ජීන්ස්, ශ‍්‍රීමත් ජේම්ස් හොප්වුඞ් (Jeans, Sir James Hopwood) (1877 - 1946)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉංග‍්‍රිසි ජාතික ගණිතඥයෙකි, භෞතික හා තාරකා විද්‍යාඥයෙකි. භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව විෂයයෙහි ගණිතය උපයෝගී කරගැනීමෙන් මොහු ඉටු කළ සේවය විශිෂ්ට කොට සලකනු ලැබේ.

 (ඡායාරූපය)

එංගලන්තයේ ලැන්කැෂයර් ප‍්‍රාන්තයේ සවුත්පෝට් නගරයෙහි උපත ලැබූ මෙතෙමේ මර්චන්ට් ටේලර්ස් විද්‍යාලයේ ද කේ‍්‍රම්බි‍්‍රජ්හි ත‍්‍රිත්ව විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබුවේ ය. 1905 සිට 1909 දක්වා ප‍්‍රින්ස්ට් විශ්වවිද්‍යාලයෙහි ව්‍යවහාරික ගණිතය පිළිබඳ මහාචාර්ය ධුරය ද 1910 සිට 1912 දක්වා කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයක් ද ඉසිලී ය. 1922 දී ඔක්ස්ෆඞ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයකට පත් වූ ජීන්ස් 1923 සිට 1944 දක්වා මවුන්ට් විල්සන් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ පර්යේෂණ සහකාර වශයෙන් කටයුතු කෙළේ ය.

ඇල්බට් අයින්ස්ටයින්ගේ සිද්ධාන්ත අනුව ගිය ජීන්ස්, විකිරණ ක්වොන්ටම් සිද්ධාන්තය, ශක්ති සමභාජනය (Equipartition), සූර්යග‍්‍රහ මණ්ඩලය, වායු පිළිබඳ චාලක සිද්ධාන්තය ආදි විෂයයන්හි කළ පර්යේෂණ විද්‍යාත්මක දැනීමේ දියුණුවට බෙහෙවින් හේතු විය. වායු පිළිබඳ ගතික සිද්ධාන්තය (The Dynamical Theory of Gases -1904) විද්‍යුතය හා චුම්භකත්වය පිළිබඳ ගණිත සිද්ධාන්තය (The Mathematical Theory of Electricity and Magnetism -1908), විශ්ව සම්භවවාදය හා තාරීය ගති විද්‍යාව පිළිබඳ ප‍්‍රශ්න (Problems of Cosmogony and Stellar Dynamics -1919), ගුප්ත විශ්වය (The Mysterious Universe-1930), අප වටා පවත්නා විශ්වය (The Universe around us -1929), භෞතික විද්‍යාව හා දර්ශනය (Physics and Philosophy-1930) මොහු විසින් සම්පාදනය කරන ලද ග‍්‍රන්ථ අතුරෙන් කිහිපයකි. මෙතෙමේ 1928 දී නයිට් නාමයකින් සම්මානිත විය.


ජයන්ත විමලසේන