ජීවන් මුක්ති

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජීවන විමුක්තිය ලෙසින් ද හැඳින්වෙන මෙම සංකල්පය ජීවමානව සිටිය දී ම ලබන විමුක්තිය, මෝක්ෂය ලෙස අර්ථ දැක්විය හැක. විමුක්තිය යනු සියලූ ආශා හා පැවැත්ම සම්පූර්ණයෙන් ම නැතිකර දැමීමයි. එය මරණින් මතු ඇතිවන තත්ත්වයක් නොවේ. ජීවමානව සිටිය දී ම සාක්ෂාත් කරගනු ලබන කිසියම් මනෝමය තත්ත්වයකි. අසීමිත පුද්ගල ආශා හා අවශ්‍යතා ක්ෂයවීම තුළින් පුද්ගල මනසේ ඇතිවන නිරන්තර සංහිඳියාව සහිත ව එකී මුනිවරයා තවදුරටත් ලෞකික ලෝකයේ, ලෞකිකත්වය හා නොඇළී නොගැටී ජීවත් වීම ජීවන් මුක්තියේ ස්වභාවයයි. ජීවන් මුක්තියට පත්වූවකුගේ ආකල්ප කෛවල්‍යයට, පාරප‍්‍රාප්තියට, නිර්වාණයට, විමුක්තියට පත්වූවකුගේ ආකල්පවලට සමාන ය. එකී පුද්ගලයා ජීවිතාන්තයට (අභාවයට) පත් වූ විට විදේහ විමුක්තියට පත් වූවා යැයි පැවසේ. නිවී යාම වැනි නිෂේධනාත්මක අර්ථයක් ද එහි ගැබ් ව පවතී. විදේහ විමුක්තියට පත්වන අවස්ථාව දක්වා ජීවන් මුක්තියට පත්වන සිය පඤ්චස්කන්ධය සහිතව එකී තැනැත්තා ලෞකික ලෝකයේ ජීවත් වේ. එහෙත් ඇලීමෙන් බැහැර ව සිටී (Encyclopaedia of Religion and Ethics). ජේ. හේස්ටින්ග් සඳහන් කරන පරිදි, සකපෝරුවට, නව බඳුන තැනීම සඳහා මැටි නොසැපයුවත් එය ක‍්‍රියාත්මක කරවීමට යෙදූ බලය අවසාන වනතුරු සක‍්‍රිය වූ සකපෝරුව ක‍්‍රියාවේ යෙදෙන්නා සේ, ජීවන් මුක්තිය ලද මුනිවරයාගේ චතුර් මහා භූතයන්ගෙන් ඉපදුණු ශරීරය පවතින තාක් ලෝකය හා නොඇළී නොගැටී හෙතෙම ජීවත් වේ.

වෙන්වීම, ඈත්වීම, මුක්තවීම යන තේරුම රැගත් සංස්කෘත ‘මුච්’ ධාතුවෙන් නිපන් මෝක්ෂය වනාහි මරණය, ස්වර්ගය, නරකය හා බැඳී පවත්නා සංකල්පයකි. එය භක්ති මාර්ගයක අවසාන නිෂ්ඨාව ලෙස සැලකීමට හේතු සාධක ඇත. එහෙත් එය එසේ ම නොවේ. ඉන්දීය චින්තනයේ යථානුභූතවාදී නුවූ දෘෂ්ටීන් ද ජීවන් මුක්ත යන සංකල්පය, ‘ජීවමාන ව සිටිය දී ම ලබන විමුක්තිය’ යන අර්ථයෙන් ම, ඉහාත්මභාවයේ දී ම සාක්ෂාත්කරණය කළ හැකි පදාර්ථයක් ලෙස පිළිගැනීමට ලක් විය. අනුමිති මාත‍්‍රයක් ලෙස පමණක් වූ අනාගත භවයක දී ලබන (පරම) නිෂ්ටාවක් පිළිබඳ මේ භවයේ දී කෙරෙන පාරමී පූරණය පිළිබඳ අදහස ගිලිහී ගොස් ඒ වෙනුවට, ලැබූ ජීවිත කාලය තුළ දී ම ආනුභවික මුක්තිය ලැබීම් වස් අඛණ්ඩ ව්‍යායාමයක යෙදීම මිනිසාගේ අරමුණ විය යුතු බවට චින්තනය සැකසීම වේදාන්ත දර්ශනයේ විශේෂ සලක්ෂණයකි. ජීවන් මුක්ත සංකල්පය පූර්ණ ලෙස නොපිළිගන්නා න්‍යාය වෛශේෂිකය හා විශිෂ්ටාද්වෛතයේ පවා, මිනිසාට ඉහාත්මභාවයේ දී ම සත්‍යාවබෝධය කළ හැකි බව පැහැදිලිව ම පිළිගනී (න්‍යාය සූත‍්‍ර භාෂ්‍යය - වාත්ස්‍යායන, IV (i). උපනිෂද් ග‍්‍රන්ථවල නිරතුරුව දැකිය හැකි මෙම සංකල්පය වේද යුගයේ පසුභාගයට අයත් ඉතා ප‍්‍රබල දර්ශනයක අවශ්‍යාංගයක් සේ පැවතුණු බව පැහැදිලි වේ.

ඉතිහාසය : මෝක්ෂය පිළිබඳ සංකල්පයේ අංකුර අවස්ථා ඍග්වේද යුගයේ බිහි වී බ‍්‍රාහ්මණ යුගයේ දී තවදුරටත් සංවර්ධනය වීම දැකිය හැක. උපනිෂද් යුගයේ පූර්වභාගය වන විට විමුක්තිය, මෝක්ෂය යන්න පැහැදිලිව ම ජීවන් මුක්තිය යන අර්ථය ම නිරූපණය කෙරෙන අවස්ථාව දක්වා පරිණත වූ බව දැකිය හැක. මේ වන විට සාංසාරික පැවැත්ම පිළිබඳ යථාර්ථය දුක්ඛදායක බවත් ඉන් මිදීමේ අවශ්‍යතාව මුඛ්‍ය පරමාර්ථය විය යුතු බවත් චින්තාමය දියුණුව ඔස්සේ අවධාරණය විය. ඉතා පැරණි උපනිෂද් ග‍්‍රන්ථයක් වන කඨොපනිෂදයේ (ii iii - 14) දැක්වෙන පරිදි, ‘මිනිස් සිරුර තුළ නවාතැන් ගෙන සිටින මේ සියලූ ආශාවන් ඉවත් වූ විට මිනිසා මෙහි දී ම අමරණීය වෙයි. බ‍්‍රහ්මන් කරා එළැඹුණේ වෙයි.’ මේ අවස්ථාව වන විට මෙලොව දී ම බ‍්‍රහ්මන් බවට පත්විය හැකි බවත් එය ම විමුක්තිය ලෙස පිළිගැනුණු බවත් දැකිය හැක.

හිස මුඩු කළ යන අරුතැති මුණ්ඩක තත්ත්වයට යොමුවූ මුණ්ඩක උපනිෂද් යනු අථර්වන් වේදයට අයත් ටීකා යුගයයි (හිස මුඩු කළවුන් යනුවෙන්, භික්ෂූන් හා සන්‍යාසීන් සැළකේ). ප‍්‍රාචීන විචාර ධාරාව කෙළවර වී අලූත් විචාර ප‍්‍රවාහයක් කරා අවතීර්ණ වීම මේ යුගයේ දී සනිටුහන් වේ. වේදයේ කර්ම කාණ්ඩයට (යාගය තුළින් මෝක්ෂය කරා යා හැකි යැයි විශ්වාස කැරෙන) ඉතා තදින් එරෙහි වන අයුරු මේ උපනිෂදයෙන් දැකිය හැක. ‘(ඒ) වෘක්ත (ප‍්‍රකෘති)යෙහි යෙදුණු පුරුෂ තෙම පරවශ මුළා වූයේ, ශෝක කරයි. යම් කලෙක අනිකාගේ මහිමය දකී ද ජීවයේ නොඇලී නිශ්ශෝක වෙයිථ මුක්තිය ලබයි’ (මුණ්ඩක උපනිෂද් 3.1-3).

මෝක්ෂය ලැබීම පරම නිෂ්ටාව සේ සලකන්නෝ එය විවිධාකාරයෙන් විග‍්‍රහ කළහ. පරමාර්ථවාදීන් එය පරම තත්ත්වය හා ඒකීයභාවයට පත්වීම ලෙස දක්වයි. ඊශ්වරවාදීන් දෙවියන් හා එක්වීම ලෙස දක්වයි. ඇතැම් නාස්තිකවාදීන් විසින් එය සංසාර බන්ධනයෙන් නිදහස් වීම පිළිබඳ වූ නිවෘත්ති මාත‍්‍රයක් ලෙසත් නැතහොත් නිවීයාම නම් වූ නිර්වාණය ලෙසත් විග‍්‍රහ කෙරේ. මෙසේ අවසාන නිෂ්ඨාව යනුවෙන් කුමක් අදහස් කරනු ලැබූවත් ජීවන් මුක්තිය පිළිබඳ අදහස ඍග්වේදයේ පශ්චිම භාගයේ සිට ම පැවත ආ අතර හින්දු චින්තනයේ විවිධ මතවාද රැුඳුණු කොෂ්ඨාගාර-යක් සේ විචාරකයන් පිළිගන්නා මහාභාරතයේ සාගර හා අරිෂ්ඨනෙමි අතර ඇති වූ සංවාදයේ ශ්ලෝක පන්තියේ ධ‍්‍රැවය වශයෙන් එන ‘හේ ඒකාන්තයෙන් මිදුණේ ය’යන අවසාන ශ්ලෝක පාඨයෙන් දැක්වෙන අයුරු ඉහාත්මභාවයේ දී එළැඹිය හැකි ශාන්ත මනෝභාවය වන ජීවන් මුක්තිය අරමුණු කොට ඇති බව පෙනේ (මහාභාරතය xi 288, 25). අද්වෛත වේදාන්ත වැනි බොහෝ ආස්තිකවාදීන් ද මේ මතය ම දරන අතර ඇතැම් නාස්තිකවාදීන් ලෝකය පිළිබඳ දරන මතය හා සමග ද ජීවන් මුක්ත සංකල්පය මනාව ගැළපෙන බැවින් නාස්තිකවාදීන් අතින් ජීවන් මුක්ත සංකල්පය බිහි වුණා ය යන මතයක් ද පවතී. මුල් යුගයේ දී ඒ ඒ දර්ශනයන්හි ඉගැන්වුණු ධර්ම එකට මිශ‍්‍ර වූ සෙයක් දැකිය හැකි බැවින් පැහැදිලි චිත‍්‍රයක් නගා ගැනීමේ අපහසුතාවක් පවතී. එහෙත් හැම ආචාර්යවාදයකට ම අනන්‍ය වූ මෝක්ෂ මාර්ග හා සංකල්ප පද්ධති පැවතිණි.

ජෛන ආගමේ දැක්වෙනුයේ දුක් සහිත සංසාර ප‍්‍රවෘත්තියෙන් නික්මිය හැක්කේ උග‍්‍ර තපස් ක‍්‍රම මගින් ශරීරයට දුක් දීම මගින් පූර්වකෘත කර්ම තැවීමෙන් කෛවල්‍යය කරා ළඟා වීමෙන් පමණක් බවයි. ජෛන ධර්මයේ ආප්තය වන්නේ කුසල කර්ම කිරීමෙන් නොව පාපය කරා පමුණුවන චෛතසික යටපත් කිරීමෙන් අභිවෘද්ධිය නැතහොත් ජීවන් මුක්තියට පැමිණේ ය යන්නයි. ‘නිදහස් වූ ආත්මයෝ නැවත ශරීරගත නොවෙති. ඒ ආත්ම සම්පූර්ණ පාරිශුද්ධිය ලබා තිබේ. ඒවා විශ්වය මස්තකයෙහි සම්පූර්ණ වූ අවස්ථාවක වෙසෙන අතර ලෞකික කටයුතු සමග ගැටීමකට නොයෙයි. ඒවා නිර්වාණ (නිවෘත්ති, මුක්ති) ස්වරූපයට පැමිණ තිබේ’. තවද ‘ආධ්‍යාත්මික වශයෙන් ලෞකික (සසර සැරිසරන) සහ විමුක්ත ආත්මයන්ගේ වෙනස පවතින්නේ මෙහි ය. පළමුවැන්න (ලෞකික) වැලිවලින්, ඉතා සියුම් වූ ද්‍රව්‍යවලින් පිරවූ මල්ලක් වැනි ය. දෙවැන්න (විමුක්ත ආත්ම) සම්පූර්ණයෙන් පිරිසිදු වී භෞතික අපවිත‍්‍රතාවෙන් නිදහස් ව පවතී’ යනුවෙන් ජෛන ධර්මයේ සඳහන් වෙතැයි දැක්වේ (Hasting's Encyclopaedia Religious and Ethics, vii - 468).

බෞද්ධ නිර්වාණාවබෝධයේ දී දුක්ඛ නිරෝධය, පාරප‍්‍රාප්තිය (විමුක්තිය) හා ප‍්‍රඥාවබෝධය තුන ම එකවර සිදු වේ. අංගුත්තර නිකායේ (V) දැක්වෙන පරිදි සැබෑ ලෙස ම නිවන් අවබෝධ කළ පුද්ගලයා නේවසඤ්ඤා-නාසඤ්ඤායතන අවස්ථාව පසු කොට සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරන, දුරු කරන ලද ආශ‍්‍රව සහිත පුද්ගලයා ම බව තහවුරු කොට දේශනා කොට ඇත (දිට්ඨධම්ම නිබ්බාන බ.). ක‍්‍රි.පූ. 6 වන සියවසේ ඉන්දියාවේ පැවති හැම දර්ශනයක ම මුඛ්‍ය අරමුණ සංසාර ප‍්‍රවෘත්තියෙන් මිදීම වුව ද ඒ සඳහා පූරණය කෙරෙන ඥාන මාර්ග එකිනෙකට වෙනස් විය. විවිධ වූ ඥාන මාර්ග භාවිත කොට ලබන සංසාර විමුක්තියට ජීවන් මුක්ති ලෙසින් දළ වශයෙන් දක්වාලනු ලැබුව ද ගැඹුරින් සැලකිල්ලට ගත් කල ඒ ඒ අධිගමයන්හි විවිධ පරස්පරතා විද්‍යමාන ය. යාගය, විවිධ අධිභෞතික දෑ කෙරෙහි විශ්වාසය, විවිධ න්‍යාය, ඥාන යෝගය යන සියලූ දෑ එකල වූ ඥාන මාර්ග ය. වෛදික පිළිවෙත් බැහැර කළ පිරිස් අත්තකිලමථානු යෝගය හෝ කාමසුඛල්ලිකානුයෝගය හෝ නාස්තික දෘෂ්ටිය හෝ තුළින් මුක්තිය කරා යොමු වීමට උත්සුක වූහ.

බුදු දහමේ දැක්වෙන පරම නිෂ්ටාව (විමුක්තිය) නිර්වාණය නම් වන අතර පූජාවට සුදුසු ගෞරවයට සුදුසු උත්තම, ලෝකෝත්තරභාවයට පත් වූ (ථෙරවාදී බුදු සමය අනුව) යන අර්ථයෙන්, අරහන්ත යන නාමය එවැනි උතුමන්ට යෙදේ. ප‍්‍රථම අරහන්ත භාවයට පත් වූ උතුමාණෝ බුදුරජාණෝ ය. පස්වග මහණුන් සත්‍යාවබෝධය කිරීමත් සමග ම ලෝකයේ රහතුන් වහන්සේලා සය නමක් පහළ වූ බව විනය පිටකයේ (ම.ව.පා. ෂ, 14 පිට) සඳහන් වේ.

නිර්වාණය අවබෝධ කර ගන්නා අවස්ථාව අනුව නිර්වාණ ධාතුව දෙකොටසකට බෙදේ. සෝපාදිසේස නිබ්බාන ධාතු සහ අනුපාදිසේස නිබ්බාන ධාතු යනුවෙනි. පූර්ව භවයන්හි තෘෂ්ණා, දෘෂ්ටි යන දෑතින් අල්ලා ගනු ලැබූ ස්කන්ධ පංචකය ඉතිරි ව තිබිය දී සියලූ කෙළෙසුන් නැසීමෙන් ලබන නිවන සෝපාදිසේස නිවන (ජීවන් මුක්ති) ලෙසත් එසේ නිවන් දුටු රහතන් වහන්සේ පංචස්කන්ධය හැර දමා සසර ගමන නවතා ලූ අවස්ථාව අනුපාදිසේස නිවන වශයෙනුත් කෙරෙන විග‍්‍රහ බුද්ධධර්මයේ දැක්වේ. ඛුද්දක නිකායේ ඉතිවුත්තකපාළියේ ‘නිබ්බානධාතු’ සූත‍්‍රයේ දී, ‘ද්වෙ මා භික්ඛවෙ නිබ්බාන ධාතුයො, කතමා ද්වෙ සොපාදිසෙසා ච නිබ්බානධාතු අනුපාධිසෙසා ච නිබ්බාන ධාතු’ යනුවෙන් නිවන් ලබන අවස්ථා දෙක පිළිබඳ තවදුරටත් පැහැදිලි කොට ඇත (දිට්ඨධම්ම නිබ්බාන බ.).

ආශ‍්‍රව (ආසව) නැති කිරීමෙන් මෙලොව දී ම නිර්වාණය අවබෝධ කරන්නවුන් පිළිබඳ ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ අවසන් ගාථාවෙන්, ‘ඛීණාසවා ජුතීමන්තා තෙ ලොකෙ පරිනිබ්බුතා....’ යනුවෙන් දැක්වේ.

තත්කාලීන සමාජයේ ජීවන් මුක්ති යනුවෙන් දැක් වූ දේ දීඝ නිකායේ බ‍්‍රහ්මජාල සූත‍්‍රයේ දී ‘දිට්ඨධම්ම නිබ්බාන’ යනුවෙන් දැක්වෙන බවට නිර්ණය කළ හැක. යෝගාවචර පුද්ගලයන් තමන් දිට්ඨධම්ම නිබ්බානය ලද බවට මුලා වී චතුර්ථ ධ්‍යාන තත්ත්වයෙන් ඔබ්බට උත්සුක නොවී නවතින බවට බුදුරජාණන් වහන්සේ බ‍්‍රහ්මජාල සූත‍්‍ර දේශනාවේ දී පැහැදිලි කොට වදාරා ඇත.

දීර්ඝ කාලයක් මුළුල්ලේ පෙර'පර දෙදිග දාර්ශනිකයන් ඇතුළු ආගම්වාදීන්, බුදු දහමේ හා පෙරදිග වෛදික දර්ශනයේ දැක්වෙන පරමාර්ථ සංකල්ප හා නිෂ්ටාදිය අනන්‍යත්වයෙන් (එක ම දෙය ය යන මතය) විග‍්‍රහ කිරීමේ රුචියක් හා ප‍්‍රවණතාවක් පැවැතිණි. බෞද්ධ ලෝකයෙන් ඊට විරුද්ධව සැලකිය යුතු අභියෝගයක් ද එල්ල නොවිණි. බෞද්ධ විශ්වකෝෂයට ‘ආචාර ධර්ම’ (Ethics) යන මාතෘකාව යටතේ අදහස් දක්වන මහාචාර්ය පී.ඞී. පේ‍්‍රමසිරි බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන සියුම් සුවිශේෂි විග‍්‍රහයන් කෙරෙහි විද්වත් ලෝකයේ අවධානය අවදි කරවයි.

මතුපිටින් පමණක් සලකා කෙරෙන විශ්ලේෂණයක දී ජීවන් මුක්තිය හා බෞද්ධ දර්ශනයේ දැක්වෙන පරම නිෂ්ටාව වන නිර්වාණය යන්න එකක් ලෙස විග‍්‍රහ කෙරුණ ද සුවිශේෂී විග‍්‍රහයක දී ඒ සාක්ෂාත්කරණය කරන්නා වූ ‘මෝක්ෂය’ ඒ ඒ සන්දර්භවලට සීමා වන අතර ගුණාත්මක වශයෙන් විවිධ වේ. අනෙකුත් සමකාලීන දර්ශනවල පැවතුණු නියතිවාදී, දේවවාදී ස්වරූපයනට වෙනස් ව ස්වච්ඡුන්දතාව (Volition) අතීත බලපෑම් වෙනස් කිරීමට හා අනාගත ක‍්‍රියාමාර්ග සැකසීමට ‘ආරබ්බ ධාතු, පුරිසකාර’ යන පුද්ගල අධිෂ්ඨානය හා වීර්යය උපරිම වශයෙන් යොදා ගත්, අත්ථිතා නම් වූ නියතිවාදයත් නත්ථිතා නම් වූ උච්ඡේදවාදයත් බැහැර කළ හේතුඵලවාදී දහමකි, බුදු දහම (සං.නි.).

ජීවන් මුක්ති තත්ත්වයට පත් වූ මුනිවරුන් තමාට ම පමණක් විෂය වූ ගුඪ ලෝකවල නිෂ්ක‍්‍රිය ව සිටිමින් අභාවය තෙක් ම ලෞකික ලෝක හා කෙරෙන ගැටීම්වලින් විනිර්මුක්ත ව වෙසෙන බව වේදාන්ත කෘතිවල දැක්වේ. බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන නිර්වාණාධි-ගමය සත්‍යයෙන් ම දුකට පත් සාංසාරික සත්ත්වයාගේ ශුභ සිද්ධිය පිණිස ම වූ බවට විනය හා සූත‍්‍ර පිටකයේ දැක්වෙන බුද්ධචරිතය සේ ම ශ‍්‍රාවක චරිත ද මොනවට සාධක සපයයි.


කේ. ඉන්දිරා පෙරේරා

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීවන්_මුක්ති&oldid=960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි