ජීවන තත්ත්වය (Standard of Living)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මිනිසකු වශයෙන් ජීවත් වීමේ දී පැනනගින අවශ්‍යතා කොතරම් දුරට ඉටු වී ඇත් ද යන්න මින් අදහස් වේ. සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම පිණිස සමාජයකට අවශ්‍ය වන භාණ්ඩ හා සේවා කොතෙක් සැපයී ඇද්ද යන්න ජීවන තත්ත්වයෙන් අදහස් කෙරේ. ආහාර, වස්ත‍්‍ර, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය, ගමනාගමනය, පණිවිඩ හුවමාරුව, විවේකය සහ විනෝදය ඊට අඩංගු ය. මෙය නිතර භාවිත වන යෙදුමක් නමුදු පැහැදිලි කිරීමටත් මැනීමටත් අපහසු සංකල්පයකි.

ජීවන තත්ත්වය යන්නෙහි අදහස කලින් කලට මෙන් ම රටින් රටට ද වෙනස් විය හැකි ය. අතීතයේ දී ‘උසස් ජීවන තත්ත්වයක්’ ලෙසින් පිළිගැනුණු මට්ටමක් වර්තමානයේ දී ‘පහත් ජීවන තත්ත්වයක්’ ලෙස සලකනු ලැබීමට ඉඩ තිබේ. දියුණු රටක ‘පහළ ජීවන තත්ත්වයක්’ වශයෙන් සලකනු ලබන මට්ටමක් නොදියුණු රටක ‘උසස් ජීවන තත්ත්වයක්’ ලෙසින් පිළිගැනීමට ඉඩ තිබේ. අවශ්‍යතා ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයටත් රටින් රටටත් කලින් කලටත් වෙනස් වන බැවින් ජීවන තත්ත්වය යන්නෙහි අදහස ද වෙනස් විය හැකි ය. විනිශ්චය කරන පුද්ගලයාගේ දෘෂ්ටිකෝණය අනුව ද ජීවන තත්ත්වය වෙනස් විය හැකි ය. ආදායම් මට්ටම ජීවන තත්ත්වය කෙරෙහි ඍජු බලපෑමක් කරන මුත් ආදායම ඉහළ යන විට ජීවන තත්ත්වය ද අනිවාර්යයෙන් ම ඉහළ යනු ඇතැයි කිව නොහැකි ය. ජීවන වියදම ඉහළ යන විට එය ජීවන තත්ත්වය පහළ වැටීමක් ලෙස පෙනී යාමට ඉඩ තිබේ. එහෙත් ජීවන වියදම සහ ජීවන තත්ත්වය අතර එවැනි ඍජු සම්බන්ධයක් නොමැත.

මිනිසුන් ජීවත් වන මට්ටම් හයක් ආර්ථික විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත.

එනම්,
  1. දිළිඳු (Poverty)
  2. යැපුම් (Subsistence)
  3. නිරෝගි හා මනා පැවැත්මක් (Healthy and decent)
  4. සැප පහසු (Comfortable)
  5. තරමක් ධනවත් (Moderately well to do)
  6. ධනවත් (Well to do)


පුද්ගලයකුගේ මෙන් ම සමාජයක ද ජීවන තත්ත්වය ඉහළ යාම දියුණුව වශයෙන් පිළිගැනේ. එසේ ම දියුණුව යන්නෙන් ජීවන තත්ත්වය ඉහළ යාම අදහස් වේ. සෑම පුද්ගලයකු මෙන් ම සෑම සමාජයක ම සෑම රජයක ම අභිමතාර්ථය ජීවන තත්ත්වය නංවාලීමයි. ජීවන තත්ත්වය මැන දැක්වීමට ආර්ථික විද්‍යාඥයන් ද ජාත්‍යන්තර සංවිධාන ද උත්සාහ දරා ඇත. බොහෝ කාලයක් තිස්සේ ජීවන තත්ත්වයේ මිණුම් දණ්ඩ ලෙස භාවිත කරනු ලැබුවේ ඒක පුද්ගල අදායමයි. ඒ අනුව ඒක පුද්ගල ආදායම ඉහළ යන විට ජීවන තත්ත්වය ඉහළ යයි. එහෙත් එයින් ජීවන තත්ත්වය නිසි ලෙස පිළිබිඹු නොවන බැවින් වෙනත් මිනුම් දණ්ඩක් ඒ සඳහා වර්තමානයේ දී යොදා ගැනේ. එය භෞතික ජීවන තත්ත්ව දර්ශකයයි (Physical quality of life index - POLI)

මේ අනුව ජීවන තත්ත්වය ඉහළ ම මට්ටමට පැමිණි විට දර්ශකයේ අගය 100කි. පහළ මට්ටමේ දී එහි අගය 0කි. යම්කිසි රටක භෞතික ජීවන තත්ත්ව දර්ශකයේ අගය 100 කරා ගමන් කරන විට ඉන් අදහස් වන්නේ ජීවන තත්ත්වය ඉහළ යන බවයි. අද ඒක පුද්ගල ආදායම නමැති මිනුම් දණ්ඩට ඌනපූරණ වශයෙන් භෞතික ජීවන තත්ත්ව දර්ශකය භාවිත වේ. එය සකස් කර ඇත්තේ සාක්ෂරතා අනුපාතය, ළදරු මරණ අනුපාතිකය සහ ආයු කාලය සැලකිල්ලට ගනිමිනි. 2011 ශ‍්‍රී ලංකාවේ භෞතික ජීවන තත්ත්ව දර්ශකය 82ක් වූ අතර ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2,836කි. භෞතික ජීවන තත්ත්ව දර්ශකය අනුව ඉහළ ජීවන තත්ත්වයක් ද ඒක පුද්ගල ආදායම අනුව පහළ ජීවන තත්ත්වයක් ද පෙන්නුම් කෙරේ.


භෞතික ජීවන තත්ත්ව දර්ශකයේ අඩුපාඩු කිහිපයකි:

  1. ආදායම සැලකිල්ලට නොගැනීම
  2. සංවර්ධනයක් සිදු නොවූවත් රජය සුභසාධන සේවා සඳහා විශාල ලෙස වියදම් කරන විට මේ දර්ශකයේ අගය ඉහළ යාම
  3. සංවර්ධනයට බලපාන සංරචක අතුරින් මේ දර්ශකයේ ඇතුළත් වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍යය පමණක් වීම


එබැවින් ජීවන තත්ත්ව මැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් මානව සංවර්ධන දර්ශකය (Human Development Index - HDI) 1990 දී හඳුන්වා දෙන ලදි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (United Nation's Development Programme - UNDP) මගින් එතැන් පටන් වාර්ෂිකව මෙම දර්ශකය යාවත්කාලීන කරනු ලැබේ.

මෙය පිළියෙල කර තිබෙන්නේ කරුණු තුනක් සැලකිල්ලට ගනිමිනි.

  1. ආයු කාලය (ජීවිතාපේක්ෂාව)
  2. සාක්ෂරතාව (අකුරු හැකියාව)
  3. ක‍්‍රය ශක්ති සාම්‍ය ඒකපුද්ගල ආදායම


දර්ශකයේ අගය 0 හා 1 අතර පිහිටයි. එහි අගය 1කට ආසන්න වේ නම් ඉහළ ජීවන තත්ත්වයක් නම් 0ට ආසන්න වේ නම් පහළ ජීවන තත්ත්වයක් ද පෙන්නුම් කෙරේ.

කි‍්‍ර.ව. 2010 මානව සංවර්ධන වාර්තාව අනුව ඉහළ ම මානව සංවර්ධන දර්ශකය හිමි රටවල් පහ මෙසේ ය.

වගුව : 1
රටේ නම මානව සංවර්ධන දර්ශකය හිමි ස්ථානය
නොර්වේ 0.938 1
ඕස්ටේ‍්‍රලියාව 0.937 2
නවසීලන්තය 0.907 3
ඇ.එ.ජ. 0.902 4
අයර්ලන්තය 0.895 5


2010 දී පහළ ම මානව දර්ශකයන් පෙන්නුම් කළ රටවල් පහ මෙසේ ය.

වගුව : 2
රටේ නම මානව සංවර්ධන දර්ශකය හිමි ස්ථානය
සිම්බාබ්වේ 0.140 169
කොංගෝ 0.239 168
නයිජර් 0.261 167
බුරුන්ඩි 0.282 166
මොසැම්බික් 0.284 165

2010 දී ශී‍්‍ර ලංකාවේ මානව සංවර්ධන දර්ශකය 0.658 ක් වූ අතර 91 වන ස්ථානය හිමිවිය. මෙය දකුණු ආසියාවේ ඉහළ ම දර්ශකය විය.

මානව සංවර්ධන දර්ශකයෙහි අවධානය යොමු කර තිබෙන්නේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආදායම කෙරෙහි පමණි. තව ද එම දර්ශකයේ අගයෙන් පෙන්නුම් කෙරෙන්නේ රටක සමස්ත තත්ත්වයයි. රටවාසී සියල්ලන්ගේ ම ජීවන තත්ත්වය එක හා සමාන බව එයින් අදහස් නොවේ. එහෙයින් සමාජයේ පවතින අසමානතාව එමගින් නිරූපණය නොවේ. ඇතැම් අඩුපාඩු ඉවත් කිරීම සඳහා, උක්ත දර්ශකයට ගැළපීම් වශයෙන් ඹභෘඡු ආයතනය විසින් පහත සඳහන් දර්ශක සකස් කර ඇත.

  1. ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා සම්බන්ධ සංවර්ධන දර්ශකය ((Gender - related Development Index - GDI)
  2. ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය බලගැන්වීමේ මිනුම (Gender Empowerment Measure - GEM)
  3. ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා දර්ශකය (Gender Inequality Index - GII)


රටක පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතා අහිමි වී ඇති තත්ත්වය මානව දරිද්‍රතාව යනුවෙන් හැඳන්වේ. මෙය සැලකිල්ලට ගෙන එ.ජා.සං. විසින් 1997 දී මානව දරිද්‍රතා දර්ශකය (Human Power Index - HPI) හඳුන්වා දෙන ලදි. ජීවන තත්ත්වයට බලපාන මූලික සාධක කොතෙක් දුරට අහිමි වී ඇද්ද යන්න මේ දර්ශකයෙන් මැන දැක්වේ. එබැවින් මානව සංවර්ධන දර්ශකයේ ප‍්‍රතිවිරුද්ධ තත්ත්වය මානව දරිද්‍රතා දර්ශකයෙන් නිරූපණය කෙරේ. මානව සංවර්ධන දර්ශකය පිළියෙල කිරීමේ දී යොදාගත් කරුණු තුනෙන් ප‍්‍රතිවිරුද්ධ තත්ත්වය සැලකිල්ලට ගෙන මානව දරිද්‍රතා දර්ශකය සකස් කර තිබේ.

එ.ජ.සං. මානව දරිද්‍රතා දර්ශක දෙකක් පිළියෙල කර ඇත :

  1. සංවර්ධනය වන රටවල මානව දරිද්‍රතාව මැනීම සඳහා ‘මානව දරිද්‍රතා දර්ශකය - 1’
  2. ආර්ථික සංවර්ධනය හා සහයෝගීතාව පිළිබඳ සංවිධානයට (Organization for Economic Cooperation and Development - OECD) අයත් රටවල මානව දරිද්‍රතාව මැනීම සඳහා ‘මානව දරිද්‍රතා දර්ශකය - 2’


මානව දරිද්‍රතාව සඳහා ලැබෙන අගය ශූන්‍යය (0) හා සියය (100) අතර පිහිටයි. දර්ශකයේ අගය ශූන්‍යයට ආසන්න වන විට දරිද්‍රතාව අඩු වීමත් 100ට ආසන්න වන විට දරිද්‍රතාව වැඩි වීමත් අදහස් වේ. 2005 ශී‍්‍ර ලංකාවේ මානව දරිද්‍රතා දර්ශකයේ අගය 17.8ක් විය.

ජීවන තත්ත්වය මැන දැක්වීම සඳහා 2008 දී භූතානය විසින් දළ ජාතික සන්තුෂ්ටි දර්ශකය (Gross National Happiness Index - GNHI) හඳුන්වා දෙන ලදි. ක්ෂේත‍්‍ර 9ක් නියෝජනය වන පරිදි මෙහි දී දත්ත ලබා ගැනේ.

  1. මානසික සන්තුෂ්ටිය
  2. කාලය භාවිත කරන ආකාරය
  3. සමාජීය සම්බන්ධතා
  4. සංස්කෘතිය
  5. සෞඛ්‍යය
  6. අධ්‍යාපනය
  7. පරිසරය
  8. ජීවන තත්ත්වය
  9. යහපාලනය


ජීවන තත්ත්වය මැන දැක්වීමේ දී 2008 දී ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සකස් කර ඇති සෞභාග්‍ය දර්ශකය (Prosperity Index - PI) ද ප‍්‍රයෝජනවත් වේ. මෙහි දී කරුණු තුනක් සැලකිල්ලට ගෙන ඇත.

  1. ආර්ථික හා ව්‍යාපාරික පරිසරය
  2. ජන ජීවිතයේ යහපැවැත්ම
  3. සමාජ ආර්ථික යටිතල පහසුකම්


මේ දර්ශකයේ අගය ශූන්‍යයට ආසන්න වන විට ජීවන තත්ත්වයේ පහළ මට්ටමක් ද 100ට ආසන්න වන විට ඉහළ ජීවන තත්ත්වයක් ද අදහස් වේ. 2000 දී 42.4ක් වූ ශී‍්‍ර ලංකාවේ සෞභාග්‍ය දර්ශකය 2007 දී 52.7ක් බවට පත් ව ඇත. පළාත් වශයෙන් ද මේ දර්ශකයේ අගය ප‍්‍රකාශයට පත් කෙරේ. ඒ අනුව ඉහළ ම අගය හිමිවන්නේ බස්නාහිර පළාතටයි. එය 66.1කි. පහළ ම අගය හිමිවන්නේ උතුරු පළාතටයි. එය 43.6කි.

දැනට පවත්නා දර්ශක පිළිබඳ සෑහීමට පත්විය නොහැකි බව පෙන්වා දුන් ප‍්‍රංස ජනාධිපති නිකොලස් සාර්කෝසි අලූත් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2008 දී කොමිසමක් පත් කළේ ය. ‘ස්ටිග්ලිට්ස් කොමිසම’(Stiglize Commission) නම් වූ මෙය 2009 සැප්තැම්බර් මස ස්වකීය වාර්තාව ඉදිරිපත් කළේය. ඒ අනුව ජීවන තත්ත්වය පිළිබඳ විමසීමේ දී කරුණු 8ක් සැලකිල්ලට ගත යුතු බව එකී වාර්තාවෙන් නිර්දේශ කෙරිණ.

  1. භෞතික ජීවන තත්ත්වය (ආදායම, පරිභෝජනය, ධනය)
  2. සෞඛ්‍යය
  3. අධ්‍යාපනය
  4. පෞද්ගලික කි‍්‍රයාකාරකම්
  5. දේශපාලන සහභාගීත්වය හා ආණ්ඩුකරණය
  6. සමාජ සම්බන්ධතා
  7. පරිසරය
  8. ආර්ථික / ශාරීරික අනාරක්ෂිතභාවය


රටක ජීවන තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට නම් මිනිසුන් ජීවත් වන ආකාරය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු ය. ඔවුන්ගේ උවමනා ඉටු කර ගන්නා ආකාරය සහ ඉටු කර ගෙන ඇති තරම විමසා බැලිය යුතු ය. පළමුවෙන් ම ආහාර අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. ප‍්‍රමාණවත් ආහාර වේලක් කී දෙනකුට ලැබේ ද? අත්‍යවශ්‍ය විටමින් සහ ප්‍රෝටීන් එම ආහාර වේලෙහි අඩංගු ද? කී දෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙත් ද? යනාදිය විමසා බැලිය යුතු ය.

දෙවනුව ඇඳුම් පැළඳුම් අවශ්‍යතාව කොතෙක් දුරට පිරිමැසී ඇද්දැයි විමසිය යුතු ය. අවම මට්ටමේ වස්ත‍්‍ර ජනගහනයෙන් කී දෙනකුට ලැබී ඇද්ද යන්න වැදගත් වේ. තෙවනුව නිවාස පහසුකම් කෙරෙහි සැලකිල්ල යොමු විය යුතුයි. ජනගහනයෙන් කී දෙනකුට සතුටුදායක නිවාස සැලසී ඇත් ද යන්නත් ඒවායේ කාමර ගණන, වැසිකිළි හා ජල පහසුව, විදුලිබලය, වහලයේ තත්ත්වය, ගෙබිම යනාදිය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.

සිව්වනුව, සෞඛ්‍යය හා වෛද්‍ය පහසුකම් ගැන අවධානය යොමු කළ යුතු ය. ළදරු මරණ අනුපාතිකය, මාතෘ මරණ අනුපාතිකය, දළ මරණ අනුපාතිකය, ආයු කාලය, ජනගහනයට සාපේක්ෂව ඇති රෝහල් ගණන, ජනගහනයට සාපේක්ෂව ඇති රෝහල් ඇඳන් ගණන, ජනගහනයට සාපේක්ෂව හෙදියන් ගණන, ජනගහනයට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ ගණන යනාදිය සොයා බැලීම මෙහි දී වැදගත් වේ.

පස්වනුව අධ්‍යාපන මට්ටම විමසා බැලිය යුතු ය. සාක්ෂරතා අනුපාතය, ගුරු-ශිෂ්‍ය අනුපාතය, පාසල්-ශිෂ්‍ය අනුපාතය, පාසල් යා යුතු වයසේ ළමුන්ගෙන් පාසල් යන සිසුන් ගණන, ඒ ඒ ශ්‍රේණියේ දී පාසැල් හැර යන සිසුන් ගණන යනාදිය මෙහි දී වැදගත් වේ.

හයවනුව ගමනාගමනය කෙරෙහි විමසිලිමත් විය යුතු වේ. ජනගහනයට සාපේක්ෂව මහා මාර්ග හා දුම්රිය මාර්ග සැතපුම් ගණන, ජනගහනයට සාපේක්ෂව ඇති බස් රථ ගණන, දුම්රිය හා මැදිරි ගණන, ජනගහනයට සාපේක්ෂව ඒවායේ ඇති ආසන ගණන, ජනගහනයට සාපේක්ෂව ඇති මෝටර් රථ ගණන, ජනගහනයට සාපේක්ෂව ඇති නැව් ගණන, ගුවන් යානා ගණන ආදිය සැලකිල්ලට ලක් විය යුතුයි.

හත්වනුව පණිවිඩ හුවමාරුව, සන්නිවේදනය හා විනෝදය වැදගත් වේ. ජනගහනයට සාපේක්ෂව තැපැල් කාර්යාල ගණන, දුරකතන ගණන, ලියුම් හා විදුලි පණිවිඩ බෙදා හැරෙන ප‍්‍රමාණය හා වේගය, පුවත්පත් ගණන, පුවත්පත් කියවන්නන්ගේ සංඛ්‍යාව, ජනගහනයට සාපේක්ෂව ඇති ගුවන් විදුලි යන්ත‍්‍ර සංඛ්‍යාව, රූපවාහිනී යන්ත‍්‍ර සංඛ්‍යාව, චිත‍්‍රපට ශාලා ගණන, චිත‍්‍රපට ගණන, චිත‍්‍රපට නරඹන්නන්ගේ ගණන, නෘත්‍ය ශාලා ගණන, වෙනත් විනෝද පහසුකම්වල ප‍්‍රමාණය ආදිය මෙහි දී විමසා බැලේ. මහජනයාට අදහස් පළ කිරීමට ඇති නිදහස, ඔවුන්ට ලැබෙන විවේකයේ තරම වැනි කරුණු ද ජීවන තත්ත්වය සම්බන්ධයෙන් වැදගත් වේ. දවසේ වැඩි පැය ගණනක් හා සතියේ වැඩි දින ගණනක් සේවය කිරීමට සිදු වේ නම් ජීවන තත්ත්වය උසස් යයි පිළිගත නොහැකි ය.


තිස්ස ඊරියගම