ජීවන්ති

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වරා මල හා සමාන හැඩයෙන් යුත් පැණි සහිත මලක් ඇති ශාකයක් ජීවන්ති ලෙස හැඳින්වේ. තුන්දොස් සමනය කිරීමේ හැකියාව ඇති, එසේ ම රසායනය හා ශරීරයට බලය ලබාදීමට හැකි ඉතා ශ්‍රේෂ්ඨ ශාකයක් බව මෙයට යෙදී ඇති ‘ශාකශ්‍රේෂ්ඨා’, ‘පයශ්චිනී’, ‘ජීවනී’ හා ‘මංගල්‍ය’ යන නම්වලින් ප‍්‍රකාශ වේ.

 (පින්තූර)

ආයුර්වේද මූල ග‍්‍රන්ථයන්හි එසේ සඳහන් වුව ද වර්තමානයේ මෙම ශාකය පිළිබඳ ව මතභේද පවතී. බොහෝ වෛද්‍යවරුන්ගේ මෙන් ම උද්භිද විද්‍යාඥයින්ගේ ද මතය වනුයේ මෙය Leptadania reticulata W & A නම් උද්භිද විද්‍යා නාමය දරන ශාකය බවයි. ඇතැම් වෛද්‍යවරු ජීවන්ති වශයෙන් Dendrobium macreal නම් වූ ඕකිඞ් විශේෂය භාවිත කරති.

ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තයන්හි Dregia volubilis යන ලතාව ද පංජාබ් ප‍්‍රාන්තයෙහි Cimicifuga foetida යන ශාකය ද ජීවන්ති වශයෙන් පාවිච්චි වන බව වාර්තා වී ඇතත් එම ශාක දෙකෙහි ම ජීවන්තිවල ඇතැයි කියන ගුණ හොඳින් විද්‍යමාන නොවේ.

ආයුර්වේද මූල ග‍්‍රන්ථයන්හි දැක්වෙන පරිදි අරළු ශාකයේ වර්ග හතෙන් එකක් ද ජීවන්ති ලෙස හැඳින්වේ. වියළුණ අරළු ගෙඩිය බාහිරින් රත්රන් වැනි කහපාටින් යුක්ත නම් එය ජීවන්ති ප‍්‍රභේදය බව ද එම ජීවන්ති අරළු, විශේෂයක් රහිත ව සියලූ රෝග සඳහා යෙදිය හැකි බව ද ‘භාවප‍්‍රකාශ’ ග‍්‍රන්ථයෙහි දැක්වේ. එසේ ම රසකිඳ ශාකය සඳහා යෙදෙන පර්යායයක් (සමාන පදයක්) ලෙස ද ජීවන්ති යන්න යෙදේ.


එම්. එච්. ඒ. තිසේරා

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීවන්ති&oldid=961" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි