ජින්1 (Gin)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජින්1 (Gin). ආසවනය කරන ලද රස කළ ප‍්‍රබල මද්‍යසාරීය පානයකි. ජින්වල ප‍්‍රධාන රස කාරකය සයිප‍්‍රස් කුලයට අයත් ජනිපර් ගසෙහි ඵලයයි. එය ජනිපර් බෙරි (Juniper berry) ලෙස හැඳින්වේ. ජනිපර්වලට ප‍්‍රංස භාෂාවෙන් ජෙනීවර් (Geniever) යන නම ව්‍යවහාර වේ. මීට ඕලන්ද භාෂාවෙන් යෙදෙන ජිනිවර් (Genever) යන්නෙහි කෙටි නාමය, ඉංග‍්‍රීසි භාෂාවෙන් ජින් (Gin) යයි ව්‍යවහාර වේ.

මුල්වරට ජින් හඳුන්වා දෙනු ලැබූයේ නෙදර්ලන්තයේ ලේඩන් ස්ටේට් (Leydon State) විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලේඩන් ෆ‍්‍රැන්සිස්කස් සිල්වියස් (Leydon Franciscus Sylvius) (1614-1672) විසිනි. ඔහු ජනිපර් ඵලයෙහි තෙල්වලින් මූත‍්‍රා වර්ධක ගුණ ඇති මිල අධික නොවන ඖෂධ වර්ග නිපදවීම සඳහා ස්ප‍්‍රීතු ආසවනය කිරීමේ දී ජින් ලැබුණි. පසුව මහාද්වීපයේ යුද්ධයේ නියැළි බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් ආපසු පැමිණීමේ දී ගෙන ඒමෙන් ජින් එංගලන්තයට ද හඳුන්වා දෙනු ලැබී ය.

එංගලන්තයේ ඈන් (Anne) (1702- 1714) රැජිනගේ පාලන කාලය තුළ ආනයන තීරුබදු හා අයබදු වැඩිකර ගෘහ නිෂ්පාදනවල දේශීය භාණ්ඩ තීරුබදු අඩු කිරීමෙන් රට තුළ ජින් ආසවනය ඉතා වේගවත් විය.

ප‍්‍රධාන වශයෙන් ජින් වර්ග දෙකකි. එනම් නෙදර්ලන්ත ජින් හා එංගලන්තය, ඇමෙරිකාව ප‍්‍රමුඛ අනිකුත් රටවල නිපදවන ජින් ය. නෙදර්ලන්තයේ ජින් වර්ග ජෙනිවා (Geneva), ජෙනිවර් (Genever), ශීඩෑම් (Shiedam) හෝ හොලන්ඞ් (Holand) යන නම්වලින් හැඳින්වේ. එංගලන්තය ප‍්‍රමුඛ අනිකුත් රටවල ජින් වියළි ජින් (Dry Gin) ලෙස හැඳින්වේ.

බාර්ලි සමග රයි වැනි ධාන්‍ය ප‍්‍රරෝහණය වීමට සලස්වා තම්බා බියර් සුරා පෙරණ හැළිවල ආසවනය කිරීමෙන් සෝල්ට් වයින් ලෙස හැඳින්වෙන ස්ප‍්‍රීතු නිපදවා ගනු ලැබේ. මෙහි 50% - 55%ක් පමණ මද්‍යසාර අඩංගු ය. මෙම මද්‍යසාරීය ඵලය ජනිපර් ඵල හා වෙනත් ශාක වර්ග සමග නැවත ආසවනය කර, 94% - 98%ක් දක්වා සාන්ද්‍ර මද්‍යසාරීය ස්ප‍්‍රීතු ලබා ගනු ලැබේ. ඉන්පසු මෙම ස්ප‍්‍රීතු අදාළ ප‍්‍රමිතීන්ට අනුරූප වන අයුරින් පිරිසිදු ජලය එක් කිරීමෙන් සාන්ද්‍රණය අඩු කර ගැනේ. නෙදර්ලන්ත ජින් මද්‍යසාර 35%ක් පමණ වන සේ ද එංගලන්ත හා ඇමෙරිකානු ජින් මද්‍යසාර 47%-49%ක් පමණ වන සේ ද සකසා ඇත.

ජින්වල ප‍්‍රධාන රස කාරකය ජනිපර් ඵල වුව ද අමතර රසකාරක ලෙස වෙනත් ශාක වර්ග ද යොදා ගැනේ. එනම් වදකහ හා වැල්මී (Licorica) වැනි මුල් වර්ග ද කොට්ටම්බා (Almond), මහදුරු (Caraway), කොත්තමල්ලි (Coriander), කරදමුංගු (Cardamon/Cardamom), අසමෝදගම් (Auise) වැනි ඇට වර්ග ද කුරුඳු පොතු (Cinnamon), දෙහි, පැණි දොඩම්, ඇඹුල් දොඩම් වැනි ලෙලි වර්ග ද ඇඹිල්ල වැනි ගෙඩි වර්ග ද වේ.

වාණිජමය ජින් නිෂ්පාදකයන් සතු ව රහස්‍ය වට්ටෝරු තිබේ. ජින් සාමාන්‍යයෙන් පැරණි කිරීමක් (භාවිතයට පෙර පදම්වීම සඳහා කල්තබා ගැනීම) නොකරයි. පැරණි කළ ජින් ලා රන්වන් පැහැයක් ගනියි.


ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වලිසිංහ

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජින්1_(Gin)&oldid=906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි