ජින්නා, මොහොමඞ් අලි (Jinnah, Mohammed Ali) (1876-1948)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජින්නා, මොහොමඞ් අලි (Jinnah, Mohammed Ali) (1876-1948). පකිස්තානයේ නිර්මාතෘවරයා ය. හෙතෙම එහි ප‍්‍රථම අග‍්‍රාණ්ඩුකාරයා ද වූයේ ය. ජින්නාගේ මඟ පෙන්වීමත් නොපසුබට ධෛර්යයත් යටතේ නව රාජ්‍යයක් ලෙස පෙනී සිටීමට පකිස්ථානයට හැකි වූවා පමණක් නොව නව රාජ්‍යයට සාමාන්‍යයෙන් මුහුණපෑමට සිදුවන නානාවිධ ප‍්‍රශ්නවලට තත්ත්වාකාරයෙන් මුහුණ දීමටත් ඒවාට සාර්ථක විසඳුම් සොයා ගැනීමටත් හැකි විය.

 (ඡායාරූපය)

ජින්නාගේ දේශපාලන චින්තනයේ පරමාර්ථය වූයේ ඉන්දියානු උපමහාද්වීපයේ ජීවත්වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජාතිකයන් සඳහා ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් ගොඩනැගීම ය. ඒ සඳහා හෙතෙම තම මුළු ජීවිත කාලය ම කැප කෙළේ ය. ජින්නාගේ ජීවිත කථාව යනු පකිස්ථානය බිහිවීමේ කථාවයි. ඉන්දියාව ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස් වීමෙන් පසු මුස්ලිම් ජනතාවට වෙන ම රාජ්‍යයක් පතා ගෙනගිය අරගලය මල්පල ගැන්වීමේ වෑයම සාර්ථකත්වයට පත් කළේ ජින්නා ය.

මොහොමඞ් අලි ජින්නා 1876 දෙසැම්බර් 25 දා කරච්චියේ දී උපත ලැබී ය. ඉන්දියාවේ කතියවාර් අර්ධද්වීපයේ සිට කරච්චියට සංක‍්‍රමණය වූ පවුලකින් ඔහු පැවත ආවේ ය. ජින්නාගේ පියා ජින්නා පුන්ජා නම් වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. මොහොමඞ් අලි ජින්නා පවුලේ වැඩිමහලූ පුත‍්‍රයා විය. වයස අවුරුදු 10 දී බොම්බායේ ද අනතුරුව කරච්චියෙහි ද අධ්‍යාපනය ලැබී ය. 1892 දී නීතිය හැදෑරීම සඳහා ලන්ඩනයට ගොස් ලින්කන්ස් ඉන්හි නීති විද්‍යාලයට බැඳී එහි උද්‍යෝගිමත් ශිෂ්‍යයකු වූ ජින්නාගේ සිත මුලින් ම දේශපාලනය කෙරෙහි ඇදී ගියේ මේ කාලයේ දී ය. තම විවේක කාලයන්හි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාද ඇසීමට යෑම පුරුද්දක් කොටගෙන සිටීම මෙයට හේතු විය.

අධිනීතිඥයකු ලෙස සුදුසුකම් ලැබූ හේ යළි කරච්චියට පැමිණෙන විට (1896) 20 වයසැති තරුණයෙක් විය. මේ ගෞරවය ලද බාල ම ඉන්දියානු ශිෂ්‍යයා ජින්නා විය. 1897 දී බොම්බායේ දී නීතිඥ වෘත්තියට බට ජින්නා නීතිඥයකු වශයෙන් 20 වසරක් දක්ෂ ලෙස කටයුතු කෙළේ ය. 1900 දී ඔහු බොම්බාය ප්‍රෙසිඩෙන්සියෙහි මහේස්ත‍්‍රාත්වරයකු බවට පත් විය. 1909 දී ඔහු අධිරාජ්‍ය ව්‍යවස්ථාදායක සභාවට බොම්බාය වෙනුවෙන් නිතරගයෙන් පත් විය. උත්සාහයත් වාග් චාතුර්යයත් නීතියෙහි හසළ බවත් නිසා බොම්බායෙහි සෙසු දක්ෂ නීතිඥයන් අතර කැපී පෙනුණ නමුදු ඉන්දීය උපමහාද්වීපයෙහි වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාවගේ ස්වාධීනත්වය සඳහා සටන් කරන ජන නායකයකු ලෙසිනි, ඔහු වඩාත් කීර්තියට පත් වූයේ.

තිස්විය වන විට නීතිඥයකු ලෙස ජින්නා මහත් ධනයක් රැස් කරගෙන තිබුණේ ය. අනතුරුව ඔහු ඉන්දියාවේ එවකට පැවති එක ම කි‍්‍රයාකාරී දේශපාලන සංවිධානය වූ ඉන්දියානු ජාතික සංගමයට එක් විය. බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාවට නිදහස ලබාගත හැක්කේ එහි ප‍්‍රධාන ම ජන කොටස් දෙක වන හින්දුවරුන්ගේ හා මුස්ලිම්වරුන්ගේ ඒකාබද්ධ උත්සාහයෙනැයි යනුවෙන් ඉන්දියානු ජාතික සංගමය දැරූ අදහස ජින්නා එකහෙළා පිළිගත්තේ ය. මෙම හින්දු මුස්ලිම් සමඟි ප‍්‍රතිපත්තිය හේතු කොටගෙන වසර ගණනාවක් ම ජින්නාට ජාතික සංගමයෙහි මධ්‍යස්ථ මතධාරීන්ගේ සහාය ලබාගැනීමට හැකි විය. හින්දු මුස්ලිම් එක්සත්කම ඇති කිරීමට ඔහු මහත් සේ උත්සාහ කෙළේ ය. සරෝජිනී නායිදු හා අනෙක් කොන්ග‍්‍රස් නායකයෝ ඔහු උනන්දු කළහ.

තම දේශපාලන අයිතිවාසිකම් තහවුරු කොටගැනීම සඳහාත් තම දේශපාලන අවශ්‍යතා, අරමුණු නියෝජනය කිරීම සඳහාත් 1906 දී ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයන් සමස්ත ඉන්දියානු මුස්ලිම් සංගමය නම් වෙන ම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන තිබිණි. එහෙත් ජින්නා ඊට සම්බන්ධ නොවී ය. ඔහුගේ පිළිගැනීම වූයේ තමාගේ අදහස් පුළුල් පදනමක ඇති වූ නිදහස් මතධාරී, ජාතික ඒවා බවත් මුස්ලිම් සංගමයේ පරමාර්ථ පටු වාර්ගික ඒවා බවත් ය. එහෙත් 1913 දී ජින්නා මුස්ලිම් සංගමයට බැඳුණේ ය. ඔහු එසේ කළේ ඉන්දියානු ජාතික සංගමය ගත් මෙඟහි යමින් ඉන්දියාවට නිදහස ලබාගැනීම තම අපේක්ෂාව යයි මුස්ලිම් සංගමය විසින් ප‍්‍රකාශ කරනු ලැබීමෙන් පසුව ය. එහෙත් ජින්නා තව දුරටත් ජාතික සංගමයෙහි සාමාජිකයකු ලෙස පෙනී සිටියේ ය. හින්දු මුස්ලිම් ජාතීන් දෙක වෙන් වශයෙන් නියෝජනය කෙරෙන ප‍්‍රතිවිරුද්ධ දේශපාලන සංවිධාන දෙකක සාමාජිකත්වය එකවර දැරීමෙන් ඔහු අදහස් කළේ මෙම ජාතීන් දෙක එකිනෙකට ළං කොට එමගින් නිදහස සඳහා සාර්ථක ලෙස කටයුතු කිරීම ය. ඉන්දියාවට නිදහස ලබාගැනීමට පමණක් නොව ඉන්දියාවෙහි ප‍්‍රගතිය ඇති කළ හැක්කේ ද හින්දු, මුස්ලිම් දෙජාතිය අතර එක්සත්කම ඇති කිරීමෙන් පමණක් බව ජින්නා විශ්වාස කෙළේ ය. හින්දු, මුස්ලිම් සමඟිය ඇති කිරීමට ඔහු ප‍්‍රයත්න දැරුවේ එබැවිනි.

එහෙත් තම වර්ගයා යටපත් කරමින් පාලන තන්ත‍්‍රයේ සිදු විය හැකි වෙනස්කම් වළකාලීමට සමත් වනු පිණිස මුස්ලිම් වර්ගයා එක් විය යුතු බව ද ඔවුන් සඳහා වෙන ම දේශපාලන සංවිධානයක් තිබිය යුතු බව ද ජින්නා කල්පනා කෙළේ ය. 1915 සහ 1916 යන වසරවල දී මුස්ලිම් සංගමයත් ඉන්දියානු ජාතික සංගමයත් තම වාර්ෂික සම්මේලන එක ම ස්ථානයන්හි පැවැත්වූයේ ජින්නාගේ මෙහෙයවීම අනුව ය. මේ අනුව එම සම්මේලන 1915 දී බොම්බායේත් 1916 දී ලක්නව්හිත් පැවැත්විණි. ලක්නව්හි දී ජින්නා ‘ලක්නව් ගිවිසුම’ (Lucknow pact) පිළිගන්නා ලෙසට ජාතික සංගමයත් මුස්ලිම් සංගමයත් පෙළඹවී ය. මුස්ලිම්වරුන්ගේ සමාජ හා සංස්කෘතික ලක්ෂණවල කැපී පෙනෙන වෙනස්කම් ඇති බව ද එක්තරා නියමිත අනුපාතයකට අනුව විශේෂ මැතිවරණ කොට්ඨාස මගින් මුස්ලිම්වරුන් ව්‍යවස්ථාදායකයට තෝරා පත් කළ යුතු බව ද ජින්නා ප‍්‍රකාශ කෙළේ ය. එහෙත් අවාසනාවකට මෙන් ලක්නව් ගිවිසුමේ සුහද බව නොබෝ කලකින් නැති වී ගියේ ය.

1920 දී ජින්නා ජාතික සංගමයෙන් ඉල්ලා අස් වූයේ එහි ප‍්‍රතිපත්තිවලට සිය විරෝධය පළ කිරිම සඳහා ය. මුස්ලිම්වරුන් සඳහා වෙන ම මැතිවරණ කොට්ඨාස ඇති කිරීමේ ප‍්‍රතිපත්තිය නිසා තමන් වෙන ම ස්වාධීන ඒකකයක් ය යන අදහස තහවුරු කර ගැනීමට සමත් වූ මුස්ලිම්වරු වෙන ම ජාතියක් වශයෙන් තමන් පෙනී සිටිය යුතු ය යන්න ස්ථිරව ප‍්‍රකාශ කිරීමට ද අයිතිවාසිකමක් ඇති කරගැනීමට ද සමර්ථ වූහ.

1928 දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට දෙන ලෙසට බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් ඉන්දීය දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබිණි. සර්වපාක්ෂික සම්මේලනයක් බොම්බායේ දී රැස්වී සෑම ජන කොට්ඨාසයකට ම පිළිගත හැකි ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා කාරක සභාවක් පත්කර ගන්නා ලදි. මුස්ලිම් සංගමය යොජනා කළේ මධ්‍යම ව්‍යවස්ථාදායකයේ සභාවන් දෙකට තෝරා පත්කරගන්නා නියෝජිතයන්ගෙන් අඩු වශයෙන් 1/3ක් වත් මුස්ලිම් ජාතිකයන් විය යුතු බව ය. මේ හැරුණු විට මුස්ලිම් ප‍්‍රාන්තවල පාලනය ස්වාධීන (Autonomous) වන සේ ශේෂ බලයන් (Residuar Powers) ප‍්‍රාන්තයන් සතු විය යුතු විය. කෙසේ හෝ එම යෝජනා අනුමත කරගැනීමට ජින්නා ගත් උත්සාහය නිෂ්ඵල විය. මේ අතර ඉන්දියාවට ක‍්‍රමානුකූල ලෙස පියවරෙන් පියවර නිදහස දීමේ යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මහා බි‍්‍රතාන්‍යය විසින් 1930 දී ලන්ඩන්හි දී ප‍්‍රථම වටමේස සාකච්ඡාව කැඳවන ලදි. මෙහි දී ද ජින්නාට හා සෙසු මුස්ලිම් නායකයන්ට අනෙකුත් දේශපාලන සංවිධානවල නියෝජිතයන් හා එකඟවීමට නොහැකි විය. මෙයින් කලකිරුණු ජින්නා එංගලන්තයෙහි පදිංචි විය.

මේ අතරතුර නියම නායකයකු හෝ සංවිධානයක් නොමැතිකමින් ඉන්දියාවේ මුස්ලිම්වරුන්ගේ බලය පිරිහී ගියේ ය. පසුව පකිස්ථානයේ පළමුවන අගමැතිවරයා වූ ද ජින්නාගේ විශ්වාසවන්ත අනුගාමිකයා වූ ද ලියාකන් අලීඛාන් යළි මුස්ලිම්වරුන් අතරට පැමිණ ඔවුන්ට නායකත්වය දෙන ලෙසට ජින්නාට ඇවිටිලි කෙළේ ය. මේ අනුව සිවු වසරක් පිටරට වාසය කළ ඔහු 1934 දී ඉන්දියාවට පැමිණ සමස්ත ඉන්දියානු මුස්ලිම් සංගමයෙහි නායකත්වය බාරගත්තේ ය. ඉන් දස වසරක් ගිය විට ඉන්දියානු උපමහාද්වීපයේ දස කෝටියක් මුස්ලිම් ජනයාගේ නායකයා වීමට ඔහුට හැකි විය. මුස්ලිම් දේශපාලනයෙහි විප්ලවීය වෙනස්කම් ඇති කළ මුස්ලිම් සංගමය මහා ජනතා සංවිධානයක් බවට පත් කිරීමට ඔහුට හැකි විය.

නොබෙදුණු ඉන්දියාවක මුස්ලිම්වරුන්ගේ තත්ත්වය නොදියුණු වූ ස්ථිර සුළු ජනතාවකගේ තත්ත්තවයට සමාන යයි ජින්නාට පෙනී ගියේ ය. එක්සත් ඉන්දියාවක් යටතේ හෝ එක ම මධ්‍යම ආණ්ඩුවක් යටතේ හෝ ඔවුන්ට කිසි දිනෙක දියුණු විය නොහැකි බව ඔහු තේරුම් ගත්තේ ය. එම නිසා 1940 මාර්තු මස ලාහෝරයේ පැවති මුස්ලිම් ජාතික සංගමයේ සම්මේලනයේ දී ඔහු සුප‍්‍රසිද්ධ ‘ලාහෝර් තීරණය’ ගත්තේ ය. ඉන්දියාවේ ඇති ප‍්‍රධාන ජාතීන් දෙකෙන් ඉන්දියානු මුස්ලිම්වරුන් එක් ජාතියක් බව ප‍්‍රකාශ කළ මෙම තීරණය මේ හේතු කොටගෙන ඉන්දියානු මුස්ලිම්වරුන්ට වෙන ම රටක් තිබිය යුතු බව කියවෙන ‘ජාතීන් දෙකේ ධර්මය’(Two nation theory) අනිවාර්යයෙන් ම පිළිගත්තේ ය.

මේ නිසා ම මෙම ලාහෝර් තීරණය පකිස්ථාන තීරණය යනුවෙන් ද හැඳින්විණ. තමන්ට වෙන ම රාජ්‍යයක් නොදෙන කිසි ම ව්‍යවස්ථා සැලැස්මක් නොපිළිගන්නා බව මෙම තීරණයෙන් කියැවිණ. තව ද භූගෝලීය වශයෙන් යාබද ව ද සෙසු ආගමිකයන්ට වඩා බහුතර මුස්ලිම් ආගමික පිරිසක් සිටින්නා වූ ද ප‍්‍රදේශ නව මුස්ලිම් රාජ්‍යයට අයත් විය යුතු බව ද එහි සඳහන් විය. ඉක්බිති ජින්නා ක්වයිද් ඉ-අසාම් හෙවත් මහා නායකයා වශයෙන් අභිවන්දනය කරන ලදි. ජාතික සංගමය හා බි‍්‍රතාන්‍ය පාලකයන් ඉදිරියේ තමන් සඳහා වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට සටන් කළ මුස්ලිම්-වරුන්ගේ මෙන් ම ජින්නාගේ ද බලපෑම යටතේ, 1947 ජූනි මස ඉන්දියාවේ ප‍්‍රතිරාජයා වූ මවුන්ට්බැටන් සාමිවරයාට ඉන්දියානු උපමහාද්වීපය ඉන්දියාව හා පකිස්තානය වශයෙන් රාජ්‍ය දෙකකට බෙදීමේ යෝජනාවට එකඟවීමට සිදු විය.

මොහොමඞ් අලි ජින්නාගේ ජීවිතයේ වැදගත් ම දිනය වූයේ 1947 අගෝස්තු 4 දා පකිස්තානය ස්වාධීන ස්වෛරී රජයක් ලෙස උපත ලැබූ දා ය. වයස අවුරුදු 71 දී ඔහු එහි ප‍්‍රථම අග‍්‍රාණ්ඩුකාරයා විය. නව රජයක් ලෙස පකිස්තානයට මුහුණ පෑමට සිදු වූ සියලූ ම දුෂ්කරතාවන්ට හා ගැටලූවලට සාර්ථක ලෙස විසඳුම් සොයමින් පාලනය ගෙන යෑමට ජින්නාට හැකි වූයේ කෙටි කලකි. 1948 සැප්තැම්බර් 11 දා ඔහු මිය ගියේ කලක් මුළුල්ලේ පැවති ක්ෂයරෝගයට යටත් වෙමිනි.


බී. බැස්ටියන් පිල්ලෙ