ටවර්හෝල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Tower Hall). 1911 දෙසැම්බර් 6 වන දා අනගාරික ධර්මපාලතුමා අතින් විවෘත කරනු ලැබ ඊට පසු දින එනම් දෙසැම්බර් 7 දින රාත්‍රී 8.15ට එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධුරන්ධර සර් හෙන්රි මැකලම්ගේ ප්‍රධානත්වයෙන් නීතිඥ චාල්ස් ඩයස්ගේ ‘පණ්ඩුකාභය’ නාට්‍යය වේදිකාගත කිරීමෙන් මෙරට නාට්‍ය ලෝලීන්ට දායාද කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අංග සම්පූර්ණ ප්‍රොසීනියම් ගණයේ රංග ශාලාවයි. මෙම රඟහල මලින් අශ්ව ඉස්තාලයක් ඉදිකිරීමේ අරමුණ ඇති ව තිබූ මරදාන පංචිකාවත්තේ ජී.ඩී. හෙන්ද්‍රික් සෙනෙවිරත්න මහතාට අයත් මෙරෙඤ්ඤගෙවත්ත නමැති ඉඩමේ ඉදිකරන ලදි. රඟහල ඉදිරියේ අදත් දක්නට ලැබෙන එංගලන්තයේ ටවර් ඔෆ් ලන්ඩන් නමින් හැඳින්වෙන ඔරලෝසු කණුවේ හැඩයට මූණත් තුනක් සහිත ඔරලෝසු කණුව නිසා මෙම රඟහල ‘ටවර්හෝල්’ නමින් ප්‍රකට විය. බොම්බායේ රඟහලක ගෘහ නිර්මාණය ද සැලකිල්ලට ගනිමින් බොම්බායෙන් ආනයනය කරන ලද තිර කට්ටල හා සියලු ආම්පන්න සවිකොට බැල්කනියකින් ද සමන්විත ව ඉදි කරන ලද මෙම රඟහලේ ප්‍රේක්ෂකයන් 1500කට අසුන් ගත හැකි විය.

හෙන්ද්‍රික් සෙනෙවිරත්නයන්ගේ තුන්වන පුත් එඩ්මන්ඩ් සෙනෙවිරත්න සමග නාට්‍යවේදී ජෝන් ද සිල්වා සූරීන් ඇති කර ගත් අරගලයක් නිසා ජෝන් ද සිල්වාගේ නාට්‍ය මුලින් මෙම රඟහලේ වේදිකාගත නොවී ය. එහෙත් සී. දොන් බස්තියන් හා චාල්ස් ඩයස්ගේ නාට්‍ය මුල් කාලයේ දී වේදිකාගත කරන ලදි. 1920 වසරේ දී ජෝන් ද සිල්වා සූරීන් සමග ඇති කර ගත් සමගි සම්මුතියකින් පසු ජෝන් ද සිල්වා සූරීන්ගේ නාට්‍ය ටවර් රඟහලේ වේදිකාගත වීමත් සමග ටවර්හෝල් නාට්‍යවල ස්වර්ණමය යුගය උදා විය.

මෙම රඟහල 1911 සිට ගැටලු සහ ප්‍රතිසංස්කරණ ගණනාවකට හසු වෙමින් පැවැත අවුත් වර්තමානයේ අංග සම්පූර්ණ නාට්‍යාගාරයක් බවට පත් ව තිබේ. 1915-16 කාලයේ ඇති වූ සිංහල-මුස්ලිම් කෝලාහල නිසා එහි අධිපතියන් සිර අඩස්සියට ගැනීමත් සමග ටවර්හෝල් රඟහල වසා දැමීමට සිදුවිය. 1930 වසරේ ඇති වූ මහා ගං වතුර නිසා ද රඟහල වසා දමා තිබුණි. දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ දී ශ්‍රී ලංකාවට ජපානය විසින් බෝම්බ හෙළනු ලැබීමෙන් පසු ටවර් රඟහලේ නාට්‍ය රඟදැක්වීම නැවතත් නතර විය. 1947 අප්‍රේල් මාසයේ දී සිලෝන් තියටර්ස් සමාගම මෙම ශාලාව මිලයට ගෙන චිත්‍රපට පෙන්වීම ආරම්භ කෙරිණ. කෙසේ හෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ (1970-77) රජය කාලයේ දී ටවර් රඟහල රජයට පවරා ගැනීමට යෝජනා වූ අතර ඊට පසුව බලයට පත් රජයේ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා විසින් ටවර් රඟහල රජයට පවරා ගනු ලැබ එය ජාතික නාට්‍යාගාරයක් සේ සුරක්ෂිත කිරීමේ අරමුණින් හෙන්රි ජයසේන විසින් නිෂ්පාදිත ‘පණ්ඩුකාභය’ නාට්‍යය වේදිකාගත කිරීමෙන් යළිත් මෙරට නාට්‍ය ලෝලීන් වෙත දායාද කරන ලදි. යළිත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ (1994න් පසු) සමයෙහි, ගරාවැටෙමින් තිබුණු ටවර් රඟහල, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ මූලිකත්වයෙන් රජයේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් උතුරු පාර්ශ්වයේ නව ගොඩනැගිල්ලක් ද සහිත ව අභිනව වායුසමන හා රංගාලෝක පද්ධතියක්, නව තිර හා පුටු කට්ටල සහිත ව බාහිර ශබ්ද කාන්දු නොවන පරිදි ශාබ්දික ආවරණ පිළිබඳ ඇමෙරිකානු විශේෂඥයන්ගේ උපදෙස් අනුව නව සිවිලිමක් හා පැති බිත්ති සකස් කිරීමෙන් පසුව නවීන නාට්‍යාගාරයක් ලෙස 2000 අගෝස්තු 11 වන දින යළිත් නාට්‍යලෝලීන් සඳහා විවෘත කෙරිණ.

ටවර්හෝල් යුගය

සී. දොන් බස්තියන්, චාල්ස් ඩයස් හා ජෝන් ද සිල්වා යන නාට්‍යකරුවන්ගේ ප්‍රමුඛත්වයෙන් ටවර් රඟහලේ දී වේදිකාගත වූ අධිරාජ්‍ය විරෝධී, ජාතික හැඟීම් පුබුදු කෙරෙනසුලු නූර්ති සම්ප්‍රදායට අයත් නාට්‍ය විශේෂය බෙහෙවින් ජනප්‍රිය විය. ඉන්දියාවේ බලිවාලා සහ එල්ෆින්ස්ටන් වැනි පාර්සි නාට්‍ය කණ්ඩායම්වල ආභාසය ලබමින් විස්මිත දර්ශන වේදිකාවේ මවා පාමින් ඉන්දියානු හින්දුස්ථානි සිංදු රාග තාලවල ආභාසයෙන් ජනප්‍රිය ගීත සහිත ව වේදිකාගත වුණු නාට්‍ය හා පසුව නූර්ති ලක්ෂණවලින් වෙනස් වූ සමාජ නාට්‍ය විශේෂය ද පාදක කොට ගෙන බිහි වූ ‘ටීටර්’ නාට්‍ය කලාව අයත්වන කාලවකවානුව ‘ටවර්හෝල් යුගය’ නමින් හැඳින්වේ.

(කර්තෘ: රන්ජිත් ධර්මකීර්ති)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටවර්හෝල්&oldid=6510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි