ජෝන් ආටිගල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රි.ව.1842-?). අපරදිග වෛද්‍ය ශාස්ත්‍රය හදාරා දොස්තර කෙනකුන් හැටියට ලංකාවෙහි පළමුවෙන් ම සේවය කිරීමේ ගෞරවයට හිමි වූ සිංහලයාය. ඇම්.ආර්.සී.ඇස්. (ලන්ඩන්), ඇම්.ඩී. (ඇබර්ඩීන්) යන අපරදිග වෛද්‍ය උපාධිලත් ප්‍රථම සිංහලයා ද මොහුය. හේවාගම් කෝරළයෙහි හංවැල්ල අසල පිහිටි ආටිගල නම් ගමින් පැමිණ පදිංචි වූ පවුලකින් පැවත ආ ආටිගල මහතාගේ ජන්ම භූමිය වූයේ පිළියන්දල අසල මඩපාත නම් ග්‍රාමයයි.

ක්‍රි.ව. 1842 ජනවාරි මස 13 වන දින ජෝන් ආටිගල මෙලොව එළිය දුටුයේය. ඔහුගේ මව රයිගම් කෝරළයේ සුප්‍රසිද්ධ පරපුරක් වූ කොතලාවල පරපුරට අයත් වූවාය.

කොළඹ සාන්ත තෝමස් විද්‍යාලයෙන් හා රාජකීය විද්‍යාලයෙන් ඉගෙනීම ලත් ජෝන් ආටිගල මහතා වැඩිදුර ඉගෙනීම පිණිස රජයේ වියදමින් කල්කටාවට යවන ලද්දේය. ඉක්බිති එංගලන්තයට ගොස් තව දුරටත් ඉගෙන උසස් උපාධි ලබාගති. ක්‍රි. ව. 1866 දී ලක්දිවට සැපත් වූ ඒ මහතා රජයේ වෛද්‍යවරයකු ලෙසින් කටයුතු කරන්නට වන. වෛද්‍ය වෘත්තියෙහි නොයෙක් තනතුරු දරමින් දෙතිස් වසක් සේවය කොට 1898 දී කොලෝනියල් ශල්‍ය වෛද්‍ය පදවිය උසුලමින් සිටිය දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තේය. අනතුරුව විනෝදය සඳහා සිංහල වෙදකම, ඉතිහාසය, සාහිත්‍යය ආදි විෂයයන් හදාරා ඒ පිළිබඳ නොයෙක් පර්යේෂණයන්හි යෙදුණේය. ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් අතර භාවිත වන ද්‍රව්‍යගුණ නිඝණ්ඩුවල සඳහන් ඖෂධ වර්ග සියල්ලක ම පමණක් නොව ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍යවරුන් උපයෝගී කරගන්නා ඖෂධ බොහොමයකත් උද්භිද විද්‍යා විෂයක නම් ද සිංහල, සංස්කෘත හා දෙමළ නම් ද ගුණ හා ආමයික ප්‍රයෝග ද දක්වමින් වෙනත් නොයෙක් වැදගත් තොරතුරු රාශියක් ද ඇතුළත් කොට 1917 දී මොහු විසින් පළකරවන ලද Sinhalese Materia Medica ( සිංහල ද්‍රව්‍ය ගුණ නිඝණ්ඩුව ) නමැති ප්‍රශස්ත ඉංග්‍රීසි ග්‍රන්ථය ජෝන් ආටිගල නාමයට ස්මාරකයක් බඳු වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජෝන්_ආටිගල&oldid=4976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි