ජිනේන්ද්‍රදාස, ජේ. එන්. (ජිනේන්ද්‍රදාස, ජේමිස් නදෝරිස්), (1887-1948), (Jinendradasa, James Nadoris)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිනේන්ද්‍රදාස, ජේ. එන්. (ජිනේන්ද්‍රදාස, ජේමිස් නදෝරිස්), (1887-1948), (Jinendradasa, James Nadoris). මොහු හාරිස්පත්තුවේ මාරතුගොඩ නම් ගමෙහි උපන්නේ ය. උගත් ඉඩම් හිමියකු වු ඔහුගේ පියා සිය දරුවනට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අපේක්ෂා කළේ ඔවුන් කොළඹ ඉංග‍්‍රීසි පාසැල්වලට ඇතුළත් කළේ ය. ඒ අනුව ජිනේන්ද්‍රදාස කොළඹ ශාන්ත ජෝසෆ්, ශාන්ත තෝමස් සහ රාජකීය යන විදුහල්වලින් සිය අධ්‍යාපනය ලැබී ය. දක්ෂ ශිෂ්‍යයකු වූ ඔහු විද්‍යා විෂයයන් හැදෑරූ මුල් ශිෂ්‍යයන්ගෙන් කෙනෙක් විය. පාසැල් කාලයේ දී විද්‍යා විෂයයන් සඳහා ත්‍යාග ලබා ගත්තේ ය. මෙසේ ත්‍යාග වශයෙන් ලැබූ වටිනා පොත් පසුව නාලන්දා විද්‍යාලයේ පුස්තකාලයට පරිත්‍යාග කෙළේ ය.

 (ඡායාරූපය)

පාසල් අධ්‍යාපනය නිම වූ ඔහු සිය ජීවිතය ආරම්භ කළේ කොළඹ ටෙක්නිකල් කොලීජියේ විද්‍යා නිරූපකවරයකු (Demonstator) වශයෙනි. පසුව බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනයට මහත් පිටිවහලක් වෙමින් ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයයේ විද්‍යා ගුරුවරයකු වශයෙන් පත්වීමක් ලබා ගත්තේ ය. ඉක්බිති එම විදුහලේ ම උපවිදුහල්පති තනතුර හෙබවූ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් පත් කරන ලදි.

එකල නාලන්දාවේ දුප්පත් සිසුනට නියමිත වේලාවට පාසැල් ගාස්තු ගෙවා ගත නොහැකි වූ හෙයින් ගුරු වැටුප් ගෙවීම නිසි පිරිදි සිදු කිරීමට නොහැකි විය. මෙයට පිළියම් සෙවූ ජිනේන්ද්‍රදාස සිය කිට්ටු මිතුරන් වූ ඩබලිව්. ඒ. ද සිල්වා, ඞී. එස්. සේනානායක වැනි දේශපාලනඥයන්ගේ සහාය ලබා ගත්තේ ය. 1928 සිට 1948 දක්වා නාලන්දාවේ විදුහල්පති ලෙස ඔහු සේවය කළ කාලයේ දී මෙම විදුහල බොහෝ සේ දියුණු වී ලංකාවේ මුල් පෙළේ පාසලක් බවට පත් විය.

දෙවන ලෝක මහා සංග‍්‍රාමය කාලයේ දී කොළඹ විසීම බොහෝ අනතුරුදායක වූයෙන් මෙම විදුහල මිනුවන්ගොඩට ගෙන යන ලදින් අධ්‍යාපන කටයුතු නොකඩවා පවත්වා ගෙන යා හැකි විය. යුද්ධය නිමා වූ පසු නාලන්දාව යළි කොළඹට ම ගෙන යන ලද අතර මිනුවන්ගොඩ පාසැල් භූමියේ මිනුවන්ගොඩ නාලන්දාව අරඹන ලදි. ජිනේන්ද්‍රදාස මහතාගේ මූලිකත්වයෙන් එදා ඇරඹි මෙම විදුහල ද අද දිවයිනේ ඇති ප‍්‍රධාන මධ්‍ය මහා විද්‍යාලවලින් එකකි.

ග‍්‍රාමීය සිංහල පාසල්වල විද්‍යා විෂයයන් ඉගැන්වීම එකල ප‍්‍රශ්නයක් වූයේ ඒ සඳහා සුදුසු ගුරුවරුන්, පතපොත හා දැනුම නොමැති වීමයි. මෙය විසඳීම සඳහා ජිනේන්ද්‍රදාස සති අන්තවල දී රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව පිළිබඳ දැනීමක් ගුරුවරුන්ට ලබා දුන්නේ ය.

ලංකාවට නිදහස ලබා ගැනීම සඳහාත් සිංහලයන් තුළ දේශානුරාගය ඇති කරලීම සඳහාත් මෙකල උගත්තු විවිධ උපක‍්‍රම අනුගමනය කළෝ ය. ජිනේන්ද්‍රදාස මහතා මේ සඳහා කලාව උපයෝගී කර ගත්තේ ය. නීතීඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය (විශේෂයෙන් ම දුටුගැමුණු නාට්‍යය) හා සිංහල නැටුම් කලාව ද උපයෝගී කර ගෙන තමාගේ ම සම්ප‍්‍රදායයක් ආරම්භ කෙළේ ය. 1948 ලංකාවට නිදහස ලැබීම වෙනුවෙන් ජාතියේ ඉතිහාසයේ විවිධ වැදගත් අවස්ථා අළලා ‘ලංකාවේ උරුමය’ (පිළිබඳ ඓතිහාසික සිද්ධි අලළා සැකසුණ) විචිත‍්‍ර සංදර්ශනය (Pageant of Lanka) නම් එළිමහන් නාට්‍ය දර්ශනය සකස් කරන ලද්දේ ඔහු විසිනි. එහි අධ්‍යක්ෂණය පමණක් නොව සංගීතය, ඇඳුම් නිර්මාණය හා රඟපෑමෙන් ද හේ දායක විය. මෙහි දුටුගැමුණු චරිතය නිරූපණය කළේ ද ඔහු ය. සිය පුත‍්‍රයා පවා සුළු චරිතයක් නිරූපණයට යොදා ගත්තේ ය.

දිළිඳුකමින් හා ඉඩම් නැතිකමින් අසරණ බවට පත් ව සිටි හාරිස්පත්තුවේ මාරතුගොඩ ගැමියන් ගණනාවකට ඔහු ඉඩම් ලබා දුන්නේ ය. ඔහුගේ වියදමින් තමාට පරපුරින් උරුම වූ භූමියක මාරතුගොඩ ශ‍්‍රී ජිනේන්ද්‍රාරාමය ඉදි කොට සංඝයාට පූජා කෙළේ ය.

ලිලියන් මැන්ක්‍යුලැන්බර්ග් නම් කාන්තාව හා විවාහ වී සිටි ඔහුට පුතුන් දෙදෙනෙක් වූහ. කලකට පෙර කෘෂිකර්ම අධ්‍යක්ෂ ව සිට මිය ගිය පර්සි ජිනේන්ද්‍රදාස මහතා ඔහුගේ එක් පුතෙකි.

1947 වර්ෂයේ දී ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවේ කඩුගන්නාව අසුන සඳහා තරග කළ ද පරාජය විය.

ශී‍්‍ර ලංකාවේ උරුමය පිළිබඳ සන්දර්ශනය අධ්‍යක්ෂණයෙන් පසු හදිසි හෘදයාබාධයකින් ඔහු මිය යන අවස්ථාවේ සිය දරුවන් සමග එහි ගී පුහුණු වෙමින් සිටියේලූ. 1948 පෙබරවාරි මස මුල දී මිය ගිය ඔහුගේ සිරුර කොළඹ කොටහේනේ දී ආදාහනය කරන ලදි. මිය යන විට ඔහු හැට එක් වන වියේ පසු විය.


සුමනා ඇල්ලේපොල