ජිහාද්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිහාද්. ‘ජිහාද්’ යන අරාබි වචනයේ මුල් පද අක්ෂර වන්නේ ජ-හ-ද යන්න ය. ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් මෙහි අදහස එක්තරා ප‍්‍රමාණයකට අර්ථ දැක්විය හැකි ය. ඉස්ලාමීය කෝණයෙන් ‘ජිහාද්’ යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහපත් විපාක අපේක්ෂාවෙන් අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් ද වන්නේ ය. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද දහමේ නියමයන්ට අනුකූල ව කටයුතු කිරීම ද ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක. ජිහාදයේ අනුප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද තුනක් ඇති බව පිළිගෙන ඇත.

  1. චෛතසිකයෙන් කරන්නා වූ ජිහාදය (චිත්ත පාරිශුද්ධිය උදෙසා අකුසලයට නැඹුරුවූ හැඟීම් සමග කරන්නා වු චෛතසික අරගලය)
  2. ශරීරය හා වස්තුව උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (සාමය හා යුක්තිය ස්ථාපිත කිරීම වැනි යහපත් අරමුණකින් කරන්නා වූ සටනකට සහභාගීවීම, තම ශරීරය වෙහෙසා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කටයුතු කිරීම, තම වස්තුව අල්ලාහ්ගේ මෙඟහි යහ විපාක අපේක්ෂාවෙන් වියදම් කිරීම)
  3. දිව උපයෝගි කරගෙන කරන්නාවූ ජිහාදය (සත්‍යය අන් අයට පැහැදිලි කරදීමට හා යහමඟට ජනයාට ආරාධනා කරන්නා වූ පැහැදිලි කිරීම් ආදිය)


මුහම්මද් නබිතුමා විවිධ අවස්ථාවන්හි දී ශ්‍රේෂ්ඨ ජිහාදය කුමක් ද කියා පැහැදිලි කොට ඇත. වරෙක අසාධාරණ දුෂ්ඨ පාලකයකු ඉදිරියේ නිර්භය ව සත්‍යය ප‍්‍රකාශ කර සිටීම ශ්‍රේෂ්ඨ ජිහාදය බව පවසා ඇත. ඉස්ලාමයේ නිර්දේශිත අනිවාර්ය කටයුතු (දෛනිකව කරන්නාවූ වූ පස්වේල සලාතය වැනි) සම්බන්ධ ව අඛණ්ඩ ව සැලකිලිමත්භාවයෙන් යුතු ව කටයුතු කිරීම ශ්‍රේෂ්ඨ ජිහාදය ලෙස දක්වා ඇත. දෙමව්පියන්ට උවටැන් කිරීම ද ජිහාදයක් බව තවත් වරෙක දක්වා ඇත. හජ් නැමදුම (විශේෂයෙන් ස්තී‍්‍රන් සම්බන්ධ ව) ජිහාදයක් ලෙස දක්වා ඇත. ඉහත නබිවදන්හි මුලාශ‍්‍ර වන්නේ සහීහුල් බුහාරි: 1423, අබූ දාවූද්: 3781, තබරානි: 20821 යන හදීස් යනුවෙන් දැක්වෙන මුහම්මද් තුමාගේ ප‍්‍රකාශිත මෙන් ම එතුමාගේ ක‍්‍රියා හා අනුමත කළ දෑ අඩංගු ග‍්‍රන්ථයන් ය.

එමෙන් ම මුස්ලිම් විද්වතුන් බහුතරයගේ මතයට අනුව එක් අවස්ථාවක ශ්‍රේෂ්ඨ ජිහාදය තම සිතෙහි මතුවන අකුසලයට නැඹුරු වූ හැඟීම් සමග චෛතසික අරගලක යෙදීම බව පවසා ඇත.

අල්-කුර්ආනය මගින් ජිහාදයේ යෙදෙන ලෙස පහත සඳහන් වැකියෙන් අල්ලාහ් උපදෙස් දෙන්නේ ය. ‘එබැවින් (නබිවරයාණනි) නුඹ මෙම ප‍්‍රතික්ෂේප කරන්නන්ට අවනත නොවවු. තව ද එය (අල්-කුර්ආන්) මගින් ප‍්‍රයත්නයන්ගෙන් (ජිහාද්) ශ්‍රේෂ්ඨ ප‍්‍රයත්න ඔවුන් සමග යෙදෙවු.’ (අල්-කුර්ආන් 25:52)

ඉහත නබිවදන් හා අල්-කුර්ආන් වැකිය තුළින් ජිහාද් යන සංකල්පයේ මූලික අදහස අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. අවාසනාවට මාධ්‍ය විසින් ජිහාද් යන වචනයට සමානාර්ථ පදයන් ලෙස ‘ශුද්ධ යුද්ධය’, ‘ධර්ම යුද්ධය’ යනාදිය උපයෝගි කරගෙන ඇත. ශුද්ධ යුද්ධය යන්න ආරාබි බසින් දැක්වෙන්නේ ‘හර්බ් මුකද්දසා’ යනුවෙනි. මෙය හදීස් ග‍්‍රන්ථයන්හි හෝ අල්-කුර්ආනයේ හෝ දක්නට ඇති පදයක් නොවේ.

තමන්ගේ ජීවිත, දහම, වස්තුව හා ගෞරවය යනාදියට තර්ජනයක් එල්ල කරමින් යම් කණ්ඩායමක් සටනට එන්නේ ද ඔවුන් සමඟ සටන් වැදීම ද ජිහාදයක් ලෙස දැක්විය හැකි ය. මෙවැනි තත්ත්වයක දී සටනට පිවිසීම ලොව සියලූ රටවල් අනුමත කරන්නා වූ ක‍්‍රියා මාර්ගයකි. මේ සම්බන්ධයෙන් අල්-කුර්ආනයේ සඳහන් වැකි එහි සන්දර්භයෙන් බැහැර ව අර්ථ දක්වා විකෘත වූ මතයක් ගොඩනගන්නට ජාත්‍යන්තර වශයෙන් විශාල ප‍්‍රයත්නයක් දරනු ලැබේ. ඉස්ලාමය අසිපතින් ව්‍යාප්ත කරන ලද්දක් බවත් ඉස්ලාමීය රාජ්‍යයක් තුළ මුස්ලිම් නොවන ජනයාගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් අසාධාරණ ලෙස කටයුතු කිරීමට එම දහමේ අනුමැතියක් ඇති බවත් දක්වන්නට මෙමගින් වෑයම් කොට ඇත. මෙම මතයන්හි මිථ්‍යාව ඉතා හොඳින් හෙළිදරව් කරමින් බහු ආගමිකත්වය හා නිදහස කොතෙක් දුරට ඉස්ලාමීය ඉගැන්වීම් අනුමත කර ඇත්තේ ද යන්න පහත සඳහන් අල්-කුර්ආන් වාක්‍යයන්ගෙන් පැහැදිලි වනු ඇත.

‘දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමගින් යහමග පැහැදිලි ව ඇත’. (අල්-කුර්ආන් 2 : 256)

‘නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන් ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි) ඔවුන්ට බල කරන්නෙහි ද?’ (අල්-කුර්ආන් 10:99).

‘(නබිවරයාණනි,) නුඹ මෙසේ පවසවු. මනුෂ්‍යයිනි, සැබැවින් ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරකු (එය අනුගමනය කර) යහමග තෝරා ගන්නේ ද එහි යහපත ඔහුට ම ය. යමෙක් නොමග තෝරා ගන්නේ ද එහි අයහපත ඔහුට ම ය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙක් නොවන්නෙමි’ (අල්-කුර්ආන් 10:108).

‘සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරයාණනි,) පවසවු. එහෙයින් කැමැති අයෙක් විශ්වාස කරත්වා, කැමැති අයෙක් ප‍්‍රතික්ෂේප කරත්වා’ (අල්-කුර්ආන් 18:29).

බහු ආගමිකත්වය හා නිදහස අනුමත කරන හා පිළිගන්නා මෙවැනි වැකි බොහොමයක් අල්-කුර්ආනයෙන් හා නබිවදන්වලින් උපුටා දැක්විය හැක. අල්-කුර්ආනයේ සටන් කරන ලෙස අනුමත වැකි ද දක්නට ලැබේ. තමන් උපන් භූමිය වූ මක්කාහ්වේ අවුරුදු 13ක් ඉස්ලාමීය ප‍්‍රචාරයේ යෙදුණු මුහම්මද්තුමාට හා එතුමා ඉදිරිපත් කළ දහම පිළිගත් ජනයාට ඉතා දරුණු වද හිංසාවන්ට මුහුණ පෑමට සිදුවිය. ප‍්‍රතිප‍්‍රහාරයකින් තොරව මේ සියල්ල ඔවුන් ඉවසා දරා ගත්හ. මත්පැන්, ලිංගික අපචාර, සූදුව, අල්ප ආරාවුල් මත ඇති වූ වර්ෂ ගණනකට ඇදී යන ගෝත‍්‍රික ගැටුම්, සමහර පියවරුන් විසින් තම ගැහැනු දරුවන් පණ පිටින් වළලා දැමීම්, අසීමිත බහුස්තී‍්‍ර විවාහ, තම පියා විවාහ වී සිටි ස්ති‍්‍රය පුත‍්‍රයා විසින් විවාහ කර ගැනීම වැනි දරුණු ම්ලේච්ඡ කි‍්‍රයාවල යෙදී සිටි මක්කාහ්වාසී ජනයාගෙන් ස්වල්පයක් හැර බහුතරය විසින් නබිතුමාගේ සදාචාර සම්පන්න ඉගැන්වීම් ප‍්‍රතික්ෂේප කරන ලදි. අවසානයේ නබිතුමාව මරා දැමීමට ඔවුහු කුමන්ත‍්‍රණය කළහ. මෙම තත්ත්වය යටතේ එම නගරය අතහැර යන්නට එතුමාට දෙවිඳුන්ගෙන් අණ ලැබුණු පසු එම නගරයේ තමන්ට අයිති ව තිබූ සියල්ල අත්හැර මදීනාහ් නගරයට දේශාන්තරණය කළහ. ඉන්පසු එතුමාගේ දහම අනුගමනය කළ මක්කාහ්වාසී ජනයාගේ සියලූ වස්තු කොල්ලකෑමෙන් පසු ඔවුහු ද තම නිවෙස්වලින් පළවා හරින ලදහ.

"අපරාධවලට ලක්වූවන්ට (අපරාධ කළවුන්ට එරෙහිව) යුද්ධ කිරීමට අනුමැතිය දෙන ලදි. සැබැවින් ම අල්ලාහ් ඔවුන්ට (විශ්වාසවන්තකයින්ට) උපකාර කිරීමට බලසම්පන්න වන්නේ ය. සතුරන් විසින් මොවුහු (විශ්වාසවන්තකයෝ) අසාධාරණ ලෙස තමන්ගේ නිවෙස්වලින් පළවා හරින ලද්දෝ ය. මොවුන් කළ එක ම වරද ‘අපගේ පරමාධිපති අල්ලාහ් යැ’යි පැවසීම ය” (අල්-කුර්ආන් 22: 39-40).

ආගමික නිදහස අහෝසි කරමින් නිර්මාතෘට නැමදුම් නොකොට නිර්මාණයන්ට නැමදුම් කිරීම වැරදි යැයි පැවසීම එක ම අපරාධය ලෙස සලකා මෙම ජනයා තම නිවෙස්වලින් පළවා හරින ලද අතර ඔවුන්ගේ දේපළ ද කොල්ලකන ලදි. මෙවැනි තත්ත්වයක් තුළ අසාධාරණය හා අයුක්තියට එරෙහි ව කෙරෙන සටනකින් අපේක්ෂා කරන්නේ මිහිතලය මත සාමය, යුක්තිය, නීතිය හා මිනිසත්කම ස්ථාපිත කිරීම හෙයින් එයට සහභාගීවීම ද ජිහාදය ලෙස ඉස්ලාමය අනුමත කරයි. ‘යමෙක් තවෙකකු ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසකු නිකරුණේ මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයා ම මරාදැමීමට සමාන වන්නේ ය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයා ම බේරාගත්තා හා සමාන ය’ (අල්-කුර්ආන් 59 32).

මෙයින් පැහැදිලි වන්නේ නිසි හේතු නොමැතිව මිනිස් ජීවිතයක් ඝාතනය කිරීමට ඉස්ලාමය කොහෙත් ම අනුමත නොකරන බව ය. අපරාධකරුවන් සමග යුද්ධ කිරීමට දෙවිඳුන්ගේ විධානය ලැබුණ ද මුස්ලිම්වරුන් නිරන්තරයෙන් සාමය වෙත යොමු වී සිටිය යුතු බව අල්-කුර්ආනය උගන්වයි.

‘තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමග යුද වැදී සිටින) ආදේශකයන් දුටු තැන කපා දමවු. ඔවුන් සිරභාරයට ගනිවු. ඔවුන් වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනක ම ඔවුන් වෙනුවෙන් සැඟවී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප‍්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන් ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා අතිකරුණාභරිත ය’ (අල්-කුර්ආන් 9:5).

ඉහතින් උපුටා දක්වා ඇත්තේ ඉස්ලාමය යුදවාදීත්වයෙන් යුත් දහමක් ලෙස හුවා දක්වන අල්-කුර්ආන් වැකියයි. නමුත් එම පරිච්ඡේදයේ ම ඊළඟ වැකියෙන් එහි සත්‍ය ස්වරූපය හෙළිදරව් වන්නේ ය.ෙ

‘(අල්ලාහ්ට) සමානයන් තබන්නන්ගෙන් කෙනකු නුඹගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ වදන් ඔහු සවන්දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙන්න. (ඔවුන් එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු. සැබැවින් ම ඔවුහු නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝ ය’ (අල්-කුර්ආන් 9:6).

අල්-කුර්ආනයේ 9 වන පරිච්ෙඡ්දයේ 5 වන වැකිය උපුටා දක්වන ඉස්ලාම් විරෝධීහු එහි 6 වන වැකියෙන් පැහැදිලි කර ඇති කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිති. ‘කපනු කොටනු සිරගත කරනු’ යන විධානයන් ද යුද බිමට අදාළ ආඥාවන් ය. ඕනෑම සටනක දී සම්ප‍්‍රදායානුකූලව නිකුත් කරනු ලබන ආඥාවන් ලෙස මේවා සැලකේ. අන් සටන්වල දී දකින්නට නොලැබෙන සුවිශේෂත්වය නම් සතුරු කඳවුරෙන් තමන් වෙත රැුකවරණය පතා එන සරණාගතයන් සම්බන්ධව ඉතා කාරුණිකව ආරක්ෂාව ලබා දී කටයුතු කරන්නට උපදෙස් දෙන ඉස්ලාමීය ඉගැන්වීමයි. ඉහත 6 වන වැකියෙන් පැහැදිලි කරන්නේ මෙම සත්‍යයයි.

ප‍්‍රචණ්ඩත්වයට හා සමාජ අසාධාරණයට එරෙහි ඉස්ලාමීය අරගලය යුදවාදයක් නොවන බව පහත සඳහන් අල්-කුර්ආන් වැකිවලින් ද පැහැදිලි වේ. මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම සාමයෙන් ජීවත් විය හැකි යුද මුක්ත ලොවක් ඉස්ලාමය අපේක්ෂා කරයි.

‘ඔවුන් සාමදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහි ම විශ්වාසය තබවු. සැබැවින් ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවක ය. සර්ව ඥානී ය’ (අල්-කුර්ආන් 8:61)

සතුරන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් එවිට මුස්ලිම්වරුන් ද එහි ජනයන්ගේ යහපත දකින්නේ නම් සමාදානය වෙත නැඹුරු විය යුතු බව මෙම වැකිය පැහැදිලි කරයි.

යුද්ධයක දී අනුගමනය කළ යුතු චර්යා පිළිබඳව ඉස්ලාමය ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කොට ඇත. මෙය හදීස් මූලාශ‍්‍ර රාශියකින් උපුටාගත් කරුණු හෙයින් එහි සංක්ෂිප්ත අදහස් පහත දැක්වේ.

  1. කිසිවකු ගින්නෙන් පුළුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වද හිංසාවට පත්කිරීම සම්පූර්ණයෙන් ම තහනම් ය.
  2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන්ට පහර නොදිය යුතු ය.
  3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතු ය.
  4. බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවකු මරා නොදැමිය යුතු ය.
  5. ජනවාසයන්ට පහරදීම, මංකොල්ල කෑම, දේපළවලට හානිකිරීම සපුරා තහනම් ය. තමන් සමග සටනට එන්නන් සමග පමණක් සටන් කළ යුතු ය.
  6. තමන් යටතට පත් වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතු ය.
  7. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ අංග ඡේදන කිරීම සපුරා තහනම් ය.
  8. සතුරු මෘතදේහ ඔවුන්ගේ කඳවුරුවලට භාරදිය යුතු ය.
  9. එළඹ ඇති කිසිදු ගිවිසුමක් කඩ නොකළ යුතු ය.
  10. මහල්ලන්, රෝගීන්, ස්තී‍්‍රන්, දරුවන් ආදීන් ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතු ය.
  11. අන්‍යාගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිදු හානියක් සිදු නොකළ යුතු ය.ෙ

ඉහතින් සංක්ෂිප්තව දැක්වූයේ ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳ චර්යා ය.

ජිහාද් නමින් විවිධ රටවල සංවිධාන බිහිවී තිබේ. ඔවුන්ගේ ක‍්‍රියා කලාප මගින් සිවිල් වැසියන්ට ද විශාල හානි සිදුවූ අවස්ථා ඇත. මේ සියල්ල සහමුලින් ම ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි කි‍්‍රයා ලෙස සැලකිය යුතු ය. මෙවන් කටයුතු කළ හැක්කේ ඉස්ලාමීය රාජ්‍යයක හා ආගමික නායකත්වයේ මග පෙන්වීම යටතේ ය.

මුස්ලිම් නොවන රාජ්‍යයක් සමග හෝ ජන කොට්ඨාසයක් සමග යුද තත්ත්වයක් ඇති වුවහොත් එය වළක්වා ගැනීමේ අදහසින් ඉස්ලාමීය රාජ්‍ය විසින් යෝජනා තුනක් සතුරු රාජ්‍යකට හෝ පිරිසකට ඉදිරිපත් කෙරේ. මෙම යෝජනා පහත විස්තර වේ.

1. ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරාධනා කිරීම. 
ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරාධනා කළ හැකි මුත් එසේ කරන ලෙස බලපෑම් කරන්නට අයිතියක් නොමැත. දහම පිළිබඳව බලපෑම් කිරීම අල්-කුර්ආනයේ මූලික ඉගැන්වීම්වලට පටහැනි වූවකි. විශ්වාසයක් පිළිගැන්විය හැක්කේ බලපෑමෙන් නොව ඒත්තු ගැන්වීමෙන් පමණකි. ඉස්ලාමය පිළිගත හොත් යුද තත්ත්වය මගහැර ගොස් සුහදත්වය ඇතිවීමට සුදුසු වාතාවරණයක් නියත වශයෙන් ම ඇති වන්නට ඉඩ සැලසේ.
2. ජිස්යා බදු ගෙවීම. 
දෙවන යෝජනාව වන්නේ සතුරු රාජ්‍යය හෝ පිරිස ඉස්ලාමීය රාජ්‍යයකට බදු ගෙවීමෙන් එහි පූර්ණ රැුකවරණය තමන් වෙත සහතික කර ගැනීමයි. ජිස්යා නමින් වූ මෙම බද්ද මුස්ලිම් නොවන අයට පමණක් බලපාන අතර මුස්ලිම්වරුන්ට නැමදුමක් වශයෙන් පැවරෙන දන්දීම සකාත් නමින් හැඳින්වේ. තව ද රටේ සංවර්ධනය සඳහා මුස්ලිම්වරුන්ට පමණක් අදාළ වූ නොයෙක් බදු ක‍්‍රම ද තිබුණි.
ජිස්යා බද්ද වැඩිහිටි පිරිමින් පමණක් ගෙවිය යුත්තක් වන අතර ස්තී‍්‍රන්, දරුවන් හා දුප්පතුන්ට මෙය වගකීමක් නොවේ. මෙම බද්ද ගෙවීමෙන් ඉස්ලාමීය රජයේ හා එහි හමුදාවන්හි පූර්ණ රැකවරණය ඔවුන්ට ලැබෙන අතර හමුදාවට බැඳීමේ වගකීමක් ද එමගින් ඔවුනට නොවන්නේ ය. ජිස්යා ගෙවන්නන් අතර දුගී බවට පත්වූවෝ සිටිත් නම් ඔවුන්ට යැපීම් දීමනාවක් ගෙවීමට ඉස්ලාමීය භාණ්ඩාගාර-යෙන් කටයුතු කළ යුතුව ඇත. ඔවුන්ගේ දේපළ, ජීවිත, ආගමික ස්ථාන හා පූජකවරුන් ආදිය සඳහා රැුකවරණ ලබාදීම ඉස්ලාමීය රාජ්‍යයේ පූර්ණ වගකීම වන්නේ ය.
3. ගිවිසුමකට එළඹීම. 
සතුරු රාජ්‍යය හෝ පිරිස සාම ගිවිසුමකට එළඹෙන්නේ නම් හෝ එලෙස සාම ගිවිසුමකට එළඹීමෙන් ඔවුන් සමග සාමය පවත්වාගෙන යාම ඉස්ලාමීය රාජ්‍යය එහි යහපතක් ලෙස දකින්නේ නම් හෝ එයට එකඟ වන අතර ජිස්යා බදු ගෙවන්නන් සමග මෙන් බාහිර සතුරු ආක‍්‍රමණයක දී ඔවුනට රැුකවරණය ලබාදීමට වගකීමක් දරන්නේ නැත.

මෙම යෝජනා මගින් ඉස්ලාමීය රාජ්‍යය උත්සාහ කරන්නේ සතුරුකම් හා යුද්ධ වළක්වා සාමකාමී පරිසරයක් ගොඩනගා ගැනීම ය. යුද්ධයක් ඇතිවීමේ තත්ත්වයක් මතුවිය හැක්කේ මේ සියල්ල අසාර්ථක වූ තත්ත්වයක දී පමණි.

තව ද මුස්ලිම් නොවන්නන් සමග කටයුතු කිරීමේ ඉස්ලාමීය ප‍්‍රතිපත්තිය පොදුවේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි වගකීම හා බැඳී ඇති බව අල්-කුර්ආනයේ සඳහන් වේ.

‘(විශ්වාසවන්තයිනි), ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ කි‍්‍රයාවන් කරන ලෙස ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින් ම ඔබට නියම කරන්නේ ය. අවමානයට ලක්වන කි‍්‍රයා, පාප, අපරාධ ආදිය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේ ය. (මේ දැය) ඔබ මතක තබාගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේ ය (අල්-කුර්ආන් 16:90).

‘(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරට ම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයක් තිබුණ ද) ඔබ නීතිය ම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේ ය. (කුමන අවස්ථාව දී වුව ද) ඔබ අල්ලාහ්ටම බියවවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේ ය’ (අල්-කුර්ආන් 5:8).


මුර්ෂිද් මුළෆ්ෆර් මව්ලවි

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිහාද්&oldid=933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි