ජිද් (ජීද්), ආන්ද්‍රෙ පෝල් ගුයියාමේ (Gide, Andre Paul Guillame) (1865-1951)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිද් (ජීද්), ආන්ද්‍රෙ පෝල් ගුයියාමේ (Gide, Andre Paul Guillame) (1865-1951). ප‍්‍රංස සාහිත්‍යධරයෙකි. වර්ෂ 1947 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනා ගත් හේ මානව හිතවාදී ලේඛකයකු ලෙස විශ්ව සම්මානයට පාත‍්‍ර විය.

 (ඡායාරූපය)

වර්ෂ 1869 නොවැම්බර් 22 දින පැරිසියේ දී ආන්ද්‍රෙ ජිද් උපත ලැබුවේ දැඩි මතධාරී ප්‍රොතෙස්තන්ත පවුලක එක ම දරුවා ලෙසිනි. මානසික කැලඹීම් හේතුවෙන් ඔහුගේ පාසල් අධ්‍යාපනයට විටින් විට බාධා පැමිණියේ ය. 1880 දී පියා මිය යෑමෙන් එය සම්පූර්ණයෙන් නැවතුණි. එහෙයින් මව විසින් නිවසට කැඳවන ලද ගුරුවරුන්ගෙන් ශිල්ප හැදෑරීමට ඔහුට සිදු විය. 1889 දී පළමු උපාධිය ලබා ගත් ජිද් තම දිවිය ලේඛන වෘත්තිය, සංගීතය හා දේශාටනය සඳහා කැප කිරීමට ඉටා ගත්තේ ය. වර්ෂ 1891 දී ඔහුගේ පළමු සාහිත්‍ය නිර්මාණය වූ ස්වයං චරිතාපදාන ස්වරූපය ගත් Chahiers D'Andrew Walter (ආන්ද්‍රෙ වෝල්ටර්ගේ සටහන් පොත්) කෘතිය පළ විය. එය, ඔහු පසුව මහත් කෘතහස්තතාවෙන් භාවිත කළ උත්තම පුරුෂ ආඛ්‍යාන ශෛලියෙන් ලියැවුණකි. සුප‍්‍රකට ප‍්‍රංස සංකේතවාදී ස්වරූපය ගත් Narcissus (නාසියස්), L'Vayage d'Urien (උරියන්ගේ ප‍්‍රයාණය), La Tentative Amoureus (පෙම්වතුන්ගේ ප‍්‍රයත්නය) යන කෘති 1893 දී ඔහු අතින් බිහි වුණි.

ඒ වර්ෂයේ දී උතුරු අප‍්‍රිකාවේ සංචාරයක නිරත වීම ජිද්ගේ ජීවන දෘෂ්ටිය විපර්යාසයකට භාජන කෙළේ ය. තමා වෙත පැන වී තිබුණු දැඩි ආගමික නීතිරීතිවලින් නිදහස් වීම සඳහා වෙනම ම ආචාර ධර්ම සමුදායක් අනුගමනය කළ උතුරු අප‍්‍රිකාවේ අරාබිවරුන් හා සමග වූ ආශ‍්‍රය ජිද්ට උපකාරයක් විය. සාම්ප‍්‍රදායික සමාජ තහංචිවලින් විමුක්තිය ලැබීමේ එක් අංගයක් වූයේ තමන් තුළ පැවති සමලිංගික ප‍්‍රවණතා හඳුනාගැනීමට ඔහුට ඉඩ ලැබීම ය. 1897 දී ඔහු නිර්මාණය කළ Les Nourritures Terrest (මිහිතලයෙහි ඵල) නම් ගද්‍ය කාව්‍යය පාපයට ඇති බියෙන් අත්මිදී නොපැකිළ තම සිතැඟි අනුගමනය කිරීමේ පිළිවෙත පිළිබිඹු කරන්නක් ලෙස සැලකේ. එහෙත් යළි පැරිසියට පෙරළා පැමිණීම ‘හුස්ම හිර කරවන' වාතාවරණයක් වෙත පැමිණීමක් බව පැවසූ ඔහු තමාගේ මානසික පීඩනය Marsh lands, 1894 (වගුරුබිම්) කෘතියෙන් නිරූපණය කර දැක්වී ය.

1893 දී යළි උතුරු අප‍්‍රිකාවට ගිය ජිද්ට එහි දී බි‍්‍රතාන්‍ය ලේඛක ඔස්කාර් වයිල්ඞ් හා ඔහුගේ මිත‍්‍ර ඇල්ෆ‍්‍රඞ් ඩග්ලස් සාමිවරයා මුණ ගැසුණි. තමා යටපත් කරගෙන සිටි සමලිංගික සිතැඟි ස්වාභාවික දෙයකැයි පිළිගැනීමට ඔවුහු ජිද්ට අනුබල දුන්හ. එහෙත් සිය මව බලවත් ව රෝගාතුර වීම නිසා 1895 මැද දී පෙරළා පැරිසියට ආ ජිද් එම වසරේ ම ඔක්තෝබර් මාසයේ දී තම නෑනා වූ මැඩලීන් විවාහ කර ගත්තේ ය. ඒ වන විට 27 වන වියෙහි වූ ජිද් තමා වාසය කළ රොක් නම් කුඩා නගරයේ නගරාධිපති වශයෙන් තෝරා පත් කර ගැනුණු අතර තමාගේ වගකීම් ඉතා බැරූරුම් ලෙස ඉටු කරන්නකු ලෙස ප‍්‍රකට විය. ඒ අතර 1897 දී ‘මිහිතලයෙහි ඵල’ කෘතිය මුද්‍රණයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට ද හේ සමත් විය. එහෙත් එයට පාඨක ප‍්‍රසාදයක් නොලැබුණි. එසේ වුව ද සිය පෞද්ගලිකත්වයෙහි අභිප‍්‍රායයන්ට නොපැකිළ අවකාශ සලසා දිය යුතු ය යන පිළිවෙතට දිරි දෙන එම කෘතිය, පළමුවන ලෝක මහා සංග‍්‍රාමයෙන් පසුව ආ පරපුර අතර අතිශයින් ජනප‍්‍රිය විය.

ජිද්ගේ නිර්මාණශීලිත්වය මල්පල ගැන්වුණු අවදිය ලෙස සැලකෙන්නේ, මනුෂ්‍යයා සාරධර්ම සොයා යන ගමන පිළිබඳ උපහාසාත්මක ප‍්‍රබන්ධයක් වූ Le Prometheemal enchaine, 1899 (යදමින් මිදුණු ප්‍රොමිතියස්), Le Porte etoite, 1909 (ගේට්ටුව කෙළින් ම ඇත) La Samphonie Pastorale, 1919 (ගැමිදිවියේ සංධ්වනිය) යන කෘති එළි දුටු යුගය ය. එම නිර්මාණ තුනෙන් මනුෂ්‍ය සම්බන්ධතා සහ විවාහ ජීවිතයේ වගකීම් කෙසේ පෑහේ ද යන්න පිළිබඳ ගැඹුරින් සලකා බැලීමක් සිදුවිය. ‘දුශ්චරිතවාදියා’ සහ ‘ගේට්ටුව කෙළින් ම ඇත’ යන උත්තම පුරුෂ ආඛ්‍යානයෙන් ලියැවුණු කෘතීන්හි අහිංසක ලෙස පැවසෙන වෘත්තාන්තයෙහි පුද්ගලයා මුහුණ පාන සදාචාරමය ගැටලූ තියුණු උත්ප‍්‍රාසයකින් යුතුව නිරූපණය වේ.

ජිද් 1914 දී ලියා පළ කළ Les Caves du Vatican (වතිකානු රැවටිල්ල) නම් පූජක විරෝධී කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුනි. අසම්මත වෘත්තාන්තයක් වූ මෙහි එන චරිත උමතු හෝ මෝඩ විලාසයෙන් හැසිරෙන්නවුන් වූ අතර ඔවුන් ම`ගින් දුශ්චරිතය පැතිරවීමට කතුවරයා වෑයම් කරතැයි චෝදනා නැගුණි.

විසිවන සියවස මුල වන විට ජිද් සාහිත්‍ය විචාරකයකු ලෙස මහත් පිළිගැනීමක් ලබා තිබුණි. ඔහු ප‍්‍රමුඛ පිරිසක් 1908 දී ස්ථාපනය කළ La Nouvelle Revue Francaise නම් චිචාර සඟරාව ප‍්‍රංසයේ ප‍්‍රගතිශීලී ලේඛකයන් එකමුතු කළ ආයතනයක් ලෙස බොහෝ කලක් පැවතුණි.

වර්ෂ 1914-18 පළමු ලෝක සංග‍්‍රාම සමයෙහි යුද්ධයෙන් පීඩිත පැරිස්වාසීන්ට පිළිසරණ වෙමින් මහත් සේ වෙහෙසුණු ජිද් මේ අද්දැකීම් නිසා බරපතළ සිත් කැළඹීමකට පත් විය. මේ අවදියෙහි සසල වූ තම ආගමික භක්තිය පිළිබිඹු කරන ආත්ම ගවේෂණාත්මක දින සටහන් පොතක් තබා ගත් ඔහු එම දින සටහන් 1926 දී පළ කළේ ය. කතෝලික හෝ ප්‍රොතෙස්තන්ත කිතු දහම ප‍්‍රතික්ෂේප කළ ඔහු තමාගේ ම දර්ශනයක් අනුව විසීමට ගත් අධිෂ්ඨානය, ස්වයං චරිතාපදානයක් ලෙස ලියූ Sile Garaine Merut, 1926 (මා මළ හොත්) කෘතියෙහි පිළිබිඹු වේ. තම ළමා කල සිට විවාහය දක්වා ජීවිතය විස්තර කරන මෙය පාපෝච්චාරණ සාහිත්‍යයේ අතිවිශිෂ්ට නිර්මාණයක් ලෙස පිළිගනු ලැබේ.

තම සමලිංගික සිතැඟි නොපැකිළ පිළිගැනීමට ඔහු කළ තීරණය 1918 දී පළ කළ Corydon (කොරිඩොන්) නම් කෘතියෙන් දිස් වේ. මේ අවධියෙහි ඔහු තරුණයකු සමග හාද වීමෙන් ඔහුගේ විවාහ දිවිය ද දෙදරා ගිය බව පැවසේ. කෙසේ වුව ද ‘කොරිඩොන්’ කෘතිය කෙරේ දැඩි විවේචන එල්ල විය. වර්ෂ 1926 දී ජිද් Les Faux - Monnayeurs (බොරුකාරයෝ) යන නවකථාව පළ කළේ ය. අතිශය සංකීර්ණ ආකෘතියකින් ප‍්‍රබන්ධ වූ මෙම කෘතියෙහි නිරූපණය වන්නේ පාසල් දරුවන් සමූහයක් පාසලේ දී හා ඉන් පිටත දී ගුරුවරුන් ඥාතීන් හා හිත මිතුරන් විසින් දුශ්චරිතයට යොමු කරවන ආකාරය ය.

වර්ෂ 1925 දී ප‍්‍රංසයේ අප‍්‍රිකානු යටත් විජිතයන්හි සංචාරයක නිරත වූ ජිද් Voyageau Congo, 1927 (කොන්ගෝවට ගමනක්) කෘතිය මගින් ප‍්‍රංස යටත්විජිත ප‍්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට ලක් කෙළේ ය. මෙම කෘතියෙහි දී ඔහුගේ මානව භක්තිය මනාව පිළිබිඹු වී තිබුණි. ජිද්ගේ ජීවිතයෙහි අවසාන භාගය එම මානව දයාවෙන් යුතු ව සැලකිය යුතු බව කියා සිටි ඔහු කාන්තාවන්ට සම අයිතිවාසිකම් දීම වෙනුවෙන් ද පෙනී සිටියේ ය. කලක් කොමියුනිස්ට්වාදය ගැන උනන්දුවක් දැක්වූ ජිද් 1936 දී සෝවියට් දේශයේ සංචාරයක නිරත විය. එහෙත් එම ගමනින් පසු කොමියුනිස්ට්වාදය කෙරේ ඔහු තුළ පහළ වූ කළකිරීම Retour de PURSS, 1936 (සෝවියට් රුසියාවෙන් ආපසු ඒම) සහ Retouches a mon tetoure I URSS, 1937 (සෝවියට් රුසියාව ගැන පසුසිතුවිලි) යන කෘතිවලින් පිළිබිඹු වේ.

වර්ෂ 1938 දී ජිද්ගේ බිරිය වූ මැඩලින් මිය ගියා ය. ඇගේ අවසාන කාලයේ දී ඈ හා සමග යළි එක් ව සිටි ඔහු ඈ තමාගේ එක ම හා උසස් ම පේ‍්‍රමය වූ බව පවසා තිබේ. දෙවන ලෝක මහා සංග‍්‍රාම අවධිය (1940-44) වන විට ඔහු චිරන්තන සම්ප‍්‍රදායෙහි අගය යළි අවබෝධ කරගෙන සිටියේ ය. 1941-44 කාලයේ ල ෆිගාරෝ පුවත්පතෙහි පළ වූ ඔහු සමග කැරුණු සම්මුඛ සාකච්ඡාවන්හි දී ඔහු කියා සිටියේ අසීමිත නිදහස පුද්ගලයාටත් සමාජයටත් අහිතකර බව ය. සම්ප‍්‍රදායයෙහි විනය මගින් නිදහස පාලනය විය යුතු බව ඔහු මෙහි ලා කියා සිටියේ ය. 1942 සිට දෙවන ලෝක මහා යුද්ධය අවසන් වන තුරු උතුරු අප‍්‍රිකාවේ විසූ ඔහු එහි දී Theseus (තිසියස්) නමින් පළ කළ කෘතියෙන් චිරන්තන සම්ප‍්‍රදායයෙහි අගය හුවා දක්වා තිබුණි.

වර්ෂ 1947 ජූනි මස දී එංගලන්තයේ ඔක්ස්ෆඞ් විශ්වවිද්‍යාලය විසින් ජිද් වෙත සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමන ලදි. සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය 1947 දී ඔහු වෙත පිරිනමනු ලැබීම ලෝක සාහිත්‍යයෙහි ඔහුගේ මානව හිතවාදීත්වය හා නිර්භය අදහස් ප‍්‍රකාශනය අගය කැරුණු බව සනිටුහන් කරන්නකි. වර්ෂ 1950 පළ කැරුණු දින සටහන් කෘතියෙහි අවසාන වෙළුම ඔහුගේ විචිත‍්‍ර වූ සාහිත්‍ය නිර්මාණයන්හි මුදුන් මල ලෙස සලකනු ලැබේ. තම 80 වන විය දක්වා ම ආත්ම විමර්ෂණයෙහි යෙදෙමින් තම අද්දැකීම්, සිත් ඇදගත් දේ, සංජානනයන් මෙන් ම තමන් තුළ පහළ වූ මානසික අර්බුද ද සටහන් කොට ඇති එම කෘතිය ලිවීමෙන් පසු යළි සාහිත්‍යකරණයෙහි නොයෙදීමට ජිද් තීරණය කෙළේ ය. වර්ෂ 1951 පෙබරවාරි 19 දින පැරිසියේ දී ඔහුගේ අභාවය සිදු විය.

පුද්ගල නිදහස හා ස්වාධීන විනිශ්චය අගය කරන අතර මතවාද ඉවසීමේ ගුණය ද ඔහුගේ සාහිත්‍ය ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණ විය. විප්ලවාදියකු හා පුරෝගාමී චින්තකයකු ලෙස විශ්ව සාහිත්‍යයට එක් වූ ඔහුගේ බලපෑම ජපානය වැනි දුර බැහැර දේශයන් වෙත ද විහිද ගියේ ය. ප‍්‍රංස සාහිත්‍යයෙහි අමරණීයයන් අතර ආන්ද්‍රෙ ජිද් අවිවාදයෙන් ඇතුළත් ව සිටී.


කේ. එන්. ඕ. ධර්මදාස