ජිනීවා (ඉංගී‍්‍රසි-Geneva ප‍්‍රංස-Geneva ජර්මන්-Gent ඉතාලි-Genevra)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිනීවා (ඉංගී‍්‍රසි-Geneva ප‍්‍රංස-Geneva ජර්මන්-Gent ඉතාලි-Genevra). ස්විට්සර්ලන්තයට අයත් දිගු ඉතිහාසයක් ඇති නගරයකි. ඉතා ම අසාමාන්‍ය නගරයක් වූ මෙය පෞර - රාජ්‍යයකට කදිම ආදර්ශයක් ව පැවතියේ ය. එම නගරයේ විශිෂ්ටත්වයට බලපැවේ මානව සාධක ය. නගරයේ ප‍්‍රමාණයේ තරමට වඩා එය ලබා තිබෙන භෞතික හා සංස්කෘතික ගෞරවය අසාමාන්‍යය ය. කඳුවලින් වට වූ ස්වාභාවික ද්‍රෝණියක මේ නගරය වර්ධනය විණි. එහි පිහිටීමේ වැදගත්කම වනුයේ ඇල්ප්ස් සහ ජුරා කඳු අතර පිහිටි පටු ස්විස් කොරිඩෝව වීමත් මධ්‍යධරණී මුහුදට ඇති සැවොන්-රෝන් අක්ෂයත් නිසා ය. ජිනීවා, උ.අ. 46" හා 12"ත් නැ.දේ. 6" හා 9"ත් අතර පිහිටියේ ය. මී. 282ක් වන එහි නාගරික සමුහිතයේ 2011 වර්ෂයේ ජන සංඛ්‍යාව 464,672ක් විය. ස්විට්සර්ලන්තයේ දෙවන විශාලතම නගරයයි.

 (සිතියම-කොඩිය-ලාංඡනය-පින්තූර)

පිහිටීම : ජිනීවා පැරණි සාම්ප‍්‍රදායික නගරයකි. එයට තදාසන්න ප‍්‍රදේශ එක් තැනකට රැුස් වන ලෙස වෘත්තාකාර රටාවකට නිර්මාණය කර තිබේ. කුඩා කන්දක පිහිටා ඇති ශාන්ත පීතර දෙවිමැඳුර ඓතිහාසික කේන්ද්‍රයයි. කඳු පාමුල විල්තෙර ගොඩනඟා ගත් භූමිය වෙළෙඳ සංකීර්ණ සඳහා වෙන් කර ඇත. රෝන්වලට දකුණින් ඇති තදාසන්න ප‍්‍රදේශවල වීථි, විශේෂ කටයුතු සඳහා වේ. ප්‍රොමිනේඞ් ඞී බැස්ටියන්ස් නමින් උද්‍යාන ප‍්‍රදේශයක් ඇත. ධනවත් අයගේ නිවාස දක්ෂිණ සානුව මත ඉදි කර තිබේ.

මධ්‍ය අක්ෂාංශයක පිහිටි නමුත් කඳුකර ප‍්‍රදේශයක් වීම නිසා ජිනීවාහි ශිශිර දේශගුණය හිම ඇති වන තරමට ම සිසිල් ය. ජිනීවා විලේ බලපෑම නිසා සිසිල් ස්වභාවය තරමක් මර්දනය වේ. එහෙත් උච්චත්වය අනුව උෂ්ණත්වය අඩු ය. ඕක් හා චෙස්නට් යන ශාක කඳු පාමුල ද පයින් ගස් කඳුකර ප‍්‍රදේශවල ද වැවේ.

ආර්ථිකය : භෞතික සාධක විසින් ආර්ථික කටයුතු අංශයෙහි කෘෂිකාර්මික වර්ධනය සීමා කෙරී ඇත. ජන සංඛ්‍යාවෙන් සියයට එකක් පමණක් සීමිත භූමියක තිරිඟු, මිදි, රේජ් බීජ් හා කිරි නිෂ්පාදනයේ යෙදී සිටිති. වගා කටයුතු ඌෂ්ණ ඍතුවේ දී කෙරේ. ධීවර කටයුතු ද වැදගත් තැනක් ගනී.

භූමිය සීමාවීමත් කාර්මික අමුද්‍රව්‍ය හෝ ඛනිජ නොමැති වීමත් බැර කර්මාන්ත දියුණු කිරීමට බාධාවක් ව ඇත. එහෙත් ජලවිදුලි බලය නිපදවීමට අවශ්‍ය භෞතික සාධක තිබේ. උසස් ප‍්‍රාගුණ්‍යයක් සහිත ශ‍්‍රම බලකායක් තිබීමත් අන්තර්ජාතික වශයෙන් යොමු වූ කළමනාකාරීත්වයත් ආර්ථීක වර්ධනයට බලපා ඇති සාධක ය. අත්ඔරලෝසු නිපදවීම ගැන විශේෂ කීර්තියක් උසුලයි. නගරයේ කෙරෙන අනෙකුත් කර්මාන්ත අතර යන්ත්‍රෝපකරණවල උපාංග, රන් ආභරණ, ඉතා සියුම් යන්ත්‍රෝපකරණ හා විදුලි උපාංග නිපදවීම වේ. නගරයෙහි අත්ඔරලෝසු හා ස්වර්ණාභරණ සෑදීමේ නිරත වූ සමාගම් 70ක 4000ක් පමණ ශ‍්‍රම බලකායක් යෙදී සිටිති. රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයෙහි ලා සමාගම් 24ක සේවකයෝ 2500ක් පමණ යෙදී සිටිති. මේවායේ සුඛෝපභෝගී උපාංග, සුවඳ විලවුන් සහ ඖෂධ නිෂ්පාදනය කෙරේ. නගරයේ වෙසෙන ජනකාය සඳහා ආහාර ද්‍රව්‍ය සැකසීම ද ස්විට්සර්ලන්තයේ නිපදවන සිගරට්වලින් අඩක් පමණ ද මෙහි ම නිපදවේ. නගර සීමාවේ පිහිටි කාර්මික කලාපය ව.මී. 293,939ක ඉඩ ප‍්‍රමාණයකට සීමා වී ඇත. එය ප්රේල් යනුවෙන් හඳුන්වනු ලැබේ.

ජන සංඛ්‍යාව : ජිනීවා නගර සීමාව තුළ ජන සංඛ්‍යාව (2011* 191,803කි. සාක්ෂරතාව 99%කි. උපතේ දී ආයු අපේක්ෂාව වසර 76කි. ඒක පුද්ගල ආදායම ඉතා ඉහළ තත්ත්වයක පවතී. ජන සංඛ්‍යාවෙන් 5%ක් පමණ විදේශිකයෝ වෙති. ජිනීවා කැන්ටනයේ (Canton) උපත ලැබුවෝ 30%කි. සෙසු අය ස්විස් ජාතිකයෝ ය. ප‍්‍රංසය, ඉතාලිය, ඇ.එ.ජ. මෙන් ම ආසියානු හා අප‍්‍රිකානු රටවලින් පැමිණි සංක‍්‍රමණිකයෝ ද එහි වෙසෙති. කලෙක ‘ප්‍රොතෙස්තන්ත රෝමය’ ලෙස හැඳින්වූ මෙහි වර්තමාන ජන සංඛ්‍යාවෙන් අඩකට වඩා රෝමානු කතෝලිකයෝ වෙති. පරිවහනය හා සංස්කෘතිය : ජිනීවා සිට මහා මාර්ග 45ක් පිටතට විහිදේ. අභ්‍යන්තර නගර හා සම්බන්ධ වන මහා මාර්ග 3කි. සෙසු මාර්ග දේශ සීමාවෙන් පිටතට දිවේ. මෙහි ගුවන් තොටුපොළක් ද වේ.

ජිනීවා නුවර පිහිටියේ ලැක් ලෙමාන් විල් තෙර ය. ඉන් කොටසක් ප‍්‍රංසයට අයත් ය. එහි වසරක් පාසා බොල් ඞ්’ඔර් (Bol d'or) නම් බෝට්ටු ධාවන තරගය පැවැත්වේ. ගිම්හානයේ දී ජිනීවා විලේ අඛණ්ඩ බෝට්ටු පරිවහන සේවයක් ක‍්‍රියාත්මක වේ. එය දේශ සංචාරකයින් ආකර්ෂණය කෙරෙන එක් මාර්ගයකි.

පැරණි සංස්කෘතික සම්ප‍්‍රදායයන් පවත්වා ගෙන යන නුවරකි. උසස් පෙළේ වියත්තු දේවධර්මවාදය, දර්ශනවාද, සාහිත්‍යය සහ ස්වාභාවික විද්‍යා හදාරනු ලැබුවෝ වෙති.

1872 දී ආරම්භ කරන ලද විශ්වවිද්‍යාලයේ 8,000ට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබති. ඉන් අඩක් පමණ විදේශිකයෝ ය. අන්තර්ජාතික අධ්‍යයන, උද්භිද විද්‍යාව ආදි විෂයයන් පිළිබඳ විශේෂ උපාධි හැදෑරීමට අවස්ථාව තිබේ. කෞතුකාගාර, නෘත්‍යශාලා, ස්විස් ජාතික තූර්යවාදක කණ්ඩායම් ආදිය වටා එහි සංස්කෘතික ජීවිතය ගොඩ නැගී ඇත. ලතින් ආභාසය ද ඇති නුවරකි.

1945 සිට එක්සත් ජාතීන්ගේ සංගමයට අයත් වෙනත් ආයතන සඳහා යුරෝපීය මධ්‍යස්ථාන පිහිටියේ ජිනීවා නුවර ය. රතුකුරුස සංගමය වැනි අන්තර්ජාතික පෞද්ගලික සංවිධානවල මූලස්ථාන 150කට අධික සංඛ්‍යාවක් ද වේ. අන්තර්ජාතික කම්කරු සංවිධානය රෝන්වලට උතුරින් පිහිටියේ ය. පාලන තන්ත‍්‍රය හා ඉතිහාසය : ස්විට්සර්ලන්තය කැන්ටන් නමැති ප‍්‍රදේශීය පාලන කොටස් 22කින් සමන්විත ය. එම කැන්ටන තවත් කුඩා පාලන ඒකක වන කොමියුන (Communes) 300කට බෙදේ. ජිනීවා ද එක් කැන්ටනයකි. 1970 වන විට ජිනීවා කැන්ටනයට කොමියුන 45ක් අයත් ව තිබිණි.

ක‍්‍රිස්තු වර්ෂයට පෙර 500 දී පමණ මානව ජනාවාස ඇති වූ නගරයකි. කි‍්‍ර.පූ. දෙවන සියවසේ දී රෝමන්වරුන් විසින් අල්ලාගනු ලැබිණි. කි‍්‍ර.පූ. 58 දී එවකට ගෝල් (වත්මන් ප‍්‍රංසය) පාලනය කළ ආණ්ඩුකාරයා වූ ජුලියස් සීසර් විසින් ජිනීවා නගරය බිහි වූ ස්ථානයේ හමුදා කඳවුරක් පිහිටුවී ය. නගරයේ ඇරඹුම එම සිද්ධිය ලෙස සැලකේ. පසුව එය පුරා ක‍්‍රිස්තියානි ආගම ව්‍යාප්ත විය. කි‍්‍ර.ව. 5 වන සියවස මුල දී එහි අගරදගුරු බල ප‍්‍රදේශයක් ද පිහිටුවුණි. ඉක්බිති ඇතිවූ ජර්මානු ආක‍්‍රමණ-යෙන් පසු ක‍්‍රි.ව. 443-544 කාලය තුළ මෙනුවර බර්ගන්ඩියානු රාජධානියේ අගනුවර විය.

වැඩවසම් යුගයේ ආරම්භයත් සමග ජිනීවානු සිටුවරයන් සතු ඉඩකඩම් පිළිබඳ මධ්‍යස්ථානය ද ජිනීවා විය. ජිනීවා ප‍්‍රදේශයට දකුණින් ප‍්‍රංසය සතු හවුස් ඔප් සැවෝයි පාලකයා අසල් රාජ්‍ය ගැන නෙත් හෙළමින් සිටිය ද අගරදගුරුගේ බලය ඊට වඩා විය. වෙළෙඳ ප‍්‍රදර්ශන මඟින් ජිනීවා, යුරෝපයේ ආර්ථික ජීවයට පිවිසුණේ ය. ක‍්‍රි.ව. 1450 වන විට කඳුබඩ ප‍්‍රදේශයේ සිට වර්ධනය වූ මෙම නගරය ජිනීවා විල සහ රෝන් ගෙඟ් ඉවුරුබඩ ප‍්‍රදේශවල ව්‍යාපාරික මුලස්ථානය ගොඩනඟා ගත්තේ ය.

ක‍්‍රිස්තියානි ආගම පිළිබඳ ඇති වූ ප‍්‍රතිසංස්කරණය උදාවීමෙන් ආගමික නොසන්සුන්තාවක් සමාජය තුළ පැතිරුණි. 1536 දී ජිනීවාහි පුරවැසියෝ ආගමික ප‍්‍රතිසංස්කරණ වැළඳ ගත්හ. ජෝන් කැල්වින්ගේ නායකත්වයෙන් එහි සමුහාණ්ඩුවක් පිහිටුවන ලද අතර ජිනීවා, කි‍්‍රස්තියානි ප‍්‍රතිසංස්කරණ-වාදයේ මූලස්ථානය බවට පත් විය. ඒ සමග කතෝලික ප‍්‍රංසයෙන් හා ස්විස් ජාතික මිත‍්‍ර පාක්ෂික බර්න් පුරවරයෙන් ඇති වූ ආක‍්‍රමණවලට සාර්ථකව මුහුණදීමට ජිනීවාවට හැකි විය. ස්වදේශය බේරා ගැනීම සඳහා යුද්ධ ගණනාවක් ම සිදු වුණි. 1601 දී ලියොන්ස් ගිවිසුමෙන් ස්විස් ප‍්‍රදේශයෙන් ජිනීවා පුරවරය වෙන් වුව ද සැවෝයි ආදිපාදතුමාට එය යටත් කර ගැනීමට නොහැකි විය.

එසේ නිරුපද්‍රැත වීම නිසා ප‍්‍රංස ප්‍රොතෙස්තන්තවරු විශාල සංඛ්‍යාවක් ජිනීවා නුවරට සංක‍්‍රමණය වූහ. ඔවුහු ආර්ථික බලය තහවුරු කර ගෙන ප‍්‍රංසය හා සාඩිනියාව සමග ගිවිසුම්වලට බැඳී භෞමික ප‍්‍රදේශ ව්‍යාප්ත කළහ. ඒ ජිනීවාහි රදල ආණ්ඩුව සශ‍්‍රීකත්වයේ මුඳුනට ම නැඟී සිටි කාලයයි. ප‍්‍රංස දාර්ශනික රූසෝ උපත ලැබුවා වූ ද වොල්ටෙයර්ගේ අභයභූමිය වූ ද ජිනීවා, යුරෝපීය බුද්ධි ප‍්‍රබෝධයේ (Enlightenment) මධ්‍යස්ථානයක් ද ස්වාභාවික නීතියෙන් සම්භවය ලත් නව දේශපාලන දර්ශනයක නිජබිමක් ද විය.

1802 දී නැපෝලියන් අධිරාජයා ජිනීවා යටත් කර ගත් නමුදු හෙතෙම ජිනීවා ගැන විශ්වාසය තැබුවේ නැත.

නැපෝලියන්ගේ වැටීමෙන් පසු රදළයෝ නැවත ස්ථාපිත වී ස්විස් ජාතික කැන්ටන් සමග සාකච්ඡා අරඹා හෙල්වේෂියානු සම්මේලනයට එක්වීම සඳහා කටයුතු කළහ. 1814 දී ජිනීවා සමූහාණ්ඩුවට ස්විස් කැන්ටන හා එකතු වීමට ඉඩ ලැබිණි. සැවොයි හා තිබූ කොමියුන සමග සබඳතා නතර කර ස්විට්සර්ලන්තයේ කොටසක් වශයෙන් ජිනීවා එක්විය. ඉන් බිහිවූයේ ආර්ථික වශයෙන් සාරවත් වූ නිදහස් කලාපයකි.

රදලයන්ට නැවත සියරට බලා ඒමට අවස්ථා ලැබීමෙන් රදලවාදය නැවතත් පැතිරුණි. මධ්‍යම පාඕක්තිකයෝ සහ පොදු ජනතාව රදළවාදයට අභියෝගයක් වශයෙන් ඉස්මතු වූයේ මේ කාලයේයි. 1841න් පසු කතෝලිකයන් හා ප්‍රොතෙස්තන්තවරුන් අතර සිවිල් යුද්ධයක් ඇරඹිණි. 1846 දී කම්කරු පන්තිය කැරලි ගැසී ය. ඉන්පසු සංරක්ෂණවාදීහු (Conservatives) බලයෙන් නෙරපන ලදහ. 1847 දී සම්පූර්ණයෙන් වෙනස් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීමට ජේම්ස් පේසි ප‍්‍රමුඛත්වය ගෙන ක‍්‍රියා කෙළේ ය. 1861 වන තෙක් ඔහුට බලය තිබිණ. නූතන ජිනීවා නුවර ආරම්භකයා වූයේ ද ඔහු ය.

ලෝකයේ ප‍්‍රබලතම ජාත්‍යන්තර සංවිධානයක් වන රතුකුරුස සංවිධානයේ මූලස්ථානය ජිනීවා නුවර දී 1864 දී රතුකුරුස මූලස්ථානය ඇරඹිණි. 1914 තෙක් ප‍්‍රදේශයේ ආර්ථික මූලස්ථානය ලෙස පැවති ජිනීවා නුවර පළමු ලෝක සංග‍්‍රාමයෙන් පසු බිහිවූ ජාතීන්ගේ සංගමයේ :ඛැ්ටැ දෙ භ්එසදබි* ආරම්භක ස්ථානය ද විය. 1926 දී ඇති වූ ලෝක ආර්ථික පරිහානිය ජිනීවා නුවරට ද බලපෑවේ ය. ඉන්පසු නැවතත් ආර්ථික වර්ධනය ආරම්භ වූයේ 1945 සිට ය. නව පරිවාර නගර ද ජිනීවා වටා වර්ධනය විය.

1960 දී ජිනීවා කාන්තාවන්ට ඡුන්ද බලය පිරි නැමිණ. ප‍්‍රදේශීය කැන්ටන් පාලනය විධායක බලය ඇති කවුන්සිල් ඔප් ස්ටේට් මඟින් සිදු වේ. හත්දෙනකුගෙන් සමන්විත එම කවුන්සිලය වසර 4කට පසු විසුරුවා හැරේ. මහජන නියෝජිතයින් 100 දෙනකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායකය පත් කෙරෙනුයේ සමානුපාතික නියෝජන ක‍්‍රමය මඟින් වසර 4ක කාල සීමාවකට ය.

සෑම කොමියුනයක් ම කොමියුනල් ඇසම්බ්ලි යන පරිපාලන කවුන්සිලයෙන් පාලනය කෙරේ. ජිනීවා කැන්ටනයෙන් ද ස්විට්සර්ලන්ත පෙඩරල් ආණ්ඩුවට නියෝජිතයන් පත් කෙරේ. ඒ සඳහා මහජන නියෝජිතයින් දෙදෙනකු ද ජාතික කවුන්සිල නියෝජිතයන් ද පත් කර ගැනේ.

ජිනීවා නගරයේ නූතන සශ‍්‍රීකත්වය රඳා පවතින්නේ ව්‍යාපාර, බැංකු කටයුතු, රක්ෂණ හා මූලධනය මෙහෙයුමෙනි. ස්විස් ජාතිකයන්ගේ අපක්ෂපාතීභාවය හේතු කොට ගෙන මූලධනය ඇතුළු අන්තර්ජාතික ව්‍යාපාරවලට ආරක්ෂාව සැලසේ. දෙවන ලෝක සංග‍්‍රාමය නිසා උන්හිටි තැන් අහිමි වූ යුරෝපීය ජනතාව සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය මඟින් සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (United Nations High Commissioner for Refugees - UNHCR) පදවියක් ජිනීවා නුවර පිහිටුවන ලදි.


එස්මි ජී. ද සිල්වා