ජැටිය (Jetty)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

‘ඉදිරියට දික්වූ’ වැනි අරුතක් දෙන ප‍්‍රංස වචනයකින්, ඉංග‍්‍රීසි බස හරහා සිංහලයට බිඳී ආ වචනයකි, ‘ජැටිය’.

ජැටියක් ලෙස හැඳින්වෙන්නේ ගං මෝයක්, වරායකට ඇතුල් වන ස්ථානයක් හෝ එවැනි වෙනත් ස්ථානයකින් වෙරළේ සිට මුහුද දෙසට දික්වන සේ පවුරක, බැම්මක හෝ වේල්ලක ආකාරයෙන් ඉදි කරනු ලැබූ සිවිල් ඉංජිනේරුමය නිර්මාණයකි.

 (මෙරට පින්තූරයක්)

පිවිසුම් ජැටි හා නැව් ලැඟුම් ජැටි වශයෙන් ජැටි ප‍්‍රධාන වශයෙන් වර්ග දෙකකි.

1. පිවිසුම් ජැටි (Entrance Jetty) - යනු ගං මෝය හෝ අනෙකුත් වෙරළාශ‍්‍රිත ජල මාර්ගවලට හෝ කලපු ආකාර වරායවලට ඇතුළුවීමේ දොරටු අසල ඇති ඒවායි. මේ ජැටියකින් බලාපොරොත්තු වන කාර්යය වන්නේ ගංගා හෝ මුහුදු රළ ගැලීම ක‍්‍රමානුකූලව යොමුකර නාවික ගමනාගමනය පහසු කිරීමත් වැඩිදියුණු කිරීමත් ය. එනිසා ම මේවා යොමු ජැටි (Training Jetty) ලෙස ද හැඳින්වේ.

නාවික ගමනාගමනය පිණිස තැනූ ඇළ මාර්ග මුහුදට එක්වන පෙදෙස්හි දී, රළ පහර මගින් අසල වෙරළ පෙදෙස්වලින් රැගෙන එන වැලි හා වෙනත් දේ ඇළමාර්ග හරහා තැන්පත් වී එක්රැස්වීම වැළැක්වීමෙන් හෝ අඩු කිරීමෙන් එවන් ඇළමාර්ග ස්ථාවරකරණයට මේ ජැටි යොදා ගනු ලැබේ. ඇළ මාර්ගයේ දෙපසින් එකිනෙකට සමාන්තර ජැටි දෙකක් හෝ මුහුදු රළ පහර ඇතිවන දිශාවෙන් එක ජැටියක් පමණක් හෝ යෙදීම මෙහි දී සිදුවේ. මෙවන් ජැටියකින්, රළ පහර නිසා වැලි, අපද්‍රව්‍ය වැනි දෑ එක්රැස්වීම වැළැක්වීමට අමතරව ජල පහර ක‍්‍රමානුකූලව ගලන හා වඩා ප‍්‍රවේගවත් එකක් බවට පත් කිරීමෙන් ඇළ මාර්ගය වඩාත් ඒකාකාරී හා කාර්යක්‍ෂම එකක් බවට පත් කිරීම ද සිදුවේ. බොහෝ විට යුගල ලෙස ඇති මේ ජැටි වෙරළෙන් මුහුද දෙසට විහිදෙන සේ ගොඩනගන විටෙක එකිනෙකට අභිසරණය (Converege) වන ලෙසට ඉදිකෙරේ. දිය යටින් දැමූ විශාල ගල් ගොඩැල්ලක් මත හෝ ගඩොලින් බැඳීමෙන් හෝ තනිකර ම කොන්ක‍්‍රීට්වලින් හෝ තනන බැම්මක් ලෙසින් මෙන් ම දියෙන් මතුවන තෙක් විශාල ගල්, පවුරක ආකාරයට දැමීමෙන් ද ලී, කොන්ක‍්‍රීට් හෝ වානේ තහඩු හෝ කණු, ඍජු හෝ වක‍්‍ර රේඛාවක සිටින සේ වෙරළාශ‍්‍රිත මුහුද පත්ලේ සිටුවීමෙන් ද පිවිසුම් ජැටි තනනු ලැබේ.

දිය අගුලක් (Lock) හරහා තටාකයකට (Dock) විශාල ජල යාත‍්‍රා ඇතුළුවීමට ඇති තැන්හි දී යාත‍්‍රාවේ පැමිණීමේ දී හා නික්මීමේ දී යාත‍්‍රාව නිසි මගට යොමු කිරීම පිණිස, පුනීලයක හැඩයට පිහිටු වූ ජැටි දෙකක් ජල මාර්ගය දෙපස පිහිටුවනු ලැබේ. මේවා ද පිවිසුම් ජැටි ලෙස ගැනේ. වෙරළාශ‍්‍රිත මුහුදු පතුලට කාවැද්දා කණු ලෙස හෝ කොන්ක‍්‍රීට් වැන්නකින් නිර්මාණය කෙරෙන මෙවන් ජැටි, ගංගා හෝ මුහුදු දිය වැලින් යාත‍්‍රා ආරක්ෂා කරන අතර ම යාත‍්‍රාවලට තාවකාලික ලැගුම් ගත හැකි ලකනැකි (නැංගුරම්) (Mooring) පහසුකම් ද සපයා දෙයි.


2. නැව් ලැඟුම් ජැටි (Berthing Jetty) - වරාය පහසුකම් මඳ හෝ නොමැති විටක වෙරළෙන් ඔබ්බේ මුහුදේ නැව් නැවතීමට මුක්කු පහසුකම් (Shore facilities) සැලසීම පිණිස මුහුදේ සුදුසු ගැඹුරක් ඇති තැනක තනන මේ ජැටි නැව් ලැගුම් ජැටි ලෙස හැඳින්වේ. දියෙන් මතුවන පටු පියක් (Pier) ලෙසට ගොඩනගන මෙම ජැටි කුඩා පාලමක් වැන්නකින් වෙරළට හෝ වරායකට සම්බන්ධ කරනු ලැබේ. බොහෝ විට කුඩා දිය කඩනයකට හෝ පියරයකට සමානකම් දැක්වුව ද ඒවායේ හැඩහුරුකම, ඉදිකිරීමේ සැලසුම් ආදිය එකිනෙකට වෙනස් වන අතර ම ඒ වෙනස්කම් මූලිකව ම රඳා පවතින්නේ එවන් ජැටිවල ප‍්‍රයෝජනත් එය තැනීම පිණිස පහසුවෙන් යොදා ගත හැකි ද්‍රව්‍යයනුත් මත ය.

ගං ඉවුරුවල සිදුවන ඛාදනය අඩුකිරීමට ද කුඩා ප‍්‍රමාණයේ ජැටි යොදා ගැනේ. ගංගාවන්හි වක ගැසීම්වල අවතල පැත්තෙන් ගඟ දෙසට දික්වන ලෙස මෙවන් ජැටි ඉදිකෙරේ. එමගින් ජල පහරේ ස්වාභාවික වේගය හා සුළි අඩුකර ඛාදනයට බඳුන්වන ඉවුර අසල ක‍්‍රමානුකූල හා සරල රටාවක ජල ගලා යාමක් ඇති කරයි.


එම්. එම්. ඒ. එස්. පලිපාන

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජැටිය_(Jetty)&oldid=874" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි