ජෝර්ජ් ටර්නර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(George Turnour) (1799-1843). ලක්දිව බ්‍රිතාන්‍ය පාලන සමයේ මුල් අවධියෙහි විසූ පරිපාලන නිලධාරියෙකි. සිංහල හා පාලි භාෂා මනාව හදාළ ඉංග්‍රීසි පරිපාලන නිලධාරීන් අතර පුරෝගාමියකු වූ මොහුට පාලි මහාවංසයේ පළමු ඉංග්‍රීසි පරිවර්තනය බිහිකිරීමේ හා ඒ අනුව ලංකා ඉතිහාසය පිළිබඳ මුල් ම ඉංග්‍රීසි නිබන්ධනය ලිවීමේ ගෞරවය ද හිමි වේ.

ජෝර්ජ් ටර්නර්ගේ පියා බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කර ගත් අවධියෙහි 73 වන පාබළ සේනාංකය සමග මෙහි ආ අයෙකි. එම ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් ටර්නර් මෙන් ම ඔහුගේ බිරිඳ වූ මිලී රදල පවුල් පසුබිම් ඇත්තේ වූහ. කනිෂ්ඨ ජෝර්ජ් ටර්නර් පවුලේ වැඩිමහලු දරුවා ලෙස 1799 ලංකාවේ දී උපන්නේ ය. ලක්දිව දෙවන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් තෝමස් මෙට්ලන්ඩ්ගේ (1805-11) අනුග්‍රහය අනුව ඔහු අධ්‍යාපනය සඳහා එංගලන්තයට යවන ලදි. මේ අතර 1807 දී ලංකාවේ රාජ්‍ය සේවයට බැඳුණු පියා යාපනයේ සේවය කරමින් සිට 1813 දී මිය ගියේ ය. අධ්‍යාපනය නිමවා 1820 දී පෙරළා ලංකාවට පැමිණි කනිෂ්ඨ ටර්නර් රාජ්‍ය සේවයට බඳවා ගැනුණි. ලක්දිව බ්‍රිතාන්‍ය පාලනයෙහි ඉහළ ම ශ්‍රේණිය වූ සිවිල් සේවයෙහි ඔහු කැපී පෙනෙන නිලධාරියෙක් වූයේ සිය සහජ බුද්ධිය හා කාර්යශූරත්වය නිසා මෙන් ම සංයමශීලී ව තම හැකියාවන් භාවිතයට ගැනීම නිසා බව පෙනේ. 1832 ලක්දිව පරිපාලනය ගැන පරීක්ෂා කිරීමට පැමිණි කෝල්බෲක් කොමිසම විසින් එදා සිටි සිවිල් නිලධාරීන් අතර ‘ශක්‍යතාව හා කාර්යශීලිත්වය’ අතින් කැපී පෙනෙන එක ම පුද්ගලයා ලෙස ඔහුව නම් කර තිබේ.

ටර්නර්පේ නාමය අනුස්මරණීය වන්නේ ඔහුගෙන් ලක්දිව පමණක් නොව ඉන්දියාවේ ඉතිහාසය පවා පැහැදිලි කර ගැනීමට මූලාධාර වූ මහාවංසයේ පළමු පරිච්ඡේද 38හි ඉංග්‍රීසි පරිවර්තනය 1837 දී පළ කිරීම නිසා ය. පෙරදිග රටවල් යටත් කර ගත් පෘතුගීසි, ලන්දේසි හා මුල්කාලීන ඉංග්‍රීසි උගතුන් විසින් දේශීය භාෂාවන්ගෙන් රචිත ව තිබුණු ‘ඉතිහාස’ කෘති ‘හුදු මිථ්‍යාදෘෂ්ටික භක්තියෙන් ඇළලී කළ නන්දෙඩවිලි’ ලෙස පොදුවේ බැහැරකොට තිබූ පසුබිමක ටර්නර්ගේ කෘතිය පළවීම නිසා එම අදහස් සම්පූර්ණයෙන් වෙනස් කරමින් ලංකාවේ මහාවංසය එසේ බැහැර කළ නොහැකි අසහාය ඉතිහාස මූලාශ්‍රයක් බව ස්ථාපනය විය. ඉන්දීය සම්භාව්‍ය සාහිත්‍යයට අයත් අද්භූත සිද්ධීන්ගෙන් ගහන රාමායණ, මහාභාරත හා පුරාණ ග්‍රන්ථ නිසා බටහිර උගතුන් යට කී නිගමනයට පැමිණ සිටියේ විශේෂයෙන් 19 වන සියවස මුල දී සොයා ගැනුණු පැරණි ස්මාරක හා ශිලාලේඛන හඳුනා ගැනීමට හෝ රජවරුන් විසූ කාලවකවානු විනිශ්චයට එම කෘතීන්ගෙන් කිසි පිටිවහලක් නොලැබුණු බැවිනි. ටර්නර්ගේ මහාවංස පරිවර්තනය මෙහි දී පුරාතත්ත්ව පර්යේෂණයට අසහාය ආලෝකයක් සපයන ප්‍රදීපස්ථම්භයක් බඳු විය.

1825-27 සමයෙහි සබරගමු පළාතේ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කරද්දී භික්ෂූන් වහන්සේලා ආශ්‍රයෙන් සිංහල හා පාලි භාෂා අධ්‍යයනය ඇරැඹූ ටර්නර්ට පන්සල් පුස්තකාලයකින් මහාවංසයේ හා මහාවංස ටීකාවේ පුස්කොළ පිටපත් දක්නට ලැබුණි. එම පිටපත් ලැබුණේ මුල්කිරිගල විහාරයෙන් යැයි කියනු ලැබේ. තමන් ගුරුහරුකම් ලැබූ භික්ෂූන්ගේ ඉංග්‍රීසි නොදැන්ම මෙන් ම පාලි භාෂාවේ වචන හඳුනා ගැනීමට ඉංග්‍රීසි ශබ්දකෝෂයක් නොතිබීම මහත් සේ බාධාකර වූ නමුත් එම දුෂ්කරතා අභිභවනය කරමින් ඔහු මහාවංසය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ භාරදූර කර්තව්‍යයෙහි නිරත වූයේ, වසර ගණනාවක පරිශ්‍රමයෙන් පසු විස්මයජනක ලෙස බොහෝ දුරට නිරවද්‍ය වූ පරිවර්තනයක් ඉදිරිපත් කිරීමට සමත් විය.

පසුව මහනුවර බ්‍රිතාන්‍ය ආදායම් පරිපාලකයා ලෙස 1828 පත් ව ආ ඔහු එහි ‘ආණ්ඩුවේ ඒජන්ත’ පදවිය 1833 දී පිහිටුවනු ලැබීමේ දී මහනුවර ප්‍රථම ඒජන්තවරයා ලෙස පත් කරන ලදුව 1834-41 කාලයේ එම ධුරය දැරී ය. මහනුවර වාසය කරන සමයෙහි භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල, පාලි අධ්‍යයනයත්, මහාවංසාදි කෘති පරිවර්තනයට ආධාරයත් ඔහු ලබා ගත් බව පෙනේ. ටර්නර් පිළිබඳ ජීවන තොරතුරු සමහරක් සටහන් කරන ලංකාව පිළිබඳ අගනා ග්‍රන්ථයක් සම්පාදනය කළ රාජ්‍ය නිලධාරියකු වූ සර් ජේම්ස් එමර්සන් ටෙනන්ට් කියන පරිදි මහනුවර දී ටර්නර්ගේ පාලි භාෂා ගුරුවරයා වූයේ අස්ගිරි විහාරයේ ‘පැපලේ’ හිමි ය. මේ වනාහි පසුව 1853 දී අනුනායක පදවියට පත් පැප‍ලේ අත්ථදස්සී හිමි විය යුතු ය.

ටර්නර්ගේ මහාවංස පරිවර්තනයෙහි පාලි සාහිත්‍යය පිළිබඳ විස්තරයක් හා තමන්ට පෙර ඇතැම් සිංහල හා පාලි ග්‍රන්ථයන්හි ඉංග්‍රීසි පරිවර්තනවල දක්නා ලැබුණු දෝෂ විස්තර කරන දීර්ඝ ප්‍රස්තාවනාවක් මෙන් ම ඓතිහාසික කරුණු සාකච්ඡාවට භාජනය කරන උපග්‍රන්ථ 4ක් ද විය. පළමුවන උපග්‍රන්ථය වූයේ ලංකාවේ රජවරුන් පිළිබඳ කාලානුක්‍රමණිකාවකි. එය ඔහු කලින් පළ කොට තිබූ ලියවිල්ලක සංශෝධිත පිටපතක් විය.

ටර්නර්ගේ යථොක්ත ශාස්ත්‍රීය අධ්‍යයන සිදුවන කාලය වන විට උතුරු ඉන්දියාව පුරා විසිරී පැවති (අශෝක අධිරාජයාගේ) ශිලාලේඛන ගණනාවක් ඇලෙක්සැන්ඩර් කනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඒවා කියැවීමේ නිරත ව සිටි ජේම්ස් ප්‍රින්සෙප් පඬිවරයා (1799-1840) ඒවායේ එන ‘දෙවානම්පිය රාජා’ කවරෙක් ද? ඔහු විසුවේ කුමන අවධියක ද? යන ප්‍රශ්නයන්ට පිළිතුරු සොයමින් මහත් දුෂ්කරතාවකට පත් ව සිටියේ ය. තමන් මෙන් ම පුරාතත්ත්ව පර්යේෂණයෙහි නිරත ව සිටි ටර්නර් සමග ලිපි හුවමාරු කරගත් ප්‍රින්සෙප්ට මහාවංසයෙහි එන විස්තරය අනුව ‘දෙවානම්පිය රාජා’ යනු අශෝකාධිරාජයාණන් බව හඳුනාගෙන තමා මුහුණ පා සිටි ගැටලුව නිරාකරණය කර ගත හැකි විය. බුද්ධ වර්ෂය සමග සැසඳීමෙන් ලක්දිව රජවරුන්ගේ කාලානුක්‍රමණිකාව ටර්නර් විසින් සකස් කොට තිබූ හෙයින් අශෝකාධිරාජයා විසූ කාලවකවානුව ද ප්‍රින්සෙප්ට නිශ්චය කරගත හැකි විය. පැරණි ඉන්දීය ඉතිහාසයෙහි රාජාවලියේ කාලවකවානුව සඳහා පදනම සැකසුණේ මින් පසුව ය.

ටර්නර්ගේ පරිශ්‍රමය විසින් පෙරදිග ලෝකයේ, විශේෂයෙන් ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ පැරණි සාහිත්‍යය පිළිබඳව එතෙක් යුරෝපීය විද්වතුන් දැරූ අවඥා සහගත ආකල්පය දැඩි විපර්යාසයකට භාජන වීමට කරුණු යෙදිණි. උදාහරණ වශයෙන් යටත් විජිත ඉන්දියාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සිය සුප්‍රකට වාර්තාව 1835 දී ඉදිරිපත් කළ මැකවුලේ සාමිවරයා සෝපහාසයෙන් කියා සිටියේ ‘මෙහි ඉතිහාසය අඩි සීයක් උස රජවරුන් හා වසර තිස් දහසක රාජ අවධිවලින්’ සමන්විත හෙයින් ඉන්දියානුවන්ට ඉතිහාසය ගැන කිසිදු දැනීමක් නැති බව ය. ලංකාවේ බ්‍රිතාන්‍ය පරිපාලනය ඇරඹුණු අවධියෙහි ලක්දිවට පැමිණ එහි ඉතිහාසය, භූගෝලය, ස්වභාවධර්මයේ ඉතිහාසය සමග චාරිත්‍රවාරිත්‍රාදිය හා ආයතන ගැන විස්තරයක් (An Account of Ceylon Containing Its History, Geography, Natural History with the Manners and Customs of Its Various Inhabitants) 1806 දී ලියා පළ කළ රොබට් පරිසිවල් කියා සිටියේ ‘දිවයිනේ පෞරාණික ඉතිහාසය ගැන කිසිම ආලෝකයක් ස්වදේශිකයන් අතර ප්‍රචලිත ව ඇති අභූත කථාන්තරවලින් නොසැපයෙන බවත් අපට පිළිගත හැකි තොරතුරක් ලබා ගත හැකි මුල් ම අවධිය වන්නේ 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා යටතේ පෘතුගීසීන් මෙහි පැමිණීමෙන් පසුකාලය’ බවත් ය.

මුළු දිවයින ම බ්‍රිතාන්‍ය පරිපාලනයට යටත්වීමෙන් පසුව මෙරටට පැමිණ එහි බොහෝ තැනක සංචාරය කරමින් තොරතුරු එක්රැස් කොට එහි අභ්‍යන්තරය හා ස්වදේශිකයන් පිළිබඳ තොරතුරු ඇතුළත් 'An Account of Interior of Ceylon and Its Inhabitant with Travels in that Island' නමින් ග්‍රන්ථයක් 1821 දී පළ කළ වෛද්‍ය ජෝන් ඩේවිගේ අදහස වූයේ ‘සිංහලයන්ට අතීත සිද්ධි ගැන පිළිගත හැකි කිසිදු ලේඛනයක් නැත. ඔවුහු සැබෑ ඉතිහාසය ගැන නොදන්නෝ ය. ඔවුන් එබන්දක් අගය කිරීමට තරම් දුරට දියුණුවක් ලබා නැත’ යනුවෙනි.

එබඳු නිග්‍රහාත්මක ප්‍රකාශන ප්‍රචලිත ව තිබුණු අවධියක දී තමන් ‘මිසදිටු’ පන්සලකින් ලබා ගත් ඓතිහාසික සත්‍යය නිරූපණය කරන්නක් යැයි කියාපෑමට සෑහෙන ආත්ම විශ්වාසයක් හා දිරිමත් හදවතක් පාලක ජාතියට අයත් වූවකු තුළ තිබිය යුතු ය. ටර්නර් මේ අතින් කළ මෙහෙවර ටෙනන්ට් විසින් මෙසේ ඇගැයුමට භාජන කොට තිබේ.

"ඉන්දියාවේ ඉතිහාසය මිථ්‍යාකථා මගින් අනුමත කොට තඹපත්වල ලියූ සන්නස් හා මැකෙමින් පවතින ශිලාලේඛන මගින් දැනගත යුතු ව පවතිද්දී ලංකාව සතු ව අවිච්ඡින්න ව පවත්වාගෙන එන ලද නිරවද්‍ය තොරතුරු පිරුණු දිවයිනේ ඉතිහාසය අඛණ්ඩ ව දක්වාලන අතර, ඉන්දියාවේ ඉතිහාසය පැහැදිලි කර ගැනීමට අගනා තොරතුරු සපයන වංශකථා ඇති බව යුරෝපයට දන්වනු ලැබී ය."

ටර්නර්ගේ විශේෂ දායකත්වය වූයේ මහාවංසය නම් අසහාය ඉතිහාස මූලාශ්‍රය ලෝකයාට හඳුන්වා දීම ය. ඒ ගැන ටෙනන්ට් මෙසේ සඳහන් කරයි.

"සිංහලයන් විසින් නිපදවා තිබෙන වංසකථා අතර වැදගත් ම කෘතිය මහාවංසය හා එහි ටීකාව හෙවත් අර්ථකථාවයි. එය පෙරදිග ලෝකයේ ඉතිහාස සාහිත්‍යයෙහි මුදුනින් ම සිටී. එය හා තරග කළ හැකි කිසිවක් හින්දුස්ථානයේ නැත. එකී (ඉන්දියානු) කෘතිවල පවතින කාලානුක්‍රමණිකා ව්‍යාකූලත්වය මහාවංසය විසින් විධිමත් පාලනයකට යටත් කොට තිබේ."

තමන් අධ්‍යයනය කරන ඉන්දීය ඉතිහාසය ගැන දැන ගැන්මට ඇති දේශීය මූලාශ්‍රය වූ පුරාණ සාහිත්‍යයෙහි තිබුණු මහා ව්‍යාකූලතාව හමුවේ හෙම්බත් ව සිටි ප්‍රින්සෙප්, කනිංහැම් ආදි විද්වතුන්ට ටර්නර්ගේ සොයාගැනීම මහත් අස්වැසිල්ලක් වූ බව පෙනේ. ඒ බව නොවළහා ටර්නර්ට දැනුම්දීමට ඔවුහු උත්සුක වූහ. ප්‍රින්සෙප් විසින් 1836 දී ටර්නර් වෙත එවන ලද ලිපියක මෙසේ සඳහන් ව තිබුණි. “ඔබේ බෞද්ධවංශකථා ශ්‍රීමත් ඩබ්ලිව්. ජෝන්ස්ට හා විල්ෆර්ඩ්ට දැනගන්නට ලැබී තිබුණා නම් ඔවුන් ගත් සෑම පියවරක දී ම පැන නැගුණ විෂමතා නිවරද කර ගැන්ම පිණිස ඒවා මහත් ආශාවෙන් භාවිත කර ගැන්මට ඉඩ තිබුණි.” 18 වන සියවසේ දී ඉන්දියාවේ පුරාතත්ත්ව පර්යේෂණයේ පුරෝගාමීන් වූ ජෝන්ස් හා විල්ෆර්ඩ් වැනි බ්‍රිතාන්‍ය විද්වතුන් හමුවේ පැවැති අනභිභවනීය බාධකය වූයේ තමා සොයාගත් කරුණු ස්ථානගත කිරීම සඳහා පැහැදිලි කාල රාමුවක් නොතිබීම ය. පසු කලෙක ටර්නර් සපයා දුන්නේ එම රාමුව ය.

මෙසේ ජෝර්ජ් ටර්නර් ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාස අධ්‍යයනයට මූලාධාර සැපයූ ශාස්ත්‍රවන්තයකු ලෙස සදානුස්මරණීය වේ. ටර්නර්ගේ කාර්යශූරභාවය ඇගැයූ යටත්විජිත බලධාරීහු 1841 දී ඔහු දිවයිනේ සහකාර යටත් විජිත ලේකම් ලෙස පත්කොට කොළඹට ගෙන්වා ගත්හ. සිය නිල රාජකාරියෙහි මෙන් ම ශාස්ත්‍ර පර්යේෂණයෙහි වෙහෙස නොබලා නිරතවීම නිසා ටර්නර්ගේ සෞඛ්‍යය පිරිහුණි. පෙරළා යුරෝපයට යන ගමනේ දී 1843 අප්‍රේල් 10 දින ඉතාලියේ නේපල්ස්හි දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හතළිස් හතරක් විය.

ටර්නර්ගේ විශිෂ්ට රාජ්‍ය සේවාව සහ පාණ්ඩිත්‍යය පිළිබඳව ඔහුගේ ම සගයන් කර ඇති ඇගැයීම මෙහි දී උපුටා දැක්වීම උචිත ය. ටර්නර් හා සමකාලීන ව ලක්දිව බ්‍රිතාන්‍ය යටත්විජිත පරිපාලන සේවයෙහි නිරත ව සිට පෙරළා බ්‍රිතාන්‍යයට ගොස් 1840 දී ‘ලංකාවේ එකොළොස් වසරක්’ (Eleven Years in Ceylon) නම් අගනා තොරතුරු ඇතුළත් කෘතිය ලියූ මේජර් ෆෝර්බ්ස් විසින් ටර්නර් සිය ඉතිහාස අධ්‍යයනයන්හි දී විදහා දැක්වූ ‘වීර්යය, අප්‍රතිහත ධෛර්යය’ හා ඔහු රාජකාරී කටයුතුවල දී දැක්වූ ‘විශිෂ්ට ශක්‍යතාව’ මහත් සේ අගය කොට තිබේ. ෆෝර්බ්ස් පවසන පරිදි ලංකා ඉතිහාසය පිළිබඳ කාලානුක්‍රමණිකාව ටර්නර් විසින් සම්පාදනය කරන ලද්දේ 1826 දී ය (එය පළ කිරීමට වසර හතක් ම ගත වූයේ ඊට සුදුසු තැනක් නොතිබුණු බැවින් විය යුතු ය).

ටර්නර්ගේ අභාවයෙන් වසර කීපයකට පසුව ලක්දිව යටත්විජිත ලේකම් පදවියට පත් ව ආ ශ්‍රීමත් ජේම්ස් එමර්සන් ටෙනන්ට් (බ.) 1859 දී තමා ලියා පළ කළ ලංකාව පිළිබඳ අගනා මූලාශ්‍ර ග්‍රන්ථයෙහි දී තම පූර්වගාමියා මෙසේ අගයා තිබේ.

‘ඒ අවධියේ දී පාලි වචනවල අර්ථය පැහැදිලි කර ගැනීම සඳහා ශබ්දකෝෂ තිබුණේ නැත. ඒ නිසා තමන් ඉගෙන ගෙන තිබුණු සිංහලය එම අර්ථ දැන ගැනීම පිණිස උපයෝගී කර ගැනීමට ටර්නර්ට සිදුවිය. සාමාන්‍ය මනසකට නම් එබඳු බාධකයක් ජයගත නොහැකි යැයි සිතෙන්නට ඉඩ තිබුණි. ඒ බාධක තවත් තීව්‍ර වූයේ එම ක්ෂේත්‍රයේ වෙනත් කිසිවක් මීට පෙර සිදු වී නොතිබීම ය. ඒ සමග ම තමා අවට සිටි අයගෙන් එම ප්‍රයත්නයට කිසි ම සහයෝගයක් ලැබුණේ ද නැත. ඔවුන් සියලු දිරිගැන්වීම් හා ප්‍රීතිඝෝෂා ඔහුගේ සාර්ථකත්වය සිදුවන තෙක් බලා සිටියා සේ වුවත් ඒ වන විට ඔහු එම සියලු ආකල්ප ගැන උපේක්ෂාසහගත ව සිටියේ ය.’ (Ceylon: An Account of the Island, Physical, Historical and Topographical, London 1859).

ජෝර්ජ් ටර්නර්ගේ අභාවයෙන් පසු ඔහු සිහිකිරීම සඳහා ඔහුගේ හිතමිතුරන් එකතු කළ මුදල් යොදවා 1846 දී එවකට ලංකාවේ තිබුණු විශිෂ්ටතම පාසලක් වූ කලම්බු ඇකඩමියේ (පසුව රෝයල් කොලීජිය) ටර්නර් ත්‍යාගය පිහිටුවන ලදි. එය පාසලේ විශිෂ්ට ම ශිෂ්‍යයාට වාර්ෂික ව පිරිනැමෙන්නක් විය. වසර 44ක තම කෙටි ජීවිත කාලය තුළ දී ටර්නර් විසින් කරන ලද ශාස්ත්‍ර සේවා අතර මේජර් ෆෝබ්ස්, ජෝර්ජ් ලී, වෛද්‍යාචාර්ය මාර්ෂල් වැනි විද්වතුන් සමග එක්ව සර් රොබට් විල්මට් හෝර්ටන් (1831-37) ආණ්ඩුකාරවරයාගේ අනුග්‍රහයෙන් ‘කලම්බු ජර්නල්’ නම් පුවත්පතක් ඇරැඹීම ද වේ. මේ පුවත්පත දිගු කලක් පැවතුණේ නැත. ටර්නර් විසින් ලියා ඇති ශාස්ත්‍රීය ග්‍රන්ථ හා ලිපි මෙසේ ය:

1. The Epitome of the History of Ceylon, Ceylon Almanac of 1833.

‘ලංකාවේ ඉතිහාසය පිළිබඳ ආදර්ශ සටහනක්’ නම් වූ මෙය වනාහි විජය රජුගේ පටන් ලංකා ඉතිහාසයේ අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් තෙක් රජකම් කළ රජවරුන් 165 දෙනකුගේ රාජ යුග මහාවංසයේ කොටස් හතර සහ තවත් මූලාශ්‍රය ඇසුරින් සකස් කොට සම්පාදනය කළ කාලානුක්‍රමණිකාවකි. ලංකා ඉතිහාසය පිළිබඳ ප්‍රථම කාලානුක්‍රමණිකාව මෙයයි. මහාවංසයේ එන බුද්ධවර්ෂ ක්‍රමය ක්‍රිස්තුවර්ෂ ක්‍රමයට පරිවර්තනය කිරීමේ දුෂ්කර කාර්යය සඳහා ටර්නර්ට ඉන්දියාවේ සිටි ප්‍රින්සෙප් ආදි විද්වතුන්ගේ සහාය ලැබෙන්නට ඇත.

2. Translation of Inscriptions (Mihintale, Polonnaruwa Tablets, Dambulla, Polonnaruwa Rock) to serve as an Appendix to the Epitome of the History of Ceylon.

ටර්නර් කළ මේ පුරෝගාමී පරිවර්තනයන්හි ඇතැම් සදොස් තැන් පසුව නිවැරදි කරන ලද නමුත් ඔහුගේ එම පළමු පියවර මහත් සේ අගය කළ යුතු වේ.

3. The Mahawanso in Roman Characters with Translation subjoined and an Introductory on with Buddhistical Literature, Ceylon, Cotta Mission Press, 1837.

දකුණු ආසියාවේ නිපදවන ලද ප්‍රථම විධිමත් ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසයෙහි වටිනාකම ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ ටර්නර්ගේ මෙම ඉංග්‍රීසි පරිවර්තනය නිසා ය. ටර්නර්ට පෙර එඩ්වඩ් අප්හැම් නම් ලේඛකයකු විසින් මහාවංසය, රාජරත්නාකරය හා රාජාවලිය යන කෘති පාදක කොට ගෙන දිවයිනේ ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථයක් රචනා කොට තිබූ නමුත් එය සාවද්‍ය තොරතුරු බහුල වූ පාඨකයන් නොමග යවනසුලු කෘතියක් වූයේ ය. එය දුටු ටර්නර්ට ලක්දිව පෞරාණික ඉතිහාස රචකයන්ට යුක්තිය ඉෂ්ට කිරීම අවශ්‍ය බව හැගුණි. ඒ බව තම පරිවර්තනයට ලියූ සංඥාපනයෙහි අප්හැම්පේ කෘතිය විවේචනය කරමින් ටර්නර් පවසා ඇත.

4. Paper on Buddhist History and Indian Chronology in Journal of the Asiatic Society of Bengal (V) 521, (VI) 299, 790, 1049

මහාවංසයෙහි එන තොරතුරු පදනම් කරගෙන ඉන්දියාවේ ඉතිහාසයෙහි කාලානුක්‍රමණිකාව සකස් කරගත හැකි ආකාරය විස්තර කිරීමකි.

5. Account of the Tooth Relic of Ceylon, supposed to be Alluded to in the Opening passage of the Feroz Lat Inscription, Journal of the Asiatic Society of Bengal, VI, 856

දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ විස්තරයකි.

6. An Explanation of the Pali Buddhist Annals, Journal of the Asiatic Society of Bengal, (V) 501, 714 (VI) 686, 789, 919

පාලි භාෂාවෙන් රචිත මහාවංසය ටර්නර් විසින් අධ්‍යයනය කරනු ලැබීම පාලි භාෂාව හා සාහිත්‍යය අධ්‍යයනයට විද්වතුන් යොමු කැරැවූ පියවරක් විය. ‘පාලි භාෂාව පිළිබඳ දැනුමක් ලබා ගැන්ම පිණිස පහසුකම් සමහරවිට ලංකාවේ තරම් ලොව අන් කිසි තැනක නැත’ යනු ඔහුගේ නිගමනය විය. එවකට ලක්දිව විසූ ශාස්ත්‍රධාරී භික්ෂූන් වහන්සේලා ගැන ඔහු විසින් ප්‍රශංසා මුඛයෙන් සඳහන් කොට තිබේ.

ටර්නර්ගේ ශාස්ත්‍රීය විමර්ශන පළ කිරීම සඳහා උචිත වාර සංග්‍රහයක් ලක්දිව නොතිබුණු බැවින් ඉන්දියාවේ ප්‍රින්සෙප් වැනි විද්වතුන් විසින් පවත්වාගෙන යන රාජකීය ආසියාතික සංගමයේ බෙංගාලි ශාඛාවේ සඟරාව තම ලිපි පළ කරවා ගැනීම සඳහා භාවිත කිරීමට ටර්නර්ට සිදුවිණ. ලක්දිව එකල සිටි බ්‍රිතාන්‍ය විද්වතුන්ගේ පුරෝගාමීත්වයෙන් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව 1845 ඇරඹෙන විට ටර්නර් ජීවතුන් අතර නොවී ය. ලක්දිව සේවය කරන අතර ශාස්ත්‍රීය පර්යේෂණයෙහි නියැළෙමින් අනුපමේය සේවාවක් කළ පුරෝගාමී විද්වතකු ලෙස ජෝර්ජ් ටර්නර් ඉතිහාසගත වේ.

(කර්තෘ: කේ.එන්.ඕ. ධර්මදාස)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජෝර්ජ්_ටර්නර්&oldid=6412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි