය. එංගලන්තයේ ඈන් රැජිනගේ රාජ්‍ය සමයේ වරක් ද (1708) හැනොවීරියන් පෙළපතේ I හා II ජෝර්ජ් රජවරුන්ගේ කාලවල තෙවරක් ද (1715, 1719, 1745) ජැකොබයිට්වරු නැගී සිටියහ. ඉන් වැදගත් වන්නේ ජේම්ස් ෆ්රැන්සිස්ගේ පුත් චාර්ල්ස් එඞ්වර්ඞ් යටතේ ඇතිවූ (1745) අවසන් ආක‍්‍රමණයයි. ස්කොට්ලන්තයේ නගර අත්කර ගනිමින් ඩර්බ් දක්වා පැමිණිය ද ප‍්‍රංස හා බි‍්‍රතාන්‍ය ජැකොබයිට්වාදීන්ගෙන් අවශ්‍ය වූ ආධාර එහි දී නොලැබුණෙන් කලොඩින්හි (Culloden) දී ඔවුහු පරාජයට පත් වූහ (1746). ජැකොබයිට්වරුන්ගේ අවසාන අවි ගැටුම සේ සැලකෙන මෙයින් පසුව නායකයන්ගේ හිස් ගසා දැමීමෙන් හා අනුගාමිකයන් රටින් පිටුවහල් කිරීමෙන් ජැකොබයිට්වාදීන් තදින් මැඩලන ලදි. ආක‍්‍රමණයකට සූදානම් වූ ප‍්‍රංස නැව් කණ්ඩායමක් 1795 දී පරදවා ලීමෙන් ජැකොබයිට් ව්‍යාපාරය බිඳ වැටුණි. චාර්ල්ස් කුමරුගේ සොහොයුරු හෙන්රිගේ මරණයෙන් (1807) පසු සිහසුනට හිමිකම් කීමට ස්ටුවර්ට් වංශිකයකු නොමැතිවීමත්, III ජෝර්ජ් රජපත්වීම සමග හැනොව්රියන්වරුන් ගැන තිබූ දැඩි වෛරය තුනීවී යාමත් ජැකොබයිට් කැරලි අවසන් වීමට හේතුවිණි. ස්ටුවර්ට් වංශිකයන් තද කතෝලිකයන් වීම, හමුදා කටයුතුවල දී පෑ අකාර්යක්ෂමතාව සහ ඔවුන් ලද විදේශාධාර නිසා විදෙස් බලවතුන්ගේ ඉත්තන් බවට පත් වීම ජැකොබයිට්වාදීන්ට ජන සහයෝගය අඩුවීමට තුඩුදුන් හේතු වූ බව පැවසේ.

ඉන්පසුව ද කලක් තිස්සේ දේශපාලන බලපෑමකින් තොරව ව්‍යාප්ත ව පැවති ජැකොබයිට් අදහස් සාහිත්‍ය කෘතිවලට ද පදනම් විය.


අජන්තා සී. දයාරත්න

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජැකොබයිට්වරු_(Jacobites)&oldid=870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි