ජෝන් ඔස්ටින්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1790-1859). ජෙරමි බෙන්තම්ගෙන් පසු නීතිවිද්‍යාව ගැන ලිවූ ශ්‍රේෂ්ඨතම ඉංග්‍රීසි නීති විශාරදයාය.

1826 දී ලන්ඩන් විශ්වවිද්‍යාලය පිහිටු වූ අවස්ථාවේ දී ඔස්ටින් එහි නීතිවිද්‍යාව පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා ලෙස පත්කරනු ලැබීය. එහෙත් 1832 දී ශිෂ්‍යයන් නොමැති වීම නිසා එම පදවියෙන් අස් වූ ඔහු 1833 දී අපරාධ නීති කොමිසමට පත්කරන ලද නමුත් නොබෝ දිනකින් එයින් ද අස් විය. 1836 සිට හෙතෙම මෝල්ටා කටයුතු පිළිබඳ කොමසාරිස් පදවියක් ඉසිලීය. බෙන්තම්ගේ ද ජේම්ස් හා ජෝන් ස්ටුවට් මිල්ගේ ද හිතමිතුරකු වූ ඔස්ටින් නීති සංශෝධනය සම්බන්ධයෙන් බලවත් උනන්දුවක් දැක්විය.

විශ්වවිද්‍යාලයේ කළ දේශනයන් පදනම් කොට ගෙන 1832 දී ඔහු විසින් පළ කරන ලද The Province of Jurisprudence Determined (නීති විද්‍යාවේ සීමානිර්ණය) ඔහුගේ වඩා ම ප්‍රකට ග්‍රන්ථයයි. නීතිවලට පදනම් ව ඇති මූලධර්ම විග්‍රහ කරන හෙතෙම නීතිය ආඥා විශේෂයකැයි ද ආඥා වූකලි අනිකකු ලවා දණ්ඩන තර්ජනය පිට කිසියම් ක්‍රියාවක් කරවීමේ හෝ කිරීමෙන් වැළැක්වීමේ හෝ අභිප්‍රාය ප්‍රකාශ කිරීමකැයි ද යමක් නීතිය බවට පත් වන්නේ ආඥාව ලබන පුද්ගලයාගේ අවනතභාවය අනුව යයි ද විස්තර කොට දැක්වීය. නීතියත් ආචාර ධර්මත් එකිනෙක පටලවා නොගත යුතු බව ද හේ පෙන්වා දුන්නේය.

ඔහු බෙන්තම්ගේ උපයෝගිතාවාදය පිළිගත්තේය. ඔහුගේ එම දර්ශනවාදී මත යටකී කෘතියෙහි ද ඇතුළත් විය. නීතිවිද්‍යාවේ මූලධර්ම සම්බන්ධයෙන් ඔහු කළ දේශන ඔහුගේ බිරිඳ විසින් මුද්‍රණයට සුදානම් කරනු ලැබ Lectures on Jurisprudence (නීතිවිද්‍යාව පිළිබඳ දේශන) යන මාතෘකාවෙන් 1863 දී පළ විය.

එංගලන්තයේ නීතිවිද්‍යාව පිළිබඳ විශ්ලේෂණාත්මක ගුරුකුලයේ සමාරම්භකයා හැටියට ඔහු සලකනු ලැබේ. ඔහුගේ කෘති එංගලන්තයේ නීතිවිද්‍යාව හා නීති අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉමහත් ලෙසින් බල පෑ අතර නීතිය හා සුචරිතවාදය අතර ඔහු දැක්වූ වෙනස බොහෝ ඇමෙරිකානු නීති විශාරදයෝ හුවා දැක්වූහ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජෝන්_ඔස්ටින්&oldid=12108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි