ජිම්නාස්ටික් (Gymnastics)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිම්නාස්ටික් (Gymnastics). තරග කී‍්‍රඩා වශයෙන් හෝ ශාරීරික ශක්තිය (Physical strength), උලැඟිතාව (Agility), සමායෝජනය (Coordination) සහ ශාරීරික සුවතාව (Physical conditioning) වර්ධනය කිරීම් වශයෙන් හෝ යොදා ගැනෙන විධිමත් ව්‍යායාම පද්ධතියකි. මේ සඳහා බොහෝ අවස්ථාවල දී වළලූ, හරස් පෝල (bars) ආදි විවිධ උපකරණ භාවිත කෙරේ.

ජිම්නාස්ටික් යන්න ගී‍්‍රක භාෂාවේ ‘ජිම්නෝස්’ (Gymnos = ‘නිරුවත්’) යන පදයෙන් නිරුක්ත වූවකි. මේ නම භාවිත වූයේ පුරාණ ගී‍්‍රසියේ කී‍්‍රඩාගාරවල පුහුණු කරන ලද ව්‍යායාමවලට ය. එහි පිරිමි කී‍්‍රඩකයන් නිරුවතින් පුහුණුවීමෙහි යෙදුණු අතර මෙම ව්‍යායාම බොහෝ සංඛ්‍යාවක් කි‍්‍ර.ව. 394 දී අභාවයට ගිය ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට අයත් වුණි.

කි‍්‍ර.පූ. 3000 දී ගී‍්‍රක අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉතා ම වැදගත් විෂයයක් වූයේ ජිම්නාස්ටික් සහ සංගීතයයි. ‘සංගීතය බුද්ධියට ද ජිම්නාස්ටික් ශරීරයට ද’ යන්න ඔවුන්ගේ සුලභ ප‍්‍රකාශයක් විය. ධෛර්යයට, විනයට සහ ශරීර සෞඛ්‍යයට ජිම්නාස්ටික් උපකාරී වන බව ඔවුහු විශ්වාස කළහ. ජිම්නාස්ටික්වලට ආවේණික වූ සාධාරණත්වය, පුද්ගල වර්ධනය, සෞන්දර්යාත්මක අගය, නිස්සරණාධ්‍යාසය සහ අතිශය ප‍්‍රායෝගික බව යන කරුණු මෙහි දී අවධාරණය කොට ඇත. ශරීර සෞන්දර්යය බෙහෙවින් වැදගත් කොට සැලකූ අතර සියලූ දෙනා ඊට සහභාගී වූයේ නිරුවතිනි. එය ශරීර සෞන්දර්යත්ව සංකල්ප වර්ධනයට තුඩු දුනි.

එකල යෞවනයන් ජිම්නාස්ටික් පුහුණු වූයේ පැලෙස්ට‍්‍රා (Palaestra) නමැති ස්ථානයක ය. එහි අයිතිකරු මෙන් ම ව්‍යායාම සහ කී‍්‍රඩා පුහුණුකරු හඳුන්වනු ලැබූයේ Paidotribes යන නමිනි. යොවුන් වියට පැමිණියහු පැලෙස්ට‍්‍රාව හැර ජිම්නේසියම්වල පුහුණුවීමට බැඳුණාහ. ගී‍්‍රසියේ ශාරීරික, සමාජීය සහ බුද්ධිමය මධ්‍යස්ථාන වූයේ ජිම්නේසියම් ය.

වත්මනෙහි ජිම්නාස්ටික් ලෙස හඳුන්වන කි‍්‍රයාකාරකම් අතුරින් පුරාතනයේ පුහුණු කරන ලද්දේ කරණම් සහ ප‍්‍රාග්තම (Primitive) පිනුම් පමණි. නිදසුන් වශයෙන් 1. පුරාණ මිසරයේ චිත‍්‍ර ලිපිවල දිස්වෙන පිටුපසට නැමීම් (Back bends) සහ තවත් කී‍්‍රඩකයකු සමග කෙරෙන විස්මිත කි‍්‍රයා, 2. කී‍්‍රටයේ (Crete) නොසොස්හි (Knossos) මාලිගාවක බිතුසිතුවමක පිනුම්කරුවකු විසින් කෙරෙන රෝද (Cart wheel) කරණම් ගැසීම හෝ තමා වෙත වේගයෙන් දිව එන කුළු හරකකු පිට අත් තබා කරන පිනුමක් නිරූපණය දැක්විය හැකි ය. පැරණි චීනයේ කරණම් කලාත්මක ශිල්පයක් (Art form) ලෙස පැවැතිණ. ෂැන්ඩොං (Shandong) ප‍්‍රාන්තයේ හාන් (Han) යුගයට (කි‍්‍ර.පූ. 206-කි‍්‍ර.ව. 220) අයත් ශිලා කැටයමක කරණම් පිළිබිඹු කර ඇත.

කරණම්කරුවන් (Acrobats), නැට්ටුවන් (Dancers), විජ්ජාකාරයන් (Jugglers) විසින් යුරෝපයේ මධ්‍යතන යුගයේ කරණම්කරණය සිදු කරන ලදි. මේ පිළිබඳ ව බටහිර මුලින් ම විස්තර කෙරෙන්නේ 15 වන සියවසේ දී Archange Tuccaro විසින් පළ කරන ලද Trois Dialogues du Sr නමැති ග‍්‍රන්ථයෙහි ය. මෙම ග‍්‍රන්ථයෙහි පිනුම් සහ කරණම් පිළිබඳව රචනා තුනක් ඇතුළත් වේ. කරණම් වූ කලි විවිධාකාරයෙන් බොහෝ සංස්කෘතීන්හි විකාශය වූවකි. එමෙන් ම එය අවම සංස්කෘතික මිශ‍්‍රණයකින් යුක්ත වූවකි. නිදසුනක් වශයෙන් ඉහත සඳහන් ටුකරොගේ ග‍්‍රන්ථයෙහි එන චිත‍්‍රයෙහි දැක්වෙන කරණම් බොහෝ දුරට පැරණි චීනයේ කරණම්වලට සමාන ය. අවසානයේ දී මේ කරණම් සහ පිනුම් සර්කස් සඳහා සංයුක්ත කෙරිණ. පුරාතනයෙහි ට‍්‍රැම්පොලින් (කැන්වස් රෙදි) (Trampolines) මුල්වරට භාවිත කරන ලද්දේ සර්කස් පිනුම්කරුවන් විසිනි.

ප‍්‍රංස ජාතික ඉතිහාසඥයන් විසින් සඳහන් කරන පරිදි ජීන් ජැක්ස් රූසෝ (Jean Jacques Rousseau) විසින් රචිත Emile; ou de leducation (1762; Emile; or, On Education) නමැති නවකතාව යුරෝපීය ළමුන්ගේ ඥානාත්මක සහ ශාරීරික පුහුණු සංයෝග කරන ලද අධ්‍යාපන ප‍්‍රතිසංවිධාන කෙරෙහි බලපෑ ග‍්‍රන්ථයකි. රූසෝගේ ග‍්‍රන්ථය ජර්මන් අධ්‍යාපන ප‍්‍රතිසංවිධානකරුවන්ට මහත් ආස්වාදයක් විය. ඉන් අනතුරුව 18 වන සියවස අගභාගයේ දී ඉහත කී ජර්මන් අධ්‍යාපන ප‍්‍රතිසංවිධානකරුවන් පිලන්ත්‍රෝපිනිස්ට් (Philanthropinist) නමින් ඇති පාසල් ආරම්භ කරන ලදි. එයට ජිම්නාස්ටික් ඇතුළු එළිමහන් කි‍්‍රයාකාරකම් ඇතුළත් විය. එමෙන් ම සියලූ ආර්ථික ස්තරවල ළමයි බඳවා ගන්නා ලදහ. වත්මන් ජිම්නාස්ටික් කී‍්‍රඩාවේ සීයා ලෙස හැඳින්වෙන ජොහාන් කි‍්‍රස්ටොප් ෆ්‍රෙඞ්රික් ගුට්ස් මුට්ස් (Johann Christop Friedrich Guts Muths, 1759-1833) එහි පුරෝගාමී ආචාර්යවරයෙක් විය. උත්පාදක කටයුතු (Seminal works) අරභයා රචිත ‘යෞවනයනට ජිම්නාස්ටික්’ (Gymnastics for Youth) නමැති ග‍්‍රන්ථයෙහි දී ගුට්ස් මුට්ස් ජිම්නාස්ටික්හි ප‍්‍රභේද දෙකක් විස්තර කළේ ය. එනම් ස්වාභාවික (Natural) ජිම්නාස්ටික් සහ කෘති‍්‍රම (Artificial) ජිම්නාස්ටික් වශයෙනි. මෙම ප‍්‍රභේද දෙක ප‍්‍රයෝජනවත් (Utilitarian) සහ නිෂ්ප‍්‍රයෝජන (Nonutilitiarian) ලෙස ද වර්ගීකරණය කළ හැක. මුල් ප‍්‍රභේදය ශරීර සුවතාව අවධාරණය කරයි. මෙය පර් හෙන්රික් ලින්ග් (Per Henrik Ling, 1776-1839) සහ නීල්ස් බක් (Nils Bukh, 1880-1950) ස්වීඩනයේ සහ ඩෙන්මාර්කයේ දියුණු කරන ලද ව්‍යායාමවලට සමාන ය. වර්තමාන ස්වායු (Aerobics) ව්‍යායාම අයත් වන්නේ මෙම ප‍්‍රභේදයටයි. සැබැවින් ම ස්වායු කී‍්‍රඩාව අන්තර්ජාතික ජිම්නාස්ටික් සම්මේලනයේ ඉසව්වලට මෑතක දී එක් කරන ලද්දකි. මීට ප‍්‍රතිවිරුද්ධ වූ කෘති‍්‍රම හෙවත් නිෂ්ප‍්‍රයෝජන ජිම්නාස්ටික් වත්මන්හි කලාත්මක ජිම්නාස්ටික් වශයෙන් නම් කොට ඇත. එහි විශේෂ ලක්ෂණය නම් එහි කාර්යයට නොව සෞන්දර්යයට මූලිකත්වය ලබා දීමයි. නිදසුනක් වශයෙන් යුරෝපයේ වැඩවසම් යුගයේ දී අශ්වයකු පිට නගින අයුරු ද අසු පිටින් බසින අයුරු ද උගන්වන ලදි. එය අශ්වාරෝහක සෙබළුන් යොදා ගත් සමයේ වැදගත් වූවකි. වර්තමාන ආධාරක අශ්වයා ආශ‍්‍රිත ජිම්නාස්ටික් විකාශනය වී ඇත්තේ ජිම්නාස්ටික් කි‍්‍රයාවලිය හා අශ්ව විද්‍යාව අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති ව ය.

ස්වාභාවික ජිම්නාස්ටික්හි වර්ධනයට මූලික වූයේ පර් හෙන්රි ලින්ග් ය. 1813 දී ඔහු විසින් ස්ටොක්හෝම් (Stockholm) නගරයෙහි රාජකීය ජිම්නාස්ටික් මධ්‍යස්ථානය නමින් ගුරු පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවන ලදි. ලින්ග් කී‍්‍රඩකයන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය ගෙන දෙන ජිම්නාස්ටික් ව්‍යායාම පද්ධතියක් ගොඩනගා ඉගැන්වී ය. ශාරීරික ශක්තිය වැඞීමට කරන ජිම්නාස්ටික් ව්‍යායාමය (Callisthenics) ඔහුගේ නිර්මාණයක් යැයි සැලකේ. එයට යෂ්ටි (Clubs), බර යෙදූ පොලූ (Dumbells), දඬු (Wands) වැනි උපකරණ රහිතව කෙරෙන නිදහස් ව්‍යායාම ඇතුළත් වේ. ලින්ග් තරගකාරී කී‍්‍රඩාවක් ලෙස මෙය දියුණු කිරීමට අනුබල නොදුන් නමුදු එය භූමි ව්‍යායාම (Floor exersises) ලෙස හැඳින්වෙන තරග කී‍්‍රඩාවක් ලෙස වර්තමානයෙහි විකාශනය වී ඇත.

ෆ්‍රෙඞ්රික් ලූඞ්වික් ජාන් (Friedrich Ludwig Jahn) නූතන ‘ජිම්නාස්ටික් කී‍්‍රඩාවේ පියා’ ලෙස සැලකේ. ඔහු ටර්න්වරයින් චලන කි‍්‍රයාවලියේ (Turnverein movement) ආදි කර්තෘවරයා ය. මෙම කි‍්‍රයාවලිය ජිම්නාස්ටික් කී‍්‍රඩාව ලෙස ලොව පුරා ප‍්‍රචලිත වීමට තුඩුදුන් බව කියැවේ.

නූතන ජිම්නාස්ටික් තරගවල සමාරම්භය ජර්මනියේ බර්ලින් නුවර අවට ප‍්‍රදේශයේ ජාන් විසින් අරඹන ලද හාකෙත = 'Hasenhaide' (Rabbit Feild) යනුවෙන් හැඳින්වූ විවෘත කී‍්‍රඩාංගනයේ දී සිදු වී යැයි සැලකේ. Die Deutsche Turnkust (1816; The Gymnastic Art) හෙවත් ‘ජිම්නාස්ටික් ශිල්පය’ නමැති ග‍්‍රන්ථයේ සමකර්තෘවරයකු මෙන් ම ජාන්ගේ සහකරුවකු ද වූ අර්න්ස්ට් අයිස්ලන් (Ernst Eiselen) ඉතා සුපරීක්ෂාකාරී ව කී‍්‍රඩාංගනයේ වර්ධනය කරන ලද ව්‍යායාම පිළිබඳ විස්තර දක්වා ඇත. එහි දී විවිධ අන්දමින් පාද පැද්දවීමට සහ පැනීමට ‘ආධාරක අශ්වයා’ (Pommel horse) නමැති උපකරණය භාවිත කරන ලදි. තම ශිෂ්‍යයන්ගේ උඩු කයෙහි ශක්ති වර්ධනය උදෙසා ඔහු සමාන්තර දඬු (Parallel bars) නිපදවී ය. ඔවුන්ගේ වීර්යය මැනීමට විශාල කුලූනු පැනවී ය. සමබර දඬු (Balance beams), තිරස් දඬු (Horizontal bars), නැගීමට උපයෝගී කරගන්නා කඹ, නැගීමට භාවිත කෙරෙන කණු විවෘත කී‍්‍රඩාංගනවල දක්නට ලැබුණි. පුරාතන රිටි පැනීම සහ අනිකුත් ජවන කී‍්‍රඩා ඒ සමග පුහුණු කෙරිණ. විවිධ අභියෝගාත්මක භාණ්ඩ තරුණයන්ට ආකර්ෂණක් විය. ඊට අමතරව එක්සත් ජර්මනියක සිහිනය සහ මාතෘභූමිය ආරක්ෂා කිරීමට ද ප‍්‍රසියා හා ප‍්‍රංස බලපෑම්වලින් මුදා ගැනීමට ද මේ තරුණයෝ පොළඹවනු ලැබූහ.

තම රටවල දේශාභිමානී හැඟීම් ඉස්මතුවීම පිළිබඳව ප‍්‍රසියානුවරු සහ අවට රටවල නායකයෝ විමසිලිමත් වූහ. 1813 නැපෝලියන්ගේ පරාජයෙන් පසුව ජාන් සහ ඔහුගේ අනුගාමිකයන් ගැන රාජ්‍ය බලධාරීන් තුළ සැක පහළ විය. 1815 වන විට බුර්ෂ්න් ෂාෆ්ට් (Burschen Schaft) යෞවන අංශය වැනි ශිෂ්‍ය සංවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල රජයක් ස්ථාපිත කිරීමට කැමැත්තක් ඇති ව සිටියේ ය. එමෙන් ම පුරවැසියන් සන්නද්ධ කිරීමට ද සිවිල් නිදහස ස්ථාපිත කිරීමට ද ප‍්‍රසාදය පළ කෙළේ ය. 1819 දී බුරුෂන් ෂාෆ්ට් යෞවන අංශයේ ජිම්නාස්ටික්කරුවකු විසින් ජර්මන් නාට්‍ය රචකයකු වූ ඔගස්ට් වොන් කොට්ත්බු (August von Kotzebue) ඝාතනය කෙරිණ. ඉන් අනතුරුව ප‍්‍රසියානු රජු වූ තෙවනෆ්‍රෙඞ්රික් විලියම් ප‍්‍රසියාවේ ජිම්නාස්ටික් මධ්‍යස්ථාන සියයක් වසා දැමී ය. අනිකුත් ජර්මන් ප‍්‍රාන්ත එය අනුගමනය කෙළේ ය. ජාන් සිරගත කෙරිණ. ඔහු සිරගත කරනු ලැබුවේ විප්ලවකාරී ජනනායකයකු ලෙස වසර පහක් නිවාස අඩස්සියේ තබමිනි. අවසානයේ දී ඔහු නිදහස් කෙරිණ. එහෙත් ඔහුට අවවාද කර බර්ලින් නගරයෙන් ඈත උසස් අධ්‍යාපන ආයතන සහ කී‍්‍රඩාගාර නොමැති නගරයකට පිටුවහල් කරන ලදි. ඔහුට වාර්ෂික දීමනාවක් ලබා දී ෆී‍්‍රබර්ග් (Freiburg) නගරයෙහි පදිංචි කෙරිණ. මේ වකවානුව ජාන්ට පෞද්ගලික වශයෙන් ඛේදජනක කාල පරිච්ඡේදයක් විය. ඔහු නිවාස අඩස්සියේ ගත කරන කාලයෙහි දරුවෝ දෙදෙනෙක් මිය ගියහ. ඉනික්බිති ඔහුගේ භාර්යාව ද මිය ගියා ය. ඔහුගේ ඉතා කුළුපඟ අනුගාමිකයන් වූ කාල් බෙක් (Karl Beck), කාල් ෆොලන් (Karl Follen) සහ ෆ‍්‍රාන්ස් ලීබර් (Franz Lieber) අත්අඩංගුවට පත් වේ ය යන බියෙන් උතුරු ඇමෙරිකාවට පැන ගියහ. ප‍්‍රසියාවේ ඉතිරි වූ කරණම්කරුවෝ, 4 වන ෆ්‍රෙඞ්රික් විලියම් රජු විසින් 1842 දී ජිම්නාස්ටික් තහනම ඉවත් කරන තුරු රහසිගත ව කල් ගෙවූහ.

මුල් ම ජර්මන් ජිම්නාස්ටික් සැණකෙළිය පැවැත්වූයේ 1860 ජර්මනියේ කෝර්බර්ග් නගරයේ දී ය. එම සැණකෙළියට අනුබද්ධිත කරණම් සමාජ ආකර්ෂණයට පාත‍්‍ර වූ අතර එය අන්තර්ජාතික තරගවල ආරම්භය ලෙස ද සැලකිය හැක. මේ සඳහා ජර්මනියෙන් පිටස්තර කරණම්කරුවන්ට ද සහභාගී වීමට ආරාධනා ලැබිණ. 1820 අපරභාගයෙහි ජාන්ගේ අනුගාමිකයෝ ජිම්නාස්ටික් කී‍්‍රඩාව ඇමෙරිකාවට හඳුන්වා දුන්හ. ඉනික්බිති ජර්මානුවන් විශාල පිරිසකගේ සංක‍්‍රමණයෙන් පසු කරණම්කරුවන්ගේ කී‍්‍රඩා සමාජ සංවිධානය කර ජාතික කරණම් සමාජයක් (National Union of Turner Society) ආරම්භ කරන ලදි. මීට සමගාමී ව බොහීමියාවේ ද සොකොල් නමින් කි‍්‍රයාවලියක් ආරම්භ වී එය ද එක්සත් ජනපදයට සංක‍්‍රමණය විය. 1861 දී බර්ලින්හි පවත්වන ලද දෙවන කරණම් උත්සවයට ඇමෙරිකානු කරණම්කරුවන් ද ප‍්‍රසියාව අවට ජර්මන් ප‍්‍රාන්තවල අය ද සහභාගී වූහ. 1896 දී වර්තමාන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල අරඹන විට රටවල් බොහෝ ගණනකින් සහභාගී වූ කරණම්කරුවන්ගේ සැණකෙලි අටක් ජර්මනියේ පවත්වා තිබිණ.

ජාත්‍යන්තර තරග අධීක්ෂණය කරනු පිණිස 1881 දී අන්තර්ජාතික ජිම්නාස්ටික් සම්මේලනය ආරම්භ කෙරිණ. 1896 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල නිසා ජිම්නාස්ටික් පිළිබඳ උනන්දුව වර්ධනය විය. එමෙන් ම 1903 දී ජගත් පිරිමි ජිම්නාස්ටික් තරග ද 1934 දී ජගත් කාන්තා ජිම්නාස්ටික් තරග ද සංවිධානය කෙරිණි.

1896 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල නියම අන්තර්ජාතික විවෘත ජිම්නාස්ටික් තරගවල ආරම්භය සනිටුහන් කෙළේ ය. එහි සංකේතමය ජර්මන් බර උපකරණ ඉසව් ද කඹ අල්ලා නැගීම ද ඇතුළත් විය. 1928 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල වන තෙක් ජිම්නාස්ටික් තරගයන්හි ප‍්‍රමිතිකරණයක් නොවිණි. එමෙන් ම එය ජවන හා පිටිය ඉසව්වලින් නිදහස් ද නොවුණි. 1928 දී වත්මනෙහි තරග පවත්වන ඉසවු හයකින් පහක් ම ඇතුළත් ව තිබුණි.

ඔලිම්පික් ජිම්නාස්ටික් කී‍්‍රඩාව විවිධ කොටස්වලට වෙන් කර ඇත. කලාත්මක (Artistic), රිද්මයානුකූල (Rythmic) සහ ට‍්‍රැම්පලින් (Trampoline) වශයෙනි.

1928 දී ප‍්‍රථම වරට කාන්තාවෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට ජිම්නාස්ටික් ඉසවු සඳහා සහභාගී වූහ. එම තරග ඉසවු පිරිම් ඉසවුවලට සමාන වූ අතර සමබර දණ්ඩ පැවැතියේ කාන්තාවන්ට පමණි. භූමි ව්‍යායාම එකතු කරන ලද්දේ 1932 දී ය.

පිරිමි ජිම්නාස්ටික් ඉසවු : පිරිමි ජිම්නාස්ටික් තරගයට ඉසවු හයක් ඇතුළත් ය. මේවා අනුපිළිවෙළට කී‍්‍රඩා කළ යුතු වේ. එම අනුපිළිවෙළ නම්:

  1. භූමි ව්‍යායාම (Floor exercise)
  2. ආධාරක අශ්වයා (Pommel horse)
  3. නිශ්චල වළලූ (Roman rings)
  4. පිනුම් අශ්වයා (දිග) (Horse vault)
  5. සමාන්තර පෝල (Parallel bars)
  6. හරස් පෝල (Horizontal bars) වශයෙනි.

ඉහත ඉසව් හය ම තරග කරන කී‍්‍රඩකයා පරිපූර්ණ ජිම්නාස්ටික් කී‍්‍රඩකයකු ලෙස හැඳින්වේ. ඉන් එකක් හෝ දෙකක් සඳහා ඉදිරිපත් වන කී‍්‍රඩකයා විශේෂ ජිම්නාස්ටික්කරුවකු ලෙස හැඳින්වේ.


1. භූමි ව්‍යායාම (Floor exercise) : මෙම ව්‍යායාමය කෙරෙනුයේ ව.මී. 12ක මෙට්ටයක් මත ය. කී‍්‍රඩකයන්ගේ ආරක්ෂාව උදෙසා එක මීටරයක භූමි ප‍්‍රමාණය හතර වටේට ම තිබීම අවශ්‍ය ය. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට එය පැහැදිලිව හඳුනා ගත හැකි අයුරින් මී. 12 x මී. 12 භූමියට වඩා වෙනස් පාටකින් දැක්විය යුතු ය (රූපය 1). කී‍්‍රඩකයා සමබර, නම්‍යශීලී සහ ශක්තිය අවශ්‍ය වන අඛණ්ඩ චලන ක‍්‍රියාවලියක් කළ යුතු වේ. එම චලන ක‍්‍රියාවලියට අත් පිනුම් (Hand springs), ඉපිලීම් (Leaps), ගුවන් කරණම් (Somersaults in the air) සහ පිනුම් ගැසීම් (Tumblings) ආදිය අයත් වේ. භූමි ව්‍යායාම සම්පූර්ණ කළ යුතු වන්නේ අවම වශයෙන් ත. 50කින් ද උපරිම වශයෙන් ත. 70කින් ද වශයෙනි.
2. ආධාරක අශ්වයා (Pommel horse) : මෙම උපකරණය දිගින් සෙමි. 165කින් ද පළලින් සෙමී. 35කින් ද යුක්ත ය. එහි මතුපිට ලීයෙන් සාදන ලද මිටි (Handles) දෙකක් වේ. මෙය පොළොවේ සිට සෙමී. 125ක් උස ය (රූපය 2). කී‍්‍රඩකයා මේ මිටි භාවිත කරන්නේ ස්වකීය බර අත්වලට දීමෙනි. ඔහු තම පාද චක‍්‍රාකාරව නොනවත්වා අශ්වයාගේ පැත්තෙන් සහ මතුපිටින් පද්දවයි. තව ද ඔහු කතුර (Scissors) නමැති චලන කි‍්‍රයාවක් කරයි. ව්‍යායාමය ආරම්භ කරන්නේ තම දෙපා අශ්වයාගේ දෙපැත්තෙන් තබා එක් පැත්තකින් අනෙක් පැත්තට පැද්දෙන අතර පාදවල ඉරියව්ව (Position) වෙනස් කිරීමෙනි.
 (රූප සටහන 2 - ආධාරක අශ්වයා)
3. නිශ්චල වළලූ (Roman rings) : මෙය පොළොව මට්ටමෙන් මී. 5.8ක උසින් ඇති දම්වැල්වලින් එල්වා ඇති ලී වළලූ දෙකක ආධාරයෙන් කෙරෙන ව්‍යායාමයකි (රූපය 3). කී‍්‍රඩකයා උඩට පැන වළලූ ග‍්‍රහණය කර විවිධ චලන සිදු කරද්දී ඒ වළලූ නොසෙල්වන ලෙස තබා ගනී. එම චලන කි‍්‍රයාවලට දෑතින් සිටීම (Hand stands) සහ සම්පූර්ණ චක‍්‍රාකාර පැද්දීම අඩංගු වේ. මෙහි දී කී‍්‍රඩකයා තම ශරීරය විවිධ ශක්ති ස්ථානවල (Strength positions) පවත්වා ගනී. සුවිශේෂ වූ ශක්තියක් මෙයට අවශ්‍ය කෙරේ. කී‍්‍රඩකයා කුරුසිය නමැති ඉරියව්වෙහි නිසල ව සිටියි. මෙහි දී ඔහු දෑත් දෙපසට විහිදුවා ශරීරය ඍජු ව තබා ගනී. තව ද තදින් නවත්වාගෙන සිටින ඉරියව්ව ද මීට අයත් වේ. එයට කී‍්‍රඩකයා තත්පර දෙකක් එසේ නොසෙල්වී සිටිය යුතු වේ.
 (රූපය 3 - නිශ්චල වලලූ සටහන)
4. පිනුම් අශ්වයා (දිග) (The horse vault) : මෙම උපකරණය ආධාරක අශ්වයාට සමාන වුව ද මිටි (pommels) රහිත වන අතර පොළොවේ සිට සෙමී. 135ක උසකින් යුක්ත ය. මෙම ඉසවුවේ දී කී‍්‍රඩකයා අශ්වයාගේ දිග පැත්තෙන් හරහට පනී. ඔහු ධාවන පථයේ වේගයෙන් දිව ගොස් පිනුම් අශ්වයා ඉදිරිපිට ඇති පිනුම් පුවරුව (Spring board) ආධාරයෙන් ලබා ගත් බලය මගින් ගුවන්ගත වේ. අශ්වයා මතින් පනින විට කී‍්‍රඩකයා එක් අතක් හෝ අත් දෙක ම තබා අශ්වයා පිටට පනී. ඔහු විසින් ගුවනේ කරකැවෙමින් කරණම් හෝ ඉන් එකක් හෝ චලන සමූහයක් හෝ කරනු ලැබේ. සමහර තරගවල දී ජිම්නාස්ටික්කරු දෙවරක් පනින අතර අවසාන ලකුණු ප‍්‍රමාණය ඒ පිනුම් දෙකේ සාමාන්‍යය වේ. අන්තර්ජාතික තරගවල දී කී‍්‍රඩකයා පනින්නේ එක් වතාවක් පමණි.
5.සමාන්තර පෝල (Parallel bars) : මෙම උපකරණය පොළොවෙන් මී. 2ක් උසැති සමාන්තර දඬු දෙකකින් සමන්විත වේ. මෙම දඬු දෙක අතර පරතරය දෙවුරට වඩා මදක් පුළුල් විය යුතු ය. සාමාන්‍යයෙන් මී. 3.5ක් වේ(රූපය 4). දෑතින් සිටීම (Hand stand), පැද්දීම් හෙවත් දෝලන (Swings), කරකැවීම් (Swing around) සහ විවිධ කරණම් සිය අත් දඬු ආධාරක ලෙස තබා ගෙන ව්‍යායාම කරනු ලැබේ. ජිම්නාස්ටික්කරු විවිධ ස්ථාවර ඉරියව් (Holding positions) දඬු මත සිදු කරයි. ඒ සෑම ඉරියව්වක දී ම ඔහු අවම වශයෙන් තත්පර එකක් හෝ දෙකක් නොසෙල්වී (Motionless) සිටිය යුතු වේ. මීට අමතරව අවශ්‍ය විවිධ බාහු ශක්ති චලන (Strength movements) කළ යුතු වේ. එය ඉතා සෙමින් කළ යුත්තකි.
 (රූපය 4 - සමාන්තර දණ්ඩ)
6. තිරස් පෝල (Horizontal bar) : මෙම ව්‍යායාමය කරනුයේ පොළොව මට්ටමින් සෙමී. 205ක් උසින් පිහිටි ආධාරක දෙකක් මත සවිකරන ලද තරමක නැමෙන සුලූ (Flexible) වානේ දණ්ඩක ආධාරයෙනි (රූපය 5). ජිම්නාස්ටික්කරු දණ්ඩ එක් අතකින් හෝ දෑතින් ම හෝ ග‍්‍රහණය කර එය වටා පැද්දෙයි. නොනවත්වා ම විවිධ කරණම් ගසයි. මේ කි‍්‍රයාවලියෙන් (Routine) ඔහුගේ ඉරියව්ව අනෙක් පැත්තට (Reverse) ගත යුතු වේ. ඒ සඳහා දණ්ඩෙහි ග‍්‍රහණය මාරුකර ගත යුතු ය. තව ද ඔහු ග‍්‍රහණයෙන් මිදී ගුවනේ දී උපක‍්‍රමශීලීව නැවත දණ්ඩ ග‍්‍රහණය කර ගැනීමක් සිදු කරයි. බොහෝ ජිම්නාස්ටික් කී‍්‍රඩකයෝ දණ්ඩෙන් අපූර්ව ලෙස බිමට පතිත වෙති. දණ්ඩ වටා වැඩි වේගයෙන් පැද්දී දණ්ඩ අත්හැර බිමට පතිත වීමට පෙර ගුවනේ දී කරණම් (Somersault) හෝ ඇඹරීම් (Twist) සිදු කොට දෙපා බිමට සිටින සේ පතිත වීම සිදු කෙරේ.
 (රූපය 5 - තිරස් දණ්ඩ)

සමස්ත තරගය (All-round competition) : මෙයට ඉසව් හය ම අන්තර්ගත වේ. සංවිධාන කමිටුව මගින් තරගය සඳහා ඉදිරිපත් කෙරෙන නියමිත ව්‍යායාම මාලාව ජාතික හා අන්තර්ජාතික තරගවල දී කී‍්‍රඩකයා අනිවාර්යයෙන් (Compulsory) ම සපිරිය යුතු වේ. සංවිධායක මණ්ඩලය විසින් කී‍්‍රඩකයන්හට අවම වශයෙන් මාස දෙකකට පෙර එහි නීතිරීති සහ ලකුණු දීමේ ක‍්‍රමය සඳහන් කර ව්‍යායාම පිළිවෙළ පිළිබඳ සවිස්තර උපදෙස් පති‍්‍රකාවක් ඔවුනට ලබා දිය යුතු වේ. ඉනික්බිති ජිම්නාස්ටික්කරු වෛකල්පිත ව්‍යායාම පද්ධතියක් ඒ ව්‍යායාම හයෙන් තෝරාගෙන තරග කරයි. අන්තර්ජාතික තරගවලට සහභාගී වන්නේ මෙවැනි සමස්ත ජිම්නාස්ටික්කරුවන් පමණි. ට‍්‍රැම්පලීනය (Trampoline) : ට‍්‍රැම්පලීනය නිර්මාණය වී ඇත්තේ ලෝහමය රාමුවක දුනු මගින් සවි කරන ලද දැලක් වශයෙනි. එය ජිම්නාස්ටික්කරුවන්ට පැද්දී උඩට විසිවී කරණම් ගැසීමට උපකාරී වන්නකි. ට‍්‍රැම්පලීනය දිගින් මී. 5.05ක් ද පළලින් මී. 2.91ක් ද වේ. එහි උස මී.1.55කි. දැල් තන්තු ඝනකම මිමී. 6කි. එය නයිලෝන් හෝ ඝන වැල් පටලයකින් නිර්මාණය කර ඇත.

ලෝකයේ උසස්තම කී‍්‍රඩකයන් ඒකරාශී වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා 2000 දී සිඞ්නි ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට ප‍්‍රථම වරට ට‍්‍රැම්පලීනය ද එක් විය. ට‍්‍රැම්පලීනයේ නිර්මාතෘවර ජෝර්ජ් නිසන් (George Nissen) එය නැරඹීමට පැමිණියේ ය.

 (රූපය 6 - ට‍්‍රැම්පලීනය)

කාන්තා ජිම්නාස්ටික් ඉසවු : කාන්තාවන් උදෙසා කලාත්මක ඉසවු වනුයේ පිනුම් අශ්වයා (Horse vault), අසම සම පෝල (Uneven parallel), සමබර දණ්ඩ (Balance beam), භූමි ව්‍යායාම (Exercise) හා සමස්ත ව්‍යායම (Combined exercise) වශයෙනි. මේවා ඒකල සහ කණ්ඩායම් වශයෙන් පැවැත්වේ.

1. පිනුම් අශ්වයා : කී‍්‍රඩකයන් භාවිත කරන පිනුම් අශ්වයා කී‍්‍රඩිකාවන් භාවිත කරනුයේ අශ්වයාගේ දිගු අතට නොව හරස් අතට පැනීමෙනි. බොහෝ තරගවල දී ජිම්නාස්ටික්කාරිය දෙවරක් පනිනු ඇත. එයින් ගණන් ගැනෙනුයේ වැඩි ලකුණු ප‍්‍රමාණයක් ගත් අවස්ථාව ය.
 (රූපය 7 - පිනුම් අශ්වයා)
2. අසමසම සමාන්තර පෝල : මෙම ව්‍යායාමයේ දී තරග කරනුයේ සමාන්තර ලී පෝලවල ය. ඉන් එකක් පොළොව මට්ටමේ සිට සෙමී. 230ක් උස් වන අතර අනෙක සෙමී. 150ක් උස් වේ. කී‍්‍රඩිකාව එක් පෝලයක් වටා එක් අවස්ථාවක පැද්දෙයි. එය අධිනම්‍යශීලීභාවය සහ උලැඟිභාවයකින් දක්ෂ ලෙස හසුරුවන්නී ය. ඇය එක් පෝලයකින් අනෙක් පෝලයට නියත චලනයක් ඔස්සේ ඉතා ඉක්මනින් මාරුවෙමින් ව්‍යායාම කරන්නී ය.
3. සමබර දණ්ඩ : මෙය සෙමී. 10ක් පමණ පළලැති ලී දණ්ඩකි (රූපය 8). එහි මුළු දිග ප‍්‍රමාණය උපයෝගී කරගෙන පැනීම්, දුවන පියවර සහ කරණම් ගැසීම කෙරේ. දක්ෂ කී‍්‍රඩිකාවෝ ඒ මත රෝද කරණම් ද ආපසු අත්පිනුම් ද කරණම් ද දක්වති. මෙම කි‍්‍රයාවලිය අවම වශයෙන් වි.1යි, තත්. 10ක් සහ උපරිම වශයෙන් වි. 1යි, තත්. 50ක් අතර සිදු විය යුතු ය.
 (රූපය 8 - සමබර දණ්ඩ)
4. භූමි ව්‍යායාම : පිරිමි ව්‍යායාම කරන කලාලයට (Mat) සමාන වූ කලාලයක් මත මෙම ව්‍යායාම සිදු කෙරේ. ජිම්නාස්ටික් කී‍්‍රඩිකාවෝ මෙම ව්‍යායාමය සංගීත ඛණ්ඩයකට අනුව පවත්වති. ඒ ඒ කී‍්‍රඩිකාව තම තමන්ගේ ව්‍යායාමයේ ළයට හා මනෝභාවයට අනුරූප ව සකසා ගනී. ඇගේ කරණම්වල නර්තනය සහ පිනුම්වල නිපුණත්වය විදහා දැක්වීම අවම වශයෙන් වි. 1යි, තත්. 10 සහ උපරිම වශයෙන් වි. 1යි, තත්. 30ක් ඇතුළත සිදු කළ යුතු ය.

සමස්ත තරගය : මීට ඇතුළත් වන්නේ ඉහත දැක්වූ ව්‍යායාම හතරයි. අන්තර්ජාතික තරගවල දී සෑම කී‍්‍රඩිකාවක් ම ව්‍යායාම හතරෙන් එක බැගින් කී‍්‍රඩා කළ යුතු වේ. ඉන් අනතුරුව එම ව්‍යායාමවලින් වෛකල්පික ව්‍යායාම කළ යුතු වේ.

රිද්මයානුකූල ජිම්නාස්ටික් : වෙනස් ම වූ ජිම්නාස්ටික් තරගයක් වන මෙහි දී ජිම්නාස්ටික් කී‍්‍රඩිකාව අතින් ගත් උපකරණයක් ඇති ව සිත් මවිත වන ලෙසට නැටුම් ව්‍යායාමයක් (Dance routine) කරයි. මේ භාණ්ඩ නම් : බෝලය, පීත්ත පටිය, ලණුව, යෂ්ටිය හෝ වළල්ලකි (රූප පෙළ 9). මෙය සංගීතය අනුව ත. 60-90 අතර සිදු වේ. කී‍්‍රඩිකාවන් අගය කරන්නේ ඔවුන්ගේ ලාලිත්‍යය, අසීරු කි‍්‍රයාවලි සහ අතින් ගත් භාණ්ඩය මුදවා හැර එය නැවත අල්ලා ගැනීමේ නිපුණත්වය මත ය. මෙය කාන්තාවන්ට පමණක් සීමා වූවකි. 1984 දී ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට මුල්වරට මෙය ඇතුළත් කරන ලදි.

රිද්මයානුකූල ජිම්නාස්ටික් ආරම්භ වූයේ කාන්තාවන්ගේ සෞන්දර්යාත්මක වැඩ සටහනක් ලෙස ය. එය වෙනත් කී‍්‍රඩාවක් ලෙස සැලකෙන්නට වූයේ 1963 හංගේරියාවේ බුඩාපේස්ට් නගරයේ ආරාධිත තරග මාලාවක දී ය. ඉන්පසු අන්තර්ජාතික ජිම්නාස්ටික් සම්මේලනය මෙය ලෝක තරගයක් ලෙස සෑම ඉරට්ටේ වර්ෂයක දී ම පැවැත්වීමට 1964 දී සැලසුම් කෙරිණ. ආරම්භයේ දී එය රිද්මයානුකූල ජිම්නාස්ටික් ලෙස හැඳින්වුව ද අනතුරුව එය රිද්මයානු කී‍්‍රඩා ජිම්නාස්ටික් නමින් හැඳින්විණ. ඔලිම්පික් සහ ලෝක ශූරතා උළෙලවල දී පදක්කම් පිරිනැමෙන්නේ කණ්ඩායම් (Group), සමස්ත (All round) සහ ඒකල (Individual) තරග ඉසව් සඳහා ය.

 (රූපය 9 - පින්තූර කිහිපයක්)

සුවිශේෂී ජිම්නාස්ටික් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ : ආරම්භක ඔලිම්පික් කී‍්‍රඩා උළෙලවල දී ප‍්‍රබල පිරිමි කී‍්‍රඩකයන් බිහි වූයේ ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඉතාලිය සහ ස්වීඩනය යන රටවලිනි. 1950 සිට ජපානය, රුසියාව සහ අනිකුත් නැගෙනහිර යුරෝපීය රටවල කී‍්‍රඩකයෝ ප‍්‍රබල වූහ.

කී‍්‍රඩකයෝ : පිරිමි ජිම්නාස්ටික් කී‍්‍රඩකයන්ගෙන් ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයන් වූ සෝවියට් දේශයේ වික්ටර් චුකරින් (Viktor Chukarin 1952, 1956) සහ ජපානයේ කතෝ සාවෝ (Kato Sawao) 1968, 1972) යන දෙදෙනා ම දෙවර බැගින් ඔලිම්පික් සමස්ත ශූරතාව දිනූවෝ වෙති. බෙලාරුස් රාජ්‍යයේ (Belarus) විටලි ෂර්බෝ (Vitaly Scherbo) 1992 ඔලිම්පික් තරගයේ දී ද 1993 ජගත් ශූරතාවලියෙහි ද සමස්ත ශූරතාව දිනා ගති. ඔලිම්පික් රන් පදක්කම් හයක් ඔහු දිනා ගති. ඒ වළලූ, සමාන්තර දණ්ඩ, ආධාරක අශ්වයා සහපිනුම් අශ්වයා ඉසව්වල උපරිම රන් පදක්කම් දිනා ගත් ඔහු කණ්ඩායමක් වශයෙන් ද සමස්ත ඒකල තරගයෙන් ද රන්පදක්කම් දිනා ගති.

 (රූපය 10 - විටලි ෂර්බෝ (Vitaly Scherbo)

කී‍්‍රඩිකාවෝ : අතිදක්ෂ කී‍්‍රඩිකාවෝ 1950න් පසුව කී‍්‍රඩාව ජනපි‍්‍රය කරවීමට උපස්තම්භ වූහ. එහි උච්චස්ථානය සනිටුහන් වූයේ 1970 දශකයේ රුසියානු කී‍්‍රඩිකාවන් වන ලැරීසා ලැටිනිනා (Larisa Latynina), ඔල්ගා කෝබට් (Olga Corbut) සහ රුමේනියානු කී‍්‍රඩිකාවක වන නදියා කොමෙනේසි (Nadia Comaneci) ආශ්චර්යවත් ලෙස මුළු ලොවෙහි ම අතිශය ජනපි‍්‍රයතාවකට මෙම කී‍්‍රඩාව පත් කිරීමෙනි.

 (රූපය 11- නදියා කොමෙනේසිගේ හා ලැරීසා ලැටිනිනාගේ ඡායාරූප)

ලොව ඉතා ශ්‍රේෂ්ඨතම ජිම්නාස්ටික්කරුවන් බිහි වූයේ නැගෙනහිර යුරෝපයෙනි. ලැරීසා ලැටිනිනා මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම (Greatest of All time) කාන්තා ජිම්නාස්ටික් කී‍්‍රඩිකාව ලෙස පිළිගෙන ඇත. ඇය ඔලිම්පික් තරග දෙකක (1958, 1962) මෙන් ම ජගත් ශූරතා තරග දෙකක (1958, 1962) ද සමස්ත ශූරතාව දිනා ගත්තා ය. මෙම දක්ෂතාව වෙන කිසිදු කී‍්‍රඩිකාවක මෙතෙක් (2012 තෙක්) හිමිකරගෙන නැත. ඇය ඔලිම්පික් කී‍්‍රඩා තුනක දී පදක්කම් 18ක් දිනා ගත්තා ය. ඒ අතර රන් පදක්කම් නවයකි. එය මෙතෙක් කිසිදු ඔලිම්පික් කී‍්‍රඩා ඉසව්වක දී නොබිª වාර්තාවකි. ඊට අමතරව ජගත් ශූරතා අටක දී ඇය රන් පදක්කම් අටක් දිනා ඇත. ලැටිනිනා වයස අවු. 11 සිට මුද්‍රා නාටිකාංගනාවක් ලෙස පුහුණුව ලැබූවෙකි. ඇයගේ ශිල්පීය නිපුණත්වය මෙන් ම ඇගේ අලංකාරත්වය විනිශ්චයකරුවන්ගේ ආකර්ෂණයට හේතු විය. වයස අවු. 16 දී ඇය ජාතික පාසල් ජිම්නාස්ටික් ශූරිය වූවා ය. එමෙන් ම 1950-60 දක්වා අඛණ්ඩ ව ලෝක ජිම්නාස්ටික් ශූරිය වූවා ය. පසුකාලීනව ඇය රුසියානු ජිම්නාස්ටික් කණ්ඩායම් පුහුණුකාරියක ලෙස කටයුතු කළා ය.

 (රූපය 12 - වේරා කැස්ලවස්කාගේ ඡායාරූපය)

ලැරීසා ලැටිනිනාගේ ප‍්‍රමුඛ ප‍්‍රතිවාදියා වූයේ චෙකොස්ලොවැකියාවේ වේරා කැස්ලවස්කා (Vera Caslavaska) ය. කැස්ලවස්කා ඔලිම්පික් තරග දෙකක් හා (1964,1968) එක් ජගත් ශූරතාවලියක් (1966) වශයෙන් තෙවරක් සමස්ත ජිම්නාස්ටික් ශූරිය වූවා ය. ඇය 1968 ඔලිම්පික් තරගයේ දී රන් පදක්කම් හතරක් ද රිදී පදක්කම් දෙකක් ද දිනුවා ය. ඇය පසු කලෙක චෙක් රාජ්‍යයේ කී‍්‍රඩා ඇමතිනිය ද වූවා ය.

 (රූපය 13-පැටි මැක්කොමික්ගේ ඡායාරූපය)

1970 දී කාන්තා ජිම්නාස්ටික්වල වැදගත් වෙනසක් (Major change) සිදු වුණි. එනම් වයසින් බාල දැරියන් තරගබිමට පිවිසීම ය. රුසියානු කී‍්‍රඩිකා ඔල්ගා කෝබට් සහ රුමේනියානු කී‍්‍රඩිකා නදියා කොමෙන්සි යන දෙදෙනා ම ළාබාල නව යොවුන් වියැත්තියෝ වූහ. 1970 දශකයේ සිට 21 වන සියවස ආරම්භය දක්වා අන්තර්ජාතික ජිම්නාස්ටික් තරගවල බාල දැරියන් වැඩි වශයෙන් පෙනී සිටීම කෙළින් ම කෝබට්-කොමෙන්සි ප‍්‍රපංචය නිසා ම විය. මෙම ළාබාල කී‍්‍රඩිකාවන් වෙසෙසින් තරග උදෙසා දිගු පැය ගණනක් පුහුණුවේ යෙදුණු බෙහෝවිට මල්වර වියට (Menarche) පත් නොවූවෝ වූහ. එමෙන් ම සමහරු උත්තේජක භාවිතයෙන් මල්වරවීම ප‍්‍රමාද කර ගනිති. ඉන් ජිම්නාස්ටික් කී‍්‍රඩිකාවන්ගේ ගුරුත්ව කේන්ද්‍රයෙහි සහ බරෙහි වෙනසක් ඇති කෙරේ. මේ බාලිකාවන්ට පුහුණු කටයුතුවල යෙදීමේ දී බොහෝ ගැටලූවලට මුහුණ දෙන්නට සිදු විය. එනම් ඔවුන්ගේ පවුල්වලින් වෙන් ව නුපුරුදු පරිසරයක පුහුණුවීමට සිදුවීම සහ තම දෙමාපියන් විසින් පුහුණුවට බලපෑම් කිරීම ය. වර්ෂ 2000 වන විට ඔලිම්පික් ජිම්නාස්ටික් තරගකරුවන්ගේ වයස් සීමාව අවු. 16 වන තෙක් වැඩි කිරීමෙන් මේ ගැටලූ බොහෝ දුරට අඩු විය.

වයස අවු. 14 දී මී. 1.5ක් උසැති ව සිටි නදීයා කොමෙනේසි අසමසම පෝල කි‍්‍රයාවලියේ දී ලකුණු 10ක් ගත් ප‍්‍රථම කී‍්‍රඩිකාව වූවා ය (1976). තරගය අවසන් වීමට ප‍්‍රථම ඇය තවත් පූර්ණ ලකුණු 10ක් ඉසව් හයකින් දිනා ගත්තා ය. ඒ කාන්තා සමස්ත තරගය ද සමබර දණ්ඩ ඉසව්වේ රන් පදක්කමක් ද අසමසම පෝල ඉසව්වේ කණ්ඩායම් තරගයෙහි රිදී පදක්කම් ද දිනා ගැනීමෙනි. ඇය තම උලැඟිතාව නව දිගන්තයකට ගෙන ගියා ය. ඇගේ ආධිපත්‍යය පිළිබිඹු වූයේ 1975 දී වයස අවු. 13 දී ළාබාල ම කී‍්‍රඩිකාව ලෙස යුරෝපීය ශූරතාව දිනාගත් විට ය. පූර්ණ ලකුණු දහයක් දිනා ගැනීම කිසිවකු නොපැතූ දෙයකි. 1980 දී තවත් රන්පදක්කම් දෙකක් ද කණ්ඩායම් වශයෙන් රිදී පදක්කමක් ද දිනා ගත් ඇය තම ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව නවය දක්වා ඉහළට ගෙන ගියා ය. ඉන් පහක් ම රන් පදක්කම් වීම විශේෂත්වයකි. ඇය 1989 දී සිය මව්රට අතහැර ඇමෙරිකාවේ පදිංචියට ගිය මුත් රුමේනියාවේ කොමියුනිස්ට් රජය බිඳ වැටීමෙන් පසු මව්රටට පැමිණියා ය. පසුව රජය විසින් ඇය රුමේනියානු ජිම්නාස්ටික් සංගමයේ ගරු සභාපතිනිය ලෙස පත්කරනු ලැබුවා ය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිරිනැමෙන ධකහපචසජ ධරාැර නම් ඉහළ ම ගෞරව නාමය 1984 දී හා 2004 දී පිරිනමන ලදුයෙන් එම ගෞරවය දෙවරක් ම දිනූ කී‍්‍රඩිකාවක ලෙස ඇය ඉතිහාසගත වී ඇත.

විනිශ්චය : ජිම්නාස්ටික් විනිසුරුවෝ සෑම අනිවාර්ය ව්‍යායාමයක් ම ඉතා සාවධානව සුපරීක්ෂාකාරී ව සිටිමින් එහි වැටීම් වැනි දෝෂ, ශරීරයේ වැරදි ඉරියව්, අඩුපාඩු, ප‍්‍රමාදීබව සහ විරාම පිළිබඳව සැලකිලිමත් වෙති. වෛකල්පික ව්‍යායාමයන්හි දී විනිසුරුවන් ලබා දෙන ලකුණුවලට පදනම් වනුයේ එහි ඇති අපහසුතාව, ආකෘතිය සහ කි‍්‍රයාවලියේ සංයෝගයයි.

ඕනෑම ඉසව්වක නිර්දෝෂ (සම්පූර්ණ) ලකුණු ප‍්‍රමාණය වනුයේ 10කි. සෑම අඩුපාඩුවකට ම ලකුණු හෝ ලකුණකින් දහයෙන් එකක් අඩු කරනුු ලැබේ. වෛකල්පික ව්‍යායාමවල දී විශේෂයෙන් ම අපහසුවූත් නව නිපැයුම්වූත් ව්‍යායාමවලට පාරිතෝෂික ලකුණු දීමට විනිසුරුකරුවන්ට හැකියාව ඇත.

පිරිමි තරගවල දී සෑම කී‍්‍රඩකයකුගේ ම කි‍්‍රයාවලිය විනිශ්චය කරනු ලබන්නේ ප‍්‍රධාන විනිසුරු ඇතුළු පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි. බොහෝ අවස්ථාවල දී ප‍්‍රධාන විනිසුරුගේ ලකුණු භාවිත නොකෙරේ. ඒ වෙනුවට ප‍්‍රධාන විනිසුරු විසින් අනික් විනිසුරුවන්ගේ ලකුණු ගෙන ඉන් අවම සහ උපරිම ලකුණු ඉවත් කොට මැද විනිසුරුවන්ගේ ලකුණුවල සාමාන්‍යය අවසන් ලකුණු ප‍්‍රමාණය ලෙස ප‍්‍රකාශයට පත් කරයි. මැද විනිසුරුවන්ගේ ලකුණුවල පරතරය එක් නියමිත ශ්‍රේණියකට වැඩි වුව හොත් ප‍්‍රධාන විනිසුරුගේ ලකුණු අවසන් ලකුණු ප‍්‍රමාණය සඳහා උපදේශනයක් ලෙස භාවිත කෙරේ. අන්තර්ජාතික තරගවල දී කණ්ඩායම් ලකුණු ගණනය කරනුයේ කණ්ඩායමේ මුල් තරගකරුවන් පස්දෙනාගේ සමස්ත ලකුණු ප‍්‍රමාණයේ එකතුව ගැනීමෙනි.

කාන්තා තරගවල දී විනිශ්චය මණ්ඩලය ප‍්‍රධාන තරග විනිසුරු ඇතුළු සත් දෙනකුගෙන් සමන්විත වේ. සෙසු විනිසුරුවන් හය දෙනාගෙන් අවම සහ උපරිම ලකුණු ඉවත් කොට අනෙක් විනිසුරුවන් සිව්දෙනාගේ ලකුණුවල සාමාන්‍යය අවසාන ලකුණු ප‍්‍රමාණය ලෙස ගණන් ගැනේ.

ශී‍්‍ර ලංකාවේ ජිම්නාස්ටික් කී‍්‍රඩාව : ශී‍්‍ර ලංකාවේ පාරම්පරික නැටුම් ශිල්පය තුළ ජිම්නාස්ටික් කී‍්‍රඩාවේ ඇතැම් අංග දැක ගත හැක. විශේෂයෙන් උඩරට සහ පහතරට නැටුම්වල පිනුම්, පැනුම් සහ කරණම් බහුල වශයෙන් උපයෝගී කර ගැනේ. පැරණි අංගම්පොර පුහුණු කෙරුණේ හරඹ ශාලාවල දී ය. එහි පුහුණුවීම්වල දී පැනුම් (Jumping) සහ පිනුම් (Aerobatics), අසුන් හරඹ (Fighting on horse back) යනාදිය පුහුණු කරවන ලදි.

වත්මන් ජිම්නාස්ටික් ලෙස හැඳින්වෙන කි‍්‍රයාවලිය පළමුවන ලෝක සංග‍්‍රාමයෙන් පසුව ප‍්‍රචලිත වූවකි. ප්‍රොයිඩන්බර්ග් සමාගමේ ආරම්භක හිමිකරු ලෙස ලංකාවට පැමිණි ප්‍රොයිඩන්බර්ග් නමැති ජර්මන් ජිම්නාස්ටික් ශූරයා ලංකාවේ ප‍්‍රථමවරට කොළඹ තරුණ කි‍්‍රස්තියානි සංගමයේ පුහුණු කටයුතු ආරම්භකෙළේ ය. ලාංකික බර්ගර් ජාතික ජෝර්ජ් ඇට්කින්සන් සහ ජාලි ඇට්කින්සන් යන දෙදෙනා ඔහුගෙන් පුහුණුව ලැබූහ. තරුණ කි‍්‍රස්තියානි සංගමය කොළඹ කොටුවට රැුගෙන ආපසු එහි ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත් වූ ඇමෙරිකානු ජාතික ආර්. වෝල්ටර් කැමැක් (R. Walter Cammack) එහි ජිම්නාස්ටික් උපදේශකවරයා ලෙස 1920 දී පත් විය.

දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු තරුණ කි‍්‍රස්තියානි සංගමයේ ජිම්නාස්ටික් උපදේශක ලෙස ජෝර්ජ් ඇට්කින්සන් පත් විය. මේ වකවානුවේ දී ඔහු ශාන්ත බෙනඩික් විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා වූ අතර එම විදුහලෙහි ජිම්නාස්ටික් කී‍්‍රඩාව ආරම්භ කෙළේ ය. ජිම්නාස්ටික් කී‍්‍රඩාව ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා ඔහු ඉමහත් පරිශ‍්‍රමයක් දරා ඇත. පසුකලෙක ජේම්ස් පෙරේරා සහ ඒ. එම්. ශි‍්‍රයා යන යුවල ජිම්නාස්ටික් කී‍්‍රඩාව සඳහා කී‍්‍රඩකයන් පුහුණු කිරීමෙන් ද අදාළ උපකරණ තැනීමෙන් ද දායක වූහ.

1968 දී කී‍්‍රඩා අමාත්‍යාංශය ආරම්භ කිරීමෙන් පසුව කී‍්‍රඩා ඇමැති වූ වී. ඒ. සුගතදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජිම්නාස්ටික් ශූරතාවලියක් පවත්වන ලදි. කී‍්‍රඩා අමාත්‍යාංශය ජිම්නාස්ටික් කී‍්‍රඩාගාරයක් ඉදිකොට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා පුහුණු පාඨමාලා පවත්වාගෙන යයි. එයට පුරෝගාමී වූවෝ නම් ඩබ්. ඒ. විජේවීර, එච්. එස්. ද සොයිසා, මිලාන් පී. ගුණරත්න, පද්මා බැද්දෙවෙල, බී. ජී. ජයවර්ධන ය.

1984 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කි‍්‍රයාත්මක කෙරුණ නව කී‍්‍රඩා සැලැස්ම යටතේ ජිම්නාස්ටික් කී‍්‍රඩාවට විශේෂ සැලකිල්ලක් ලැබුණි.


කේ. එල්. එෆ්. විජේදාස

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිම්නාස්ටික්_(Gymnastics)&oldid=925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි