ජීවමිතිය (Biometry)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සංඛ්‍යානය වැනි ප‍්‍රමාණාත්මක ක‍්‍රමවේද භාවිතයෙන් ජීව විද්‍යාත්මක පද්ධති අධ්‍යයනය කිරීම ජීවමිතිය නමින් හැඳින්වේ.

ජීවමිතියේ මූලාරම්භය ඇතිවූයේ කාර්ල් පියර්සන් (Karl Pearson) (1857-1936) වැනි ගණිතඥයන් පරිණාමය හා ප‍්‍රවේණි විද්‍යාව හැදෑරීම හා ඒ පිළිබඳ පළ කළ කෘති හේතුවෙනි. පියර්සන්ගේ මතය වූයේ ප‍්‍රවේණිය වැනි ජීවවිද්‍යාත්මක සංසිද්ධි මැනිය හැකි වීම ඉතා ම වැදගත් බවයි. මෙන්ඩල්ගේ මුල් ප‍්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයනය, ජීවමිතිය අධ්‍යයන සඳහා උදාහරණයකි.

සංඛ්‍යාන ක‍්‍රමවේද අනුසාරයෙන් ජීව විද්‍යාත්මක දත්ත හැදෑරීම, විශ්ලේෂණය කිරීම හා සංඛ්‍යානාත්මක නිගමනයන්ට එළඹීම ජීවමිතියෙහි අඩංගු වේ. මෙම විෂයය ජීව සංඛ්‍යානය (Biostatistics) ලෙස ද හැඳින්වේ.

නිදසුනක් ලෙස, එක්තරා ඖෂධ වර්ගයක් වෙළෙඳ නාම දෙකක් යටතේ වෙළෙඳපොළින් ලබා ගත හැකි යයි සිතමු. ඒවා ප‍්‍රමිතියෙන් හෝ කි‍්‍රයාකාරීත්වයෙන් එකිනෙකට වෙනස් වේ දැයි පරීක්ෂා කළ යුතු ව ඇතැයි ද සිතමු. ඒ සඳහා රෝගීන් කණ්ඩායම් දෙකකට ඒවා වෙන වෙන ම ලබා දී කි‍්‍රයාකාරීත්වයන් මනින ලදැයි ද සිතමු. එම දත්ත සංඛ්‍යාන ක‍්‍රමවේදයක් මගින් විශ්ලේෂණය කිරීමෙන් එම වෙළෙඳ නාම දෙක යටතේ ඇති ඖෂධ කි‍්‍රයාකාරීත්වයෙන් එකිනෙකට වෙනස් දැයි නිගමනය කළ හැකි ය. මෙලෙස නිගමනය කළ හැක්කේ සංඛ්‍යානාත්මක ලෙස එම කි‍්‍රයාකාරීත්වයන්ගේ මධ්‍යනයන් වෙසෙසි ලෙස එකිනෙකට වෙනස් නම් පමණි.

පර්යේෂණාත්මක ජීව විද්‍යාවේ ඕනෑම ක්ෂේත‍්‍රයක් සඳහා ජීවමිතිය වැදගත් වේ.


ෂාමලා තිරිමාන්න

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීවමිතිය_(Biometry)&oldid=963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි