ජොහැන්නස් ස්කෝටස් එරිජනා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(800 ?−877 ?). අයිරිෂ් ජාතික දාර්ශනිකයෙකි. නවවැනි සියවසෙහි යුරෝපයේ විසූ කීර්තිධර බුද්ධිමතකු ද දේවධර්මවේදියකු ද වූ හෙතෙමේ ‘ජෝන් ද ස්කොට්’ යනුවෙන් ද හැඳින්විණි.

අයර්ලන්තයෙහි උපන් එරිජනාට මුල් අවධියෙහි ප්‍රංසයේ දෙවෙනි චාල්ස් අධිරාජයා විසින් පැලටයින් ඇකඩමියේ ආධිපත්‍යය පවරන ලදි. ඔහු එම අධිරාජයාගේ ආරාධනයෙන් මධ්‍යතන යුගයේ බෙහෙවින් ප්‍රකටව පැවති ස්‍යුඩෝ (ව්‍යාජ)-ඩයොනීසියස්ගේ ග්‍රීක කෘතීන් ලතින් භාෂාවට පරිවර්තනය කළා පමණක් නොව ඊට ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයක් ද සම්පාදනය කෙළේය. එම ව්‍යාඛ්‍යානය පාප්තුමාගේ අනුමතිය සඳහා කලින් ඉදිරිපත් නොකිරීම නිසා හෙතෙම නිකුලස් පාප්තුමාගේ අප්‍රසාදයට පාත්‍ර විය. පසුව ඔහු විසින් ලියන ලද ‘ස්වභාවධර්මයේ විභජනය ගැන’ නමැති කෘතිය ද බලවත් දෝෂදර්ශනයට පාත්‍ර විය. මෙම ග්‍රන්ථය ස්‍යුඩෝ-ඩයොනීසියස්ගේ මතයන් ද වක්‍ර ලෙස ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම් ද පදනම් කොටගෙන ඇත ද චින්තන ක්‍රමය අතින් ස්වෛරීභාවයක් පළ කරයි. එහි ස්වභාව ධර්මය කොටස් හතරකට බෙදා දක්වා තිබේ.

(1) නිර්මාණය කරන එහෙත් නිර්මාපිත නොවූ ස්වභාවධර්මය - එනම් සියල්ලෙහි ම මූලික ප්‍රභවය වූ දෙවියන්වහන්සේ,

(2) නිර්මාපිත වූ ද නිර්මාණය කරන්නා වූ ද සියලු ම නියත වස්තූන්ගේ ‘ආකෘතීන්’ගෙන්, ‘වර්ගයන්’ගෙන් හෝ ‘මූල රූපයන්’ගෙන් යුත් ස්වභාවධර්මය,

(3) නිර්මාපිත වූ, එහෙත් නිර්මාණය නොකරන්නා වූ ස්වභාවධර්මය - එනම් නියත ලෝකය,

(4) නිර්මාපිත නොවූ ද නිර්මාණය නොකරන්නා වූ ද ස්වභාවධර්මය - එනම් මෙහි දී සියල්ලෙහි ප්‍රභවය වශයෙන් නොව සියල්ලක් සදාකාලික විශ්‍රාම සුවය සඳහා ආපසු පැමිණෙන අවසානය වශයෙන් සැලකෙන දෙවියන්වහන්සේ යනුවෙනි.

එක් කථා පුවතකට අනුව ඔහු තම ශිෂ්‍යයන් විසින් මරුමුවට පත් කරන ලද බව පැවසේ. ඔහු එවක විසූ ඉතා ම සැලකිය යුතු පඬිවරයා මෙන් ම නිදහස් මතධාරී චින්තකයා ද වූයේය. මොහු 9 වන සියවසේ ඉතා ම විස්මයජනක පුද්ගලයා හැටියට බ'ට්‍රන්ඩ් රසල් සලකන්නේ සනාතන ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට එරෙහිව යාමට තරම් එඩිතර මානසික ස්වාධීනතාවකින් යුතුව මොහු ප්‍රකාශ කළ මත පදනම් කොටගෙනය.

(සංස්කරණය: 1974)