ජීරණය (Digestion) (මිනිසාගේ)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජීරණය වූ කලි සංකීර්ණ අද්‍රාව්‍ය ආහාර රසායනික හා යාන්ත‍්‍රික ක‍්‍රම යෙදවීමෙන් සරල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කිරීමත් එම ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය කිරීමත්, ජීරණය නොවූ හා පරිසරයට අනවශ්‍ය ද්‍රව්‍ය ශරීරයෙන් පහ කිරීමත් ය. මින් රසායනික ප‍්‍රතික‍්‍රියා සිදුවන්නේ පොදු වශයෙන් ජීරණ පද්ධතියෙන් ස‍්‍රාවය කෙරෙන එන්සයිම මගින් ආහාර ජල විච්ඡේදන කිරීමෙනි. යාන්ත‍්‍රික බිඳ හෙළීම සිදුවන්නේ චාලක (Motor) ක‍්‍රියා හේතුකොට ගෙන ය. මෙම සංකීර්ණ ක‍්‍රියාමාලා සියල්ල ම පාහේ සිදුවන්නේ පුද්ගලයාට නොදැනෙන සේ ය.

ජීරණය සාමාන්‍යයෙන් මුඛයෙන් ආරම්භ වන නමුත්, එහි සිදුවන කි‍්‍රයාවලිය ජීරණය සම්පූර්ණ වීමට අත්‍යවශ්‍ය නොවේ. මුඛයට ඇතුළු කරන ලද ආහාර කැපීමට, විකීමට සහ ඇඹරීමට භාජනය වේ. මෙහිලා මුල්වනුයේ දත්, දිව සහ යටි හනුව ය. ශාඛක (Temporal) පේෂක (Masseter) අභ්‍යන්තර ගරුකාභය (Petgoid) චලනය වීමෙන් මෙය සිදු වේ. මෙම යාන්ත‍්‍රික ක‍්‍රියා සිය කැමැත්තෙන් කළ හැකි නමුත්, බොහෝ දුරට සිදුවන්නේ ප‍්‍රතීක ක‍්‍රියා (Reflex action) වශයෙනි. මේ සමග ම ඛේට ග‍්‍රන්ථි යුගල තුනෙන් ස‍්‍රාවය වන කෙළ සමග ආහාර කැබලි හො`දාකාර ව මිශ‍්‍ර වේ. කෙළවල අඩංගු ශ්ලේෂ්ම ආහාර කැබලි ස්නේහනය කෙරේ. එහි ඇත්තා වූ ඇමයිලේස් එන්සයිම පිෂ්ට ජීර්ණය ආරම්භ කරයි. කාල සීමාව අනුව පිෂ්ටය ඩයිසැකරයිඩයන් වන මෝල්ටෝස් හා මොනොසැකරයිඩයක් වන ග්ලූකෝස් බවට පත්වේ. අවසානයේ දී කෙල සමග බදාමය වීමෙනුත් දිව සහ දැඩි තල්ල අතරෙහි ඇඹරීමෙනුත් ආහාර කැබලි ගුලියක් බවට පත්වේ. ඉන්පසුව එම ගුලිය ගිලිනු ලැබේ.

ගිලීමේ පියවර තුනකි. මුඛයෙහි ආරම්භ වන පළමුවන පියවර සිදුවනුයේ ඉච්ඡානුගතව ය. ඉන්පසුව සිදුවන පියවර දෙක හටගන්නේ ග‍්‍රසනිකාවෙහි සහ අන්නස්‍රෝතයෙහි ය. එම පියවර දෙක ම සිදුවන්නේ ප‍්‍රතීක ක‍්‍රියා වශයෙනි.

ගිලීම ආරම්භ වන්නේ ක්ෂෝදවයියාග (Mylohgoid) සහ ස්ථූන-ජිහ්වා (Styloglossus) පේෂි ඉච්ඡානුගතව සංකෝචනය වීමෙනි. මේ සමග ම මුඛය වැසේ. දිව දැඩි තල්ල වෙතට එසවේ. ආහාර ගුලිය ප‍්‍රබල තෙරපීමකට භාජන වන බැවින් ගිලාව (Fauces) අතරින් එය ග‍්‍රසනිකාවට තල්ලූ වේ.

ඉතා ශීඝ‍්‍රයෙන් සිදුවන්නේ ගිලීමේ දෙවන පියවර ය. එය ආරම්භ වූ පසු, එම කොටසෙහි සිදුවන සෙසු ක‍්‍රියා සියල්ලට වඩා මෙය ප‍්‍රමුඛස්ථානයක් ගන්නා බැවින් මෙම පියවර අවසාන වන තෙක්, කථා කිරීම සහ හුස්ම ගැනීම තාවකාලිකව නවතී. මෙවිට නාස් කුහරය තුළට ආහාර ඇතුළු නොවන සේ මෘදු තල්ල ඉහළට එසවේ. කණ්ඨිකාව (Hyoid) එසවීමත් සමග, ස්වරාලය ද ඉහළට එසවේ. ආහාර ගුලිය ස්වරාලය තුළට ඇතුළු නොවීමේ උපක‍්‍රමය ලෙස අපිජිහ්විකාව (Peristalsis) වැසෙයි. උඩු ග‍්‍රසනිකාවෙහි සංකෝචිත පේශි සංකෝචනය වීමෙන් ග‍්‍රසනිකාවෙහි ක‍්‍රමාකුංචනය (Peristalsis) ආරම්භ වේ. ආහාර ගුලිය අන්නස්‍රෝතයට තල්ලූ වන්නේ, ග‍්‍ර‍්‍රසනිකාවෙහි ආරම්භ වූ ක‍්‍රමාකුංචනය නොකැඞී පැවතීමෙන් ඇතිවන ප‍්‍රාථමික අන්නස්‍රෝතීය ක‍්‍රමාකුංචන සංකෝචනය හේතුකොට ගෙන ය. මෙහිලා උඩු අන්නස්‍රෝත චක‍්‍රපිදානය ද ලිහිල් විය යුතු ය. චක‍්‍රපිධානය විවෘත වන්නේ ගිලීමේ මුල් පියවර ආරම්භ වී ත. 2ක් හෝ 3ක් පමණ පසුවීමෙනි. එය විවෘත ව තිබෙන්නේ ගිලීමේ මුල් පියවර ආරම්භ වී ත. 2ක් හෝ 3ක් පමණ පසුවීමෙනි. එය විවෘත ව තිබෙන්නේ ත. 1 සිට 5 පමණ දක්වා වන කෙටි කාලයකට ය.

අන්නස්‍රෝතයෙහි සිදුවන ගිලීමේ තුන්වන පියවර සම්පූර්ණ වීමට ගන්නේ ත. 10ක පමණ සුළු කාලයකි. එය තුළින් ආහාර පරිවහණය වන්නේ එහි ඇත්තා වූ අන්වායාම සහ වටකුරු පේශි චලනය වීමෙනි. පරිවහනයේ දී ආහාර ගුලියට ඉදිරි කෙළවරින් ඇති පේශි ලිහිල් වීමෙන් එම කොටස මහත් වේ. ගුලියට පසු කෙළවරින් ඇති පේශි සංකෝචනය වීමෙන් එම කොටස පටු වේ. එබැවින් කුඩා වන පිටුපස කෙළවරේ සිට ලිහිලි වූ ඉදිරි කෙළවරට ගුලිය තල්ලූ වේ. ආහාර ගුලිය අන්්නස්‍රෝතයෙහි පතුළට පරිවහනය වන්නේ මෙම ක‍්‍රියාවන් දිගින් දිගට ම සිදු වීමෙනි. තව ද එක ආහාර ගුලියක් අන්නස්‍රෝතයෙහි පතුලට බසින තෙක් බලා නොසිට ආහාර ගුලි කිහිපයක් එක පිට ගිලිය හැකි ය. තරංග කීපයක් ම එක විට ම හටගත හැකි බැවින් මෙය සිදු කළ හැකි ය.

ජීරණය පිළිබඳ විශේෂ එන්සයිම අන්නස්‍රෝත බිත්තියෙන් ස‍්‍රාවය නොවේ. ඉන් ස‍්‍රාවය වනුයේ ආහාර ගුලිය ස්නේහනය කිරීමට අවශ්‍ය ශ්ලේෂ්මල පමණි. එනමුත් මුඛයෙහි ආරම්භ වූ රසායනික ක‍්‍රියාමාලාව අන්නස්‍රෝතය තුළ දී සිදු වේ.

ඇල වී සිටීමේ දී හෝ හිස පහතට නවා සිටීමේ දී හෝ අන්නස්‍රෝතය තුළින් ආහාර පරිවහනය වන බැවින් පරිවහනයට හේතුව ගුරුත්ව බලය නොවේ. පුද්ගලයා සිටින ඉරියව්වෙහි බලපෑමක් ඇත්තේ දියරයක් බීමේ දී පමණි. ඍජු ඉරියව්වෙන් යමක් බීමේ දී එය එක විට ම අන්නස්‍රෝතයෙහි පතුලට වැටේ. දියරය එතැන් සිට ආමාශයට ඇතුළුවන්නේ, එම දියරය ගිලීම පිණිස පැන නැගෙන ක‍්‍රමාකුංචන තරංග පතුලට පැමිණීමත් සමග ය. ඇල වී හෝ හිස පහතට නවා සිටීමේ දී හෝ දියරයක් ගත් කල්හි එම දියරය පරිවහනය වන්නේ, ඝන ද්‍රව්‍ය ගමන් ගන්නාක් සේ ය.

ආමාශය තුළට ආහාර ගුලි ඇතුළුවන්නේ යටි අන්නස්‍රෝත චක‍්‍රපිධානය සහ ආමාශයෙහි ඇත්තා වූ හෘදාසාන්න චක‍්‍රපිධානය විවෘත වීමෙනි. මෙහිලා අභ්‍යන්තර පීඩනය නොවෙනස්වන සේ, ආමාශ කුහරය එක සමාන ප‍්‍රමාණයකට පළල් වේ. ක්ලාන්තය වීම, කරකැවිල්ල, ඔක්කාරය, ආහාර විෂ වීම ආදිය මතු වූ අවස්ථාවල දී චක‍්‍රපිධාන විවෘත වී ආහාර උගුරට එ්මට හෝ වමනය යෑමට හෝ ඉඩ තිබේ.

ආහාර ආමාශය තුළ කෙටි කාලයකට රඳවා ගැනීමත් ආන්ත‍්‍රිකයට එම ආහාර පරිවහනය වීම පාලනය කිරීමත් ආහාර කැබලිවල ක්ෂේත‍්‍රඵලය වැඩි කිරීමත් ආහාර ආම්ලික මාධ්‍යයකට පත් කිරීමත් ප්‍රෝටීන ආහාරවල ජීරණය ආරම්භ කිරීමත් ආමාශයෙන් සිදුවන ප‍්‍රධාන කෘත්‍ය සමහරකි.

ආහාර ආමාශය තුළට ඇතුළුවීමේ දී එය තැන්පත් වන්නේ සකේන්ද්‍රික ((Concentric) ස්තර වශයෙනි. ජීරණය ආරම්භ වන්නේ බාහිර හෙවත් ආමාශ ශ්ලේෂ්මලයට ආසන්න ව පිහිටා ඇති ස්තරයෙහි ය. රසායනික ප‍්‍රතික‍්‍රියා සිදු වීමෙන් එම ස්තරය ක‍්‍රමයෙන් ගහ්වරය (Antrum) වෙතට තල්්ලූ වේ. බාහිර ස්තරයට ආසන්න ව පිහිටා තිබූ ස්තරය එවිට බාහිර ස්තරය වශයෙන් පෙනී සිටී. ආමාශය සම්පූර්ණයෙන් හිස් වන තෙක් මෙම ක‍්‍රියාමාලාව නැවත නැවත සිදුවේ.

ආමාශයෙහි ක‍්‍රමාකුංචන තරංග ඇති වන්නේ ප‍්‍රධාන වශයෙන් ආහාර කුඩා කැබලිවලට ඇඹරීමෙන් එහි ක්ෂේත‍්‍රඵලය වැඩි කිරීම පිණිස ය. එනමුත් ආහාර නොතිබෙන අවස්ථාවක දී පවා බිත්ති සංකෝචනය වේ. එම සංකෝචන කුසගිනි සංකෝචන යැයි නම් වේ. එහෙත් ආමාශය තුළට ආහාර ඇතුළු වූ මොහොතෙහි ම එම සංකෝචන නැවතේ. ඉන්පසුව ඇති වන ක‍්‍රමාකුංචන තරංග ත‍්‍රිවිධාකාර ය. මින් දෙවර්ගයක් ආරම්භ වන්නේ ආමාශයෙහි ඉහළ කොටසෙහි ය. දෙවර්ගය ම එතැන් සිට ආමාශය හරහා ආලාර (Pyloric) පෙදෙසට විහිදේ. මින් එක් වර්ගයකින් ආමාශ බිත්තිය මඳ වශයෙන් සංකෝචනය වන අතර දෙවන වර්ගය හේතු කොට ගෙන බිත්තිය අතිශයින් කඩතොළු (Indentend) වේ. ආමාශය හිස් කිරීම පිණිස හටගන්නා පොම්ප ක‍්‍රමයෙහි මුල වනුයේ දෙවන වර්ගයෙහි සංකෝචන ය. තුන් වන සංකෝචන තරංග, තානය (Tonus) සංකෝචනය යැයි නම් වේ. එක් වතාවකට ආහාර කුඩා හෝ විශාල ප‍්‍රමාණයකට ආමාශයට තුළට ඇතුළු වීමට ඉඩ සැලසෙන්නේ මෙවැනි තානය සංකෝචන ඇති වීමෙනි. ආමාශය තුළ එක මිනිත්තුවකට සංකෝචන තරංග තුනක් හට ගන්නා අතර, එක සංකෝචනයකට ආමාශය හරහා යාමට ගතවන්නේ මිනිත්තුවක් පමණ කාලයකි. මිනිසාගේ ආමාශයික (Gastric) ක‍්‍රියාවන්හි මූලික රිද්මය මිනිත්තුවකට සංකෝචන තුනක් යැයි පිළිගෙන ඇත.

ආමාශය හිස් ව පවතින අවස්ථාවල දී දියරයක් පමණක් ඇතුළු වූ විට එය ආමාශයෙහි ජීරණය නොවේ. එය ආන්ත‍්‍රිකයට පරිවහනය වේ. ආමාශයෙහි ජීරණය වන්නේ ඝන ද්‍රව්‍ය පමණි. ආහාර ආමාශයට ඇතුළුවීමෙන් පමණක් නොව, ආහාර දෙස බැලීමෙන්, සුවඳ දැනීමෙන්, ඒ පිළිබඳ කථා කිරීමෙන්, කල්පනා කිරීමෙන් හෝ විද්‍යුත් ධාරාවකින් උත්තේජනය වීමෙන් ආමාශ යුෂය කුහරය තුළට ස‍්‍රාවය වේ. මෙම අවස්ථාවන්හි දී යුෂය ස‍්‍රාවය වන්නේ ප‍්‍රතීක ක‍්‍රියාවක් වශයෙනි. මෙහිලා උත්තේජ ලැබෙන්නේ 10 වන සංචාරක (Vagus) කපාල ස්නායුවෙනි. ආහාර ආමාශයට ඇතුළුවීමෙන් යුෂ ස‍්‍රාවය පිණිස ලැබෙන උත්තේජ දෙයාකාර ය. මින් යාන්ත‍්‍රික උත්තේජ වනුයේ ආහාර ඇතුළුවීමත් සමග පේශි සංකෝචනය ආරම්භ වීමයි. දෙවන හෙවත් රසායනික උත්තේජනය වනුයේ ගැස්ටි‍්‍රක් හෝමෝනය ස‍්‍රාවය වීමයි.

ආමාශයික ශ්ලේෂ්මලයෙහි පිහිටා ඇති ග‍්‍රන්ථිවලින් දිනකට ආමාශයික යුෂ මිලී. 1,200 සිට 1,500 පමණ දක්වා ස‍්‍රාවය වේ. ජලය, හයිඩ්‍රොලික් අම්ලය, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් පොස්පේට්, බයිකාබනේට් හා බයිසල්ෆේට් වැනි අකාබනික ලවණ, ශලේෂ්මල, එන්සයිම හා නිසග සාධකය (Intrisnsic factor of castle) (විටමින් බ.) මෙහි ප‍්‍රධාන සංයෝග වේ.

ආමාශයික ග‍්‍රන්ථිවල ඇති පාර්ශ්වික (Parietal) සෛලවලින් ප‍්‍රධාන වශයෙන් ස‍්‍රාවය වනුයේ සමක 0.1ක සාන්ද්‍රණයක් ඇති හයිඩ්‍රොලික් අම්ලයයි. ආමාශ කුහරයට එය ස‍්‍රාවය වනුයේ කුඩා නාළිකා තුළිනි. ඉතා වැදගත් වන පෙප්සිනෝජන් එන්සයිමය ස‍්‍රාවය වනුයේ එම ග‍්‍රන්ථිවල සයිමොජන් සෛලවලිනි. ආමාශයික ලයිපේස්, ලයිසොසයිම් (Lysozyme), යුරියේස් (Urease) හා කාබොනික් ඇන්හයිඞ්රේස් (Carbonic anhydrase) මීට අමතරව ස‍්‍රාවය වන එන්සයිම සමහරකි.

ආමාශයික ශ්ලේෂ්මල දෙවර්ගයකි. මින් එක් වර්ගයක් සුදු පාටට හුරු යත උකු යත ලාටු වැනි ය. දෙවැන්න නිර්වර්ණ යත ද්‍රාව්‍ය ය. ආමාශ පටකවලට අවශ්‍ය රසායනික ආරක්ෂාව සලස්වන්නේ දෙවන වර්ගයෙහි ශ්ලේෂ්මල ය. එය බිත්තියට ආසන්න ව මිලිමීටරයක් පමණ ඝන වූ ස්තරයක් සේ පිහිටා තිබේ.

මුඛ ජීරණය සිදු වන්නේ සුළු වශයෙන් භාෂ්මිකයක ය. ආහාර ආමාශයට පැමිණීමෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග මිශ‍්‍ර වී, එහි මාධ්‍යය ආම්ලික වන තෙක් මුඛයෙහි ආරම්භ වූ ජීරණය එසේ ම සිදු වේ. ප්‍රෝටීන ජීරණය පිළිබඳ ආමාශයෙන් ස‍්‍රාවය වන ප‍්‍රධාන එන්සයිමය පෙප්සිනෝජන් ය. මීට අමතරව කැතේසින් (Cathepsin) හා ගැස්ටි‍්‍රසින් (Gastrisin) එන්සයිම ද ස‍්‍රාවය කෙරේ. පෙප්සිනෝජන් පවතින්නේ අක‍්‍රිය තත්වයක ය. හයිඩ්‍රොක්ලොරික් අම්ලය සමග ප‍්‍රතික‍්‍රියා වීමෙන් එය සක‍්‍රිය පෙප්සින බවට පත් වේ. පෙප්සින්හි PH අගය 1.5 සිට 3.5 පමණ වන අතර කැතේසින් හා ගැස්ටි‍්‍රසීන්වල PH අගය පිළිවෙළින් 4.0 හා 3.0 ය. සංකීර්ණ ප්‍රෝටීන අනුසරල ප්‍රෝටියෝස් (Proteose) හා පෙප්ට්‍රොන් අණුවලට ජල විච්ඡේදනය වන්නේ මෙම එන්සයිම සමග ප‍්‍රතික‍්‍රියා වීමෙනි. ඇමයිනෝ අම්ල හෝ පොලිපොප්ටයිඞ් තත්ත්වයට ප්‍රෝටීන් බිඳ හෙළෙන්නේ කලාතුරකිනි.

ආමාශය තුළ මේද ජීරණය වන්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි. කාබෝහයිඞ්රේට් ජීරණය ආමාශයෙහි සිදු නොවේ. එනමුත් මුඛයෙහි ආරම්භ වූ එම ජීරණය ආමාශයෙහි මාධ්‍ය ආම්ලික වන තෙක්, කෙටි කාලයකට පැවැතේ. ආමාශය තුළ කිරි කැටි ගැසේ. මෙහිලා අවශ්‍ය ආම්ලිකතාව හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ලැබේ.

ආමාශයෙහි ජීරණ ක‍්‍රියාවලීන් සම්පූර්ණ වීමත් සමග ආහාර අර්ධතරලීය ස්වභාවයට පත්වේ. මෙය හැඳින්වෙන්නේ ආමලසය (Chyme) යනුවෙනි. ජීරණය සම්පූර්ණ වීමට සාමාන්‍යයෙන් ගත වන්නේ පැය තුනේ සිට හතරක පමණ කාලයකි. ආහාර කැබලිවල ඝනත්වය සහ රසායනික ස්වභාවය අනුව, මේ කාලසීමාව වෙනස් වේ. ඝන ආහාර අතරින් කාබෝහයිඞ්රේට් වැඩියෙන් ඇති ආහාර සුළු කාලයක් ද ප්‍රෝටීන් වැඩියෙන් ඇති ආහාර වැඩි කාලයක් ද මේද වැඩියෙන් ඇති ආහාර ඊටත් වැඩි කාලයක් ද ආමාශයෙහි රැඳේ. එය කෙළින් ම ආන්ත‍්‍රිකයට පරිවහනය වේ.

ආමාශ පටක තුළින් සිදුවන අවශෝෂණය සීමාසහිත ය. ග්ලූකෝස් හා සමාන සරල සීනි, ඇමයිනෝ අම්ල සහ ජලය ඉතා සුළුවෙන් අවශෝෂණය වන අතර, මධ්‍යසාරය සහ ඇස්ප‍්‍රින් පහසුවෙන් අවශෝෂණය වේ.

ආමාශයෙහි සිට කුඩා අන්ත‍්‍රයෙහි පූර්ව කොටස වන ග‍්‍රහණියට ආමලසය පරිවහනය වනුයේ ආලාර චක‍්‍රපිධානය විවෘත වීමෙනි. ආමලසය ග‍්‍රහණියට ඇතුළු වන්නේ වරකට ටික බැගිනි. කලබල වූ අවස්ථාවල දී ජීරණය සම්පූර්ණ වන්නට පෙර ආමාශය හිස් විය හැකි අතර, එම හිස් වීම භය වූ අවස්ථාවල දී ප‍්‍රමාද වේ.

කුඩා අන්ත‍්‍රය තුළ දී ආමලසය යාන්ත‍්‍රික හා රසායනික ජීරණයට භාජනය වේ. රසායනික ජීරණයේ ඉතා වැදගත් අවස්ථා සියල්ල ම සම්පූර්ණ වනුයේ කුඩා අන්ත‍්‍රයෙහි ය. මීට සමාන වැදගත්කමක් ඇති අවශෝෂණ ක‍්‍රියා ද ප‍්‍රධාන වශයෙන් සිදුවන්නේ ආන්ත‍්‍රික පටක තුළිනි.

ජීරණය සම්බන්ධ ක‍්‍රමාකුංචන චලනය හැර සඛණ්ඩ (Segmenting) සහ සිනිඳු පේශි චලනය ද කුඩා අන්ත‍්‍රයෙහි සිදු වේ. මින් ප‍්‍රමුඛ වන්නේ සඛණ්ඩ චලනය ය. මෙම චලනය හට ගන්නේ ප‍්‍රධාන වශයෙන් වටකුරු පේශී චලනය වීමෙනි. මෙවිට ආන්ත‍්‍රික බිත්තියෙහි කෙටි ප‍්‍රමාණයක් එක් වරකට සංකෝචනය වන බැවින් ආන්ත‍්‍රිකය කුඩා ඛණ්ඩවලට තාවකාලිකව බෙදේ. ඛණ්ඩයක දිග ප‍්‍රමාණය සෙමී. එකක් හෝ දෙකක් පමණ විය හැකි ය. ආරම්භයේ දී වේගවත් ලෙස සිදුවන නමුත් චලන ආන්ත‍්‍රිකයෙහි ඉහළ සිට පහතට ගමන් කිරීමේ දී එහි වේගය ක‍්‍රමයෙන් අඩු වේ. මෙසේ ග‍්‍රහණියේ දී මිනිත්තුවකට සංකෝචන 11ක් පමණ ඇති වන අතර, ශේෂාන්ත‍්‍රකයට (Ileum) එය පැමිණීමේ දී මිනිත්තුවකට ඇති වන්නේ සංකෝචන 8ක් පමණ ය. සඛණ්ඩ චලනය ඇති වීමෙන් ආමලසය යුෂ සමග හොඳාකාරව මිශ‍්‍රණය වන අතර, ජීරණය හා අවශෝෂණය පහසුවෙන් සිදුවීමට එය ආධාර වේ.

සිනිඳු පේශි නිතැතින් ම (Spontaneously) පමණක් නොව, රිද්මයානුකූල සංකෝචන වීමෙන් හට ගන්නා පීඩන අනුක‍්‍රම (Pressure) හේතු කොට ගෙන ආමලසය ක‍්‍රමයෙන් පහතට තල්ලූ වේ. එනමුත් කුඩා අන්ත‍්‍රය තුළින් ආහාර ප‍්‍රධාන වශයෙන් පරිවහනය වන්නේ ක‍්‍රමාකුංචන තරංග ඇති වීමෙනි. තරංග සාමාන්‍යයෙන් ක්ෂුද්‍රාන්ත‍්‍රයෙහි අඟල් ස්වල්පයකට හෝ අඩි කිහිපයකට සීමිත ය. ඇතැම් විට තරංග කුඩා ආන්ත‍්‍රයෙහි සම්පූර්ණ දිග ප‍්‍රමාණය හරහා එකවිට ම පැතිරී යා හැකි ය.

රසායනික ජීරණය සිදුවීමට අවශ්‍ය යුෂ ස‍්‍රාවය වනුයේ සෙක‍්‍රිටින් (Secretin) හෝමෝනය විසින් උත්තේජනය කිරීමත් සමග ය. එවිට, කුඩා ආන්ත‍්‍රයෙන් ආන්ත‍්‍රික යුෂ ද (Succus enteritis) අග්න්‍යාශයෙන් (බ.) අග්න්‍යාශයික යුෂ ද අක්මාවෙන් (බ.) පිත ද ස‍්‍රාවය වේ. පිත ස‍්‍රාවය වීමේ දී කෝලිසිස්ටෝකින් (Cholecystokinin) හෝමෝනයෙන් ද උත්තේජනය වේ.

පිත කොළ පාටට හුරු ක්ෂාරීය තරලයකි. එහි PH අගය 8.0 සිට 8.6 පමණ වේ. පිත එන්සයිමවලින් තොර ය. ආමලසය ක්ෂාරීය තත්ත්වයට පත් කිරීමත් එහි ඇති ජල ප‍්‍රමාණය වැඩි කිරීමත් පිත මගින් සිදුවන ප‍්‍රධාන කාර්යයන් දෙකකි. පිතෙහි සංඝටක අතරින් ජීරණයේ දී එකතුවනුයේ පිත්ත ලවණ පමණි. මේද තෛලෝදකරණයේ දී ද මේද අවශෝෂණය කිරීමෙහි ලා පහසුකම් සැලැස්වීමෙහි දී ද අග්න්‍යාශ ලයිපේස් සක‍්‍රිය කිරීමේ දී ද පිත්ත ලවණ ආධාර වේ.

දිනකට ස‍්‍රාවය වන අග්න්‍යාශයික යුෂ ප‍්‍රමාණය මිලී. 500 සිට 1,000ක් පමණ වේ. එම යුෂය නිර්වර්ණ යත නිර්ගන්ධ ය. එහි PH අගය 8 සිට 8.3 පමණ ය. ඇමයිලේස්, ලයිපේස්, ටි‍්‍රප්සින්, කයිමොටි‍්‍රප්සින් (Chymotrypsin) යනාදිය අග්න්‍යාශයික යුෂයෙහි ඇති ප‍්‍රධාන එන්සයිම හතරකි. කාබොක්සිපෙප්ටිඬේස් (Carboxypeptidase), රයිබොනියුක්ලියෙස් (Colliginase) මීට අමතර ව ස‍්‍රාවය වන එන්සයිම හතරකි. ජලය හා සෝඩියම් බයිකාබනේට් පමණක් නොව, කැල්සියම්, මැග්නීසියම්, සින්ක්, පොටෑසියම්, ක්ලෝරයිඞ්, පොස්පේට් හා සල්පේට් සුළු වශයෙන් ස‍්‍රාවය වේ.

ආන්ත‍්‍රික යුෂ ස‍්‍රාවය වනුයේ කුඩා අන්ත‍්‍රයෙහි පිහිටා ඇති බ්රුනර් ග‍්‍රන්ථි (Brunners glands) හා ලීබර්කුන් ලෙන් (Crypts of Leberkuhn) වලිනි. මින් බ්රුනර් ග‍්‍රන්ථිවලින් ශ්ලේෂ්මල වැඩියෙන් ශ‍්‍රාවය වේ. ඇමයිලේස්, මෝල්ටේස්, යුක්රේස්, ලැක්ටේස්, එන්ටරොකිනෙස් (Enterokinase), පෙප්ටිඬේස්, නිව්ක්ලියෝප්ටිඬේස් (Nucleopeptidase) හා නිව්ක්ලියෝසයිටේස් (Nucleocytase) ලීබර්කුන් ලෙන්වලින් ස‍්‍රාවය වන එන්සයිම සමහරකි. ජලය හා අකාබනික ලවණ ද මීට අමතරව ආන්ත‍්‍රික යුෂයෙහි තිබේ.

ආමලසය මෙම යුෂ තුන් වර්ගය සමග ප‍්‍රතික‍්‍රියා වීමෙන් කාබොහයිඞ්රේට්, ප්‍රෝටීන් හා මේද ජීරණය කුඩා අන්ත‍්‍රයෙහි දී සම්පූර්ණ වේ. ආමාශයට ඇතුළු වූ ප්‍රෝටීන් ප‍්‍රමාණයෙන් 10% සිට 15%ක් පමණ ජීරණය වන අතර, ඉතිරි කොටසෙහි ජීරණය කුඩා අන්ත‍්‍රයේ දී සම්පූර්ණ වේ. ටි‍්‍රප්සින්, කයිමොටි‍්‍රප්සින්, ප්‍රෝටියේස්, පෙප්ටිඬේස් ආදි එන්සයිම මගින් සංකීර්ණ ප්‍රෝටීන සරල ඇමයිනො අම්ල අණුවලට ජලවිච්ඡේදනය කෙරේ (Hycholysed).

පිෂ්ටය හා ඊට සමාන පොලිසැකරයිඞ් අණු මෝල්ටෝස් වැනි ඩයිසැකරයිඩ බවටත්, ග්ලූකෝස් වැනි මොනොසැකරයිඩ බවටත් බිඳ හෙළා දැමීමෙහි ලා ඇමයිලේස්, සුක්රේස්, මෝල්ටේස්, ලැක්ටේස් ආදි එන්සයිම ආධාර වේ.

මේද ජීරණය සිදුවන්නේ කුඩා අන්ත‍්‍රිකයෙහි පමණ ය. ලයිපේස් එන්සයිමය මගින් මේද අණු, සරල මේද අම්ල වන ඩයි හා මොනොග්ලිසරයිඞ් හා ග්ලිසරෝල් බවට පත් කෙරේ.

ජීරණය වූ ආහාර වැඩි ප‍්‍රමාණයක් අවශෝෂණය වන්නේ කුඩා අන්ත‍්‍රයෙහි ඉහළ කොටසෙහි අංගුලිකා (ජීරණ පද්ධතිය බ.) හරහා ය. විසරණය, තෙරපීම, ආස‍්‍රැතිය හා සක‍්‍රිය පරිවහනය යන විවිධ ක‍්‍රමවලින් අවශෝෂණය සිදු වේ.

ජලය, ලවණ සහ ඛනිජ ඉතා පහසුවෙන් සම්පූර්ණ ආන්ත‍්‍රික බිත්තියෙන් අවශෝෂණය වේ. එහෙත් ග්ලූකෝස්, ෆ්රුක්ටෝස් හා ගැලැක්ටෝස් වැඩි වශයෙන් අවශෝෂණය වනුයේ කුඩා ආන්ත‍්‍රයෙහි ඉහළ කොටස්වල ය. ඇමයිනෝ අම්ල අවශෝෂණය සක‍්‍රිය ක‍්‍රියාවලියකි. මේ සියල්ල ම අවශෝෂණය වනුයේ, අංගුලිකාවල ඇති කේෂනාලිකාවලට ය. කේෂනාලිකා යාකෘතික ප‍්‍රතිහාර ශිරාව හා සම්බන්ධ වේ. එබැවින් මෙම අණු පරිවහනය වනුයේ අක්මාවට ය. සරල මේද අණු රුධිරයට එකතුවන්නේ රුධිර කේශනාලිකා හරහා නොව, වසාවාහිනී තුළිනි.

කුඩා අන්ත‍්‍රය තුළ ජීරණ හා අවශෝෂණ ක‍්‍රියාමාලාව සම්පූර්ණ වන්නේ පැය හයකින් පමණ ය. ජීරණය වූ ආහාර අවශෝෂණය වීමත් සමග සෙලියුලෝස් වැනි ජීරණය නොවන කොටස්, ඓන්ද්‍රිය ද්‍රව්‍ය, ශ්ලේෂ්මල ස‍්‍රාවයන් ආදිය ආමලසයෙහි ඉතිරි වේ. ලූඨති-උණ්ඩුක කපාටය විවෘත වීමෙන් එකී ආමලසය මහාන්ත‍්‍රයට ක‍්‍රම ක‍්‍රමයෙන් ඇතුළු වේ.

දිනකට මහාන්ත‍්‍රයට ආමලස මිලී. 500ක් පමණ ඇතුළු වන අතර, අවශෝෂණය අවසානයේ දී ඉන් ඉතිරි වන මල ප‍්‍රමාණය මිලී. 150ක් පමණ ය.

මහාන්ත‍්‍රයෙහි ප‍්‍රධාන කාර්යයක් වනුයේ ජලය, සෝඩියම් හා ක්ලෝරයිඞ් අණු අවශෝෂණය කිරීමත් මල ද්‍රව්‍ය පහ කිරීමට සුදුසු තත්ත්වයට පැමිණෙන තෙක් එහි ගබඩා කිරීමත් ය.

මහාන්ත‍්‍රය තුළින් ආමලසය පරිවහනය වනුයේ එම ද්‍රව්‍ය කුඩා අන්ත‍්‍රය තුළින් පරිවහනය වන වේගයට වඩා අඩු වේගයකිනි. ඛණ්ඩ චලනය හා පූර්ණ චලනය (Mass movement) යනුවෙන් චලන ක‍්‍රම දෙකකි. මෙසේ ඛණ්ඩ චලනයේ දී පුරීතන ඛණ්ඩයක මිනිත්තුවක ඇති වන්නේ සංකෝචන දෙකක් පමණ ය. ඛණ්ඩ සංකෝචනය වීමෙන් සෑදෙන ස්පෝතකනයන් (Sacculations) බෝනු (Haustra) යනුවෙන් හැඳින්වේ. පුරීතනය මෙසේ සංකෝචනය වීමෙන් ආහාර මිශ‍්‍ර වන බැවින්, අවශෝෂණයට අවශ්‍ය පහසුකම් සැලසේ. දිනකට පුරීතනය හරහා ජල ලීටර් දෙකක් හෝ තුනක් අවශෝෂණය වේ.

මහාන්ත‍්‍රයෙහි සත්‍ය ජීරණය සිදු නොවේ. එහි බහුල ව වැඩෙන යීස්ට්, දිලීර, බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීහු ආමලසය පහ කිරීමට සුදුසු තත්ත්වයට බිඳ හෙලති. මීට අමතරව මහාන්ත‍්‍රයෙන් ශ්ලේෂ්මල, පොටෑසියම් හා බයිකාබනේට් අණු ආමලසයට එකතු වේ. එය සහාහිසාර වේ. අර්ධ ඝන තත්ත්වයට පත් වේ. අවසානයේ දී ඉතිරිවන ජල ප‍්‍රමාණය 65%ක් පමණ වන අතර, ඝන ද්‍රව්‍ය ඉතිරි වන්නේ 35%ක් පමණ ය.

මහාන්ත‍්‍රය දිගේ ද්‍රව්‍ය පරිවහනය වන්නේ පූර්ණ චලනය යන විශේෂ චලන ඇති වීමෙනි. එම චලන ඇති වීමෙන් ද්‍රව්‍ය ආරෝහක පුරීතනයෙහි සිට තීර්යක් පුරීතනයට හෝ එතැන සිට අවරෝහක පුරීතනයට හෝ එක් වරට පරිවහනය වේ. ද්‍රව්‍ය ක‍්‍රමයෙන් මල බවට පත් වේ. මල සාමාන්‍යයෙන් දුඹුරු පාට ය. මල පාට කරවන ප‍්‍රධාන වර්ණක දෙකකි. එනම් ස්ටකොබයිලන් සහ යුරෝබිලින් (Urobilin) වර්ණක ය. ඒ දෙවර්ගය ඇති වනුයේ බැක්ටීරියා විසින් බයිලිරුබින් (Billirubin) පිත්ත වර්ණකය සමග ප‍්‍රතික‍්‍රියා වීමෙනි. මලවල සාමාන්‍ය PH අගය 0.7 හෝ 7.5 ය.

මල දුගඳ ය. එසේ වනුයේ ඉන්ඩෝල් (Indole) හා ස්කෙටොල් (Skatole) ප‍්‍රධාන වශයෙන් ද හයිඞ්රජන් සල්පයිඞ් හා මෙතිල් ම’කැප්ටන් (Methyl mercaptan) සුළු ප‍්‍රමාණයක් ද නිපදවීමෙනි.

ගුද මාර්ගය සාමාන්‍යයෙන් හිස් ය. මල ගුද මාර්ගයට ඇතුළු වනුයේ, අවරෝහක පුරීතනයෙහි ඇතිවන පූර්ණ චලනය හේතු කොට ගෙන ය. මල පහ කිරීම ඉච්ඡානුගත ක‍්‍රියාවක් සේ ආරම්භ වන අතර, එය සිදු වන්නේ ප‍්‍රතීක ක‍්‍රියාවක් වශයෙනි. මල පහ කිරීම පාලනය වනුයේ හයිපොතැලමසින් සුෂුම්නාව ඇති කේන්ද්‍ර (Centre) දෙකින් හා ආන්ත‍්‍රිකයෙහි පිහිටා ඇති ගැංග්ලියම් ප‍්‍රතානයන් (Plexus) මගිනි.

මල පහ කිරීමේ දී ස්වරාලය වැසේ. මහා ප‍්‍රාචීරය පහත් වේ. පේශි හා අපාන උන්මීලකය (Levatores ani) සංකෝචනය වේ. පුරීතනයෙහි හටගනනා පූර්ණ සංකෝචන හේතුවෙන් මල ද්‍රව්‍ය පුරීතනයෙහි අවිදුර කොටසෙහි සිට ශ්‍රෝණි කොටසට තල්ලූ වේ. ශ්‍රෝණි කොටසේ ඉහළට එසවීමෙන් වක‍්‍ර ව තිබෙන ගුද මාර්ගය කෙළින් වේ. ගුද චක‍්‍රපිධාන ලිහිල් වේ. මල පිටතට පහ වේ. මල පහකිරීමට අවශ්‍ය යැයි හැඟීම් මතු වූ විට එම අවශ්‍යතාව මැඩ පවත්වා ගත හැක්කේ එක්තරා සීමිත කාල සීමාවකට පමණ ය. ගුදයෙහි පීඩනය වැඩි වීමත් සමග එය පාලනය කළ නොහැකි ය. මෙවිට එය සිදුවන්නේ අනිච්ඡානුග ප‍්‍රතීක ක‍්‍රියාවක් වශයෙනි. ආහාර නොගෙන සිටින ඇතැම් අවස්ථාවල දී මල ග‍්‍රෑ. 7ක් හෝ 8ක් පමණ පහ වේ. දිරාපත් ශ්ලේෂ්මල සෛල ස‍්‍රාව, බැක්ටීරියා ආදියෙන් මල සමන්විත ය.

කෑම ගැනීමේ දී වාතය ගිලීමෙන් ද ක්ෂුද්‍ර ජීවින් ආහාර මත ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් ද ජීරණ පද්ධතියට වාතය එකතු වේ. මෙසේ එකතුවන 50% හෝ 60% නයිට්රජන් ද 30%-40%ක් කාබන්ඩයොක්සයිඞ් ද වේ. ඉතිරි 5% සිට 10% හයිඞ්රජන් සල්පයිඞ්, මීතේන් හා හයිඞ්රජන් වායුවලින් සමන්විත ය. ජීරණ පද්ධතිය තුළින් වාතය ගමන් කිරීමේ දී හට ගන්නා ශබ්ද හැඳින්වෙන්නේ බුරු බුරුව (Barborygmus) යනුවෙනි. මෙම වාතය ජීරණ පද්ධතියෙන් පිටවනුයේ ප‍්‍රාධ්මාන (Flatulation) ක‍්‍රියාවේ දී ය.

(කෙළ, ඛේට ග‍්‍රන්ථ, අජීරණය, අන්තරාසර්ග ග‍්‍රන්ථි, අක්මාව, අග්න්‍යාශය, ජීර්ණ පද්ධතිය(මිනිසාගේ*, එන්සයිම, ග‍්‍රසනිකාව, පිත්ත, පෝෂණය, මුඛය, දිව, විටමින්, මන්දපෝෂණය බ.)


මංගලා වීරසිංහ