ජෙරමියස් දියෙස් මැතිනිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Jeremias Dias) ප්‍රසිද්ධ සමාජ සේවිකාවකි. පානදුර පළාතේ ප්‍රසිද්ධ ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ඩබිලිව්.පී.ඇස්. රුද්‍රිගෝ මහතාගේ හා එම මැතිනියගේ සිව් වැනි දියණිය වූ ඇය ජෙරමියස් දියෙස් මහතා සමඟ විවාහ වීමට පෙර පත්තිනිහෙන්නදිගේ වර්ණදීප්තියා කුරුකුලසූරිය සෙලෙස්තිනා රුද්‍රිගෝ නම් වූවා ය.

එකල ගැහැණු ළමයින්ට උසස් අධ්‍යාපනය ලබා දීම පුරුද්දක් වශයෙන් නොපැවතියෙන් ඇයට ද වැඩිදුර ඉගෙනීමට අවස්ථාවක් නොවී ය. එහෙත් එතුමිය සිංහල භාෂාව ලිවීම හා කියවීම තරමක් දුරට උගත්තා ය.

හරමානිස් දියෙස් මහතාගේ පුත්‍ර ජෙරමියස් දියෙස් මහතා සමඟ විවාහ වූ ඇය සිය සැමියා අනුව යමින් ආගමික හා සමාජ සේවා කටයුතු පිළිබඳ මහත් උනන්දුවක් දැක්වූවා ය. මේ යුවලට පුතුන් සිව් දෙනෙකු හා දූවරුන් පස් දෙනකු ලැබිණ. 1902 මාර්තු මාසයේ දී සිය සැමියා මිය යාමෙන් අනතුරුව ඇය තවදුරටත් ආගමික හා සමාජ සේවා කටයුතු සඳහා සිය ජීවිතයෙන් වැඩි කොටසක් කැප කළා ය.

එවකට අගනුවර ආරම්භ කර තිබුණු බෞද්ධ කන්‍යා විද්‍යාලයට ආධාර කරන්නැයි ආතර් ද සිල්වා, ඩී.බී. ජයතිලක, ඩී.ඇස්. සේනානායක ආදීන් විසින් කෙරුණ ඉල්ලීම ඕ පිළිගත්තා ය. පළමුව රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කළ ඇය පසුව ගොඩනැගිලි තනවා දීමෙන් ද මුදලින් ආධාර කිරීමෙන් ද එම විද්‍යාලයේ දියුණුවට මහත් සේවයක් කළා ය.

බාල කාලයේ දී මිය ගිය තම පුත් වින්සන්ට් දියෙස් මහතාට පිංපැමිණවීම පිණිස ඇය විසින් ආනන්ද ශාස්ත්‍ර ශාලාවේ විශාල ශාලාවක් ඉදි කරණු ලැබිණි.

රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද සෑහෙන මුදලක් පරිත්‍යාග කළ ඇය පානදුර පළාතේ සෑම පොදු වැඩක් සඳහා ම නිර්ලෝභීව ධනය පරිත්‍යාග කළා ය.

එතුමිය විසින් පානදුරේ අනාථ නිවාසයක් පවත්වා ගෙන යන ලදි. අනාථ දරුවනට ඇඳුම්පැළඳුම්, ආහාරපාන සපයා ඔවුන්ට වඩුකම්, පෙහෙකම් ආදී නොයෙක් ශිල්පයන් මෙහි දී උගන්වන ලදි. පානදුරේ රුද්‍රිගෝ පවුලේ අසරණ සරණ සමාගමේ සභාපතිත්වය ද ඇය දැරුවා ය.

මොරටුවේ සහ ගම්පහ විහාර කර වූ ඇය එගොඩ උයන, කටුකුරුන්ද ආදී ගම්වල විහාරස්ථාන සඳහා මුදලින් ආධාර කළා ය. කොළඹ ධර්මදාන සභාව මඟින් පවත්වා ගෙන ගිය, උගත් භික්ෂූන් වහන්සේලා ලවා සතිපතා එක් එක් ගම්වල ධර්ම දේශනා පවත්වා පත්‍රිකා ලක්ෂය බැගින් බෙදාදීමේ ව්‍යාපාරයට ඇය බෙහෙවින් ආධාර කළා ය.

මේ අයුරින් මෙතුමිය වෙතින් සිදු වූ ආගමික හා සමාජ සේවයට කෘත ගුණ සැලකීමක් වශයෙන් ඇයට ඉංග්‍රීසි ආණ්ඩුව මඟින් ඇම්.බී.ඒ. ගරු නාමය ප්‍රදානය කරන ලදී.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1997)

(සංස්කරණය නොකළ)