ජෝජ් ඊඩ්න් ඕක්ලන්ඩ්
(J.E. Auckland) (1784-1849). ක්‍රි.ව. 1836 පටන් 1842 දක්වා ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාර පදවිය දැරූ සාමිවරයෙකි.
1810 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අසුනක් ලැබ හැමවිට ම විග් පක්ෂයට සහාය දුන් මොහුට ග්‍රේ සාමිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ද අසුනක් ලැබුණේය. එහි දී හෙතෙම වෙළඳ මණ්ඩලයේ සභාපති පදවිය ද ටඞ්කශාලාවේ අධ්යක්ෂ ධුරය ද දැරීය. අනතුරුව හෙතෙම නාවික සේනා පාලනය කරන අද්මිරාල් මණ්ඩලයෙහි පළමුවන සාමිවරයා හැටියට ද සේවය කෙළේය. 1835 දී ඕක්ලන්ඩ් සාමිවරයා ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාර ධුරයට පත් කරන ලදින් එම වර්ෂයේ මාර්තු මාසයේ දී වැඩ භාරගත්තේය. ඉන්දියාවේ අග්රාණ්ඩුකාරතැන වශයෙන් හේ එරට ජලසම්පාදන කටයුතු, සහනාධාර කටයුතු ආදියට මුල් තැන දෙමින් ද පෙරදිග හා යුරෝපීය අධ්‍යයන අතර සමතුලනයක් ඇති කරමින් ද පරිපාලන දක්ෂතාව විදහා දක්වමින් ක්‍රියා කෙළේය. බ්‍රිතාන්‍ය වෙළඳාම හා බලය මධ්‍යම ආසියාවට පතුරුවා ගන්නා අදහසින් ඇෆ්ඝනිස්ථානයේ පාලක දොස්ත් මහමත් සමඟ ගිවිසුමකට එළඹ ගැනීමට ද ඔහුට ඕනෑ විය.
එසේ වුව ද බ්‍රිතාන්‍ය සේනා හා අනුගාමිකයන් 16,500 දෙනකුගෙන් 121 දෙනකු හැර සෙසු සියල්ලන්ගේ අවාසනාවන්ත මරණයත් ඉංග්‍රීසින්හට බලවත් අපකීර්තියක් ගෙන දුන් ප්‍රථම ඇෆ්ඝන් යුද්ධය (ඇෆ්ඝනිස්ථානය-ඉතිහාසය බ.) ඕක්ලන්ඩ් සාමි විසින් අදූරදර්ශීව ගන්නා ලද ක්‍රියාමාර්ගයක අනිෂ්ට විපාක විය.
1842 දී ඇෆ්ඝන් ව්‍යසනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ආපසු කැඳවන ලදි. 1846 දී යළිත් ඕක්ලන්ඩ් සාමි එංගලන්තයේ අද්මිරාල්තියේ පළමුවන සාමිවරයා බවට පත් විය.
(සංස්කරණය: 1974)