ජින්2 (Jin)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජින්2 (Jin). ඉස්ලාමීය විශ්වාසයට අනුව මිනිසාට අදෘශ්‍යමාන වන නමුත් මිනිසාට මෙන් විචාර බුද්ධිය හා තෝරා ගැනීමේ නිදහස හිමි ජීවීන් කොට්ඨාසයක් ජින් නමින් හැඳින්වේ. ජින්වරුන් ද මිනිසුන් මෙන් ආහාරපාන ගන්නා අතර මිනිසාගේ අවශ්‍යතා ඔවුන්ට ද ඇත. ඔවුහු ඒවා ඉටු කර ගනිති.


"ඔබට ඔවුන් නොපෙනුණ ද ඔහු (ෂෙයිතාන්* ද ඔහුගේ සගයෝ ද ඔබව නිරීක්ෂණය කරමින් සිටින්නෝ ය”
(අල්-කුර්ආන් 7:27)


අල්-කුර්ආනයේ සඳහන් පරිදි අල්ලාහ්ට අකීකරු වූ පළමු ජින් ඉබ්ලීස් නමින් හැඳින්වේ. අල්ලාහ් විශ්වාස නොකර මිහිතලය මත දුෂ්ටකම් කරන්නා වූ ජින් වර්ගයා ෂෙයිතාන් නමින් හැඳින්වේ. ජින් වර්ගයා දුම රහිත ගිනි දලූවලින් නිර්මාණය කර ඇති බව අල්-කුර්ආනය පවසයි.


"ගිනි දලූවලින් ඔහු (අල්ලාහ්) ජින් වර්ගයාව නිර්මාණය කළේ ය”
(අල්-කුර්ආන් 55:15).


සත්ත්ව ලෝකයේ අනෙක් සතුන්ට නැති විචාර බුද්ධිය හා තෝරාගැනීමේ නිදහස ජින් වර්ගයාට හා මනුෂ්‍යයින්ට ඇති බව ඉස්ලාම් ධර්මය අනුව පිළිගැනේ. පළමු මිනිසා වන ආදම්ට පෙර ජින් වර්ගයා නිර්මාණය වුණු බව කුරානයේ සඳහන් ය. අල්ලාහ්ට අවනත වී තම ජීවිතය යහපත් කර ගැනීමේ හැකියාව මේ දෙවර්ගයාට ම ඇති බව පිළිගැනේ.

ජින් වර්ගයා උතුරු අප‍්‍රිකාවේ ඊජිප්තුවේ හා මැදපෙරදිග පැරණි සාහිත්‍ය කෘතීන්හි නිතර දක්නා ලැබේ. උදාහරණ වශයෙන් අරාබි නිසොල්ලාසය දැක්විය හැකි ය.


මුර්ෂිද් මුළෆ්ෆර් මව්ලවි

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජින්2_(Jin)&oldid=907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි