ජිනබෝධාවලී (අභිනීහාරදීපනී නාම)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිනබෝධාවලී (අභිනීහාරදීපනී නාම). ගඩලාදෙණියේ දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති මාහිමි සංඝරාජයන් විසින් රචිත පාලි පද්‍ය කාව්‍යයකි. ගම්පල රාජධානි සමයේ ගඩලාදෙණි විහාරයේ වාසය කළ එතුමා සුප‍්‍රකට ශීලවංශ ධර්මකීර්ති මාහිමි සංඝරාජයන්ගේ අනුජාත ශිෂ්‍යවරයා වූ අතර ඒ සංඝරාජයන්ගේ ඇවෑමෙන් එම උත්තරීතර සංඝරාජ පදවියට ද පත් විය. දේවරක්ෂිත යනු එතුමාගේ ස්ථවිර නාමයයි. ජයබාහු යනු මහා ස්ථවිර නාමයයි. ගම්පල යුගයේ අවසානයා වූ වීරබාහුරාජ රජතුමාගේ අනුග‍්‍රහයෙන් බු.ව. 1939 හෙවත් ක‍්‍රි.ව. 1396 පැවැත්වූ ශාසන ශෝධනයේ මුලසුන උසුලන ලද්දේ දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති මාහිමි සංඝරාජතුමා විසිනි.

ජිනබෝධාවලිය හැරුණු විට නිකාය සංග‍්‍රහය එතුමාගේ කෘතීන් ලෙස පණ්ඩිත සම්භාවනාවට ලක් ව ඇත. ජිනබෝධාවලී සිංහල මුද්‍රිත පිටපත් විරල ය. එහෙත් ඇතැම් පුරාණ විහාරස්ථ පොත්ගුල්වල පුස්කොළ පිටපත් හමු ව තිබේ. ජිනදාස ලියනරත්න විසින් පාලි පෙළ හා ප‍්‍රංස පරිවර්තන ද සහිත ව (BEFFO Vol. LXXII රෝම අකුරින් 1983 - PP4Q - 80) ජිනබෝධාවලී ශාස්ත‍්‍රිය සංස්කරණයක් ප‍්‍රකාශයට පත්කොට තිබේ. පහත සඳහන් කෙරෙන උපුටන ජිනදාස ලියනරත්නගේ එම සංස්කරණයන්ගෙන් ගත් ඒවා ය. ග‍්‍රන්ථ නාමය හැඳින්වෙන්නේ ‘අභිනීහාරදීපනි නාම ජිනාවබෝධාවලී හෙවත් අභිනීහාරදීපනී නම් වූ ජිනබෝධාවලී’ යනුවෙනි.

‘නමො බුද්ධාය’ යනුවෙන් ඇරඹෙන පාලි කාව්‍යයේ මුල් පද්‍ය තුනෙන් ත‍්‍රිවිධ රත්නය නමස්කාර කොට අටවිසි බුදුන් හා උන්වහන්සේලාගේ බෝධීන් වන්දනා කරනු පිණිස තමා ජිනබෝධාවලී රචනා කරන බව පවසයි.

‘යො සතත පණති තිරුරාජ වරස්ස යස්ස
මූලෙ හිසජ්ජ සුගතො සුගතො සුගත්තං,
පත්තොසිතං අඛිල ලොක සිවංකරන්තං
තණ්හංකරං පණමෙ පවරං දුමින්‍දං.’

යනුවෙන් කියැවෙන සිවුවන පද්‍යයෙන් තණ්හංකර බුදුන් හා උන්වහන්සේ පිටදුන් බෝධිය ද එතැන් පටන් එක් එක් පද්‍යයෙන් එක් එක් බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේ පිටදුන් බෝධිය ද අනුක‍්‍රමයෙන් 31 වන පද්‍යයෙන් ගෞතම බුදුරදුන් හා උන්වහන්සේ පිට දුන් ඇසතු බෝධි වෘක්ෂය ද වන්දනා කරනු සඳහා පද්‍ය 28ක් රචනා කොට ඇත. 31 වන පද්‍ය මෙසේයි.

‘එවං යො ලොකනාථො සහය චලතෙර සංඝරනෙතා භවිසමිං
දිස්වා බුද්ධො ජිනත්තෙ සතතරතමනො පාරමි පූරයිත්වා
පන්තො අස්සත්ථ මූලෙ නිඛිලසුඛපදං බුදධරාජන්ති සුද්ධං
වන්දෙ තං චාපි බොධිං හතදුරිත්තමං ගොතමං නාම නාථං’


ඉක්බිතිව ‘ඉති අට්ඨවීසති ජිනබොධි වන්‍දනත්තාය කතා අබීනීහාර දීපනි නාම ජිනබොධාවලී සමත්ථා’ යන වාක්‍යය ලැබේ. එහි අරුත මෙසේයි ‘මෙසේ අටවිසි බුද්ධ බෝධි වන්දනාව පිණිස අභිනීහාර නම් වූ ජිනබෝධාවලී සමාප්තයි’ යන්නයි. 32 වන පද්‍යයෙන් ‘මෙසේ ජිනබෝධි ප‍්‍රණාමය පිණිස රචනය කළ මවිසින් රැස්කර ගන්නා ලද කුසල තේජසින් සියලූ සත්ත්වයෝ භවයෙන් භවයට ශාන්තිය භජනය කරත්වා’ යනුවෙන් සියලූ සත්ත්වයන්ට පින් අනුමෝදන් කොට 33 වන පද්‍යයෙන් ‘මේ පින් මම බුද්ධභාවයට පත්වන තාක් යසස් - තේජස් - ධන - රූප - දීර්ඝායු - ඤාණ - කුල - සීල - බල - අරෝග යන සම්පත්වලින් යුක්ත ව ශ‍්‍රද්ධාවන්ත ව සුවච පරහිතකාමී දානපතියෙක් වෙම්වා’යි කවියා තෙමේ ද අනුමෝදන් වෙයි. 34 වන පද්‍යයෙන් ගාථා තිස්තුනකින් ද ග‍්‍රන්ථ පනස්පහකින් ද යුත් ජිනබෝධාවලී මවිසින් නිමවන ලදි යනුවෙන් පැවසෙයි.

ග‍්‍රන්ථය යනු අකුරු 32ක ඒකකයකි. එවිට ග‍්‍රන්ථ පනස් පහක් යනු අකුරු 1760කි. එසේ ගත් කල්හි කර්තෘ සඳහන් කරන පරිදි ජිනබෝධාවලිය පද්‍ය 32කින් ද ග‍්‍රන්ථ පනස් පහකින් ද එනම් අකුරු 1760කින් ද යුක්ත කාව්‍ය ග‍්‍රන්ථයකි. අවසනට ‘ජිනබෝධාවලී සමත්ථා, සිද්ධිරස්තු සුභමස්තු: ආරෝග්‍යමස්තු මේ පිනින් ලොවුතුරා බුදුවේවා’ යනුවෙන් කෙළවර සිංහල භාෂාවෙන් කළ ප‍්‍රාර්ථනාවක් ද වෙයි. ජිනබෝධාවලී පද්‍ය 34 ඇතුළත ප‍්‍රධාන වෘත්ත හතරකින් රචිත පද්‍ය දක්නට ලැබේ.


මැන්දිස් රෝහණදීර