ජීනී(Genii)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අරාබි හා පර්සියානු මිථ්‍යා කථාවන්හි එන, විශේෂයෙන් ගින්න හා වාතය සම්බන්ධ භූත විශේෂයකි. මෙය හෙරක්ලිටස්-ඇනක්සිමීනික්ස් දෙදෙනාගේ දර්ශන සම්බන්ධ (මිථ්‍යා) විධියක් ලෙස සැලකිය හැකි ය. හෙරක්ලිටස් දාර්ශනිකයා ජගත් විෂයීය මූල ධාතුව ගින්න යයි ද ඇනක්ස්මිතික්ස් දාර්ශනිකයා එය වාතය යැයි ද විශ්වාස කළහ.

මේ භූතයන් හොඳ හා නරක යනුවෙන් දෙකොටසකි. ඇලඩින් තම පහන පිරිමැදි විට ඔහුට උපකාර කළෝ මේ හොඳ භූතයෝ ය. නරක භූතයෝ මනුෂ්‍ය වර්ගයාගේ විපත්තිය පිණිස ම වූහ. මහමදික ආගමෙහි මොවුහු ඉතා වැදගත් භූත විශේෂයක් හැටියට ගැණෙත්.

මේ පෙරදිග භූතයන් හැරුණු කොට රෝම මිථ්‍යා පුරාණ කථාවන්හි ද මෙනමින් ආරක්ෂක භූත කොට්ඨාසයක් වෙයි. පවුලට, නගරයට, රාජ්‍යයට ආදි වශයෙන් අරක්ගත් භූතයන් සිටි අතර සෑම පුද්ගලයකු ම ආරක්ෂා කළ පෞද්ගලික භූතයෙක් ද විය. මොවුන්ගේ ස්තී‍්‍ර පක්ෂය ජූනෝ (බ.) (Juns) නමින් හැඳින්වෙයි. සෑම භූතයකුට ම කැප වූ වෙන වෙන ම උත්සව පැවැත්විණි. එහෙත් මොවුන්ට පොදු වශයෙන් පුද පූජා පවත්වන ලද්දේ ඔක්තෝබර් 8 වන දා ය. ස්ථාන හා සම්බන්ධ භූතයන් ප‍්‍රතිමාවල නිරූපණය වී ඇත්තේ සර්පයන් හැටියට ය. භාජනයක් අතින් ගත් තරුණයන් හැටියට නිරූපිත පෞද්ගලික භූතයන් සමෘද්ධියේ සලකුණක් ලෙස ගැනිණි.

ජීනියස් (එක භූතයකු වශයෙන් සලකන විට) නම් භූතයා ඉහත දී සලකන ලද්දේ ගෘහ දේවතාවකු හැටියට ය. මරණයෙන් පසු ඉතිරිවන දිව්‍යමය ප‍්‍රාණය (Divine Spark) ලෙස ද සැලකිණි. ඉතාලි ජාතිකයෝ මොහු මහ බලවත් භූතයකු යැයි විශ්වාස කළහ. ඊට අනුව මෙතෙමේ මනුෂ්‍යයන් මවා ඔවුන්ගේ ජීවිත පවත්වාගෙන යයි, හැම කෙනකුගේ ම උත්පත්්තියේ දී ආධාර කරයි. ඔවුන්ගේ චරිතයත් ඉරණමත් සදහට ම මොහුට භාර ය.

කෙනකුගේ උපන් දිනය ඔහු හා සම්බන්ධ භූතයාගේ නිවාඩු දිනය මෙන් සලකන ලදි. එදින ඔහු වෙනුවෙන් නොයෙක් සුවඳ විලවුන් හා රස කැවිලි පුදා විනෝද වී ඔහු සතුටු කිරීම ඔහුට කරන ගෞරවයක් බවත් එසේ නොකිරීම අගෞරවයක් බවත් රෝමානුවෝ විශ්වාස කළහ.


ජයන්ත විමලසේන

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීනී(Genii)&oldid=936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි