ටව්කාවා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Toucan). ආවේස් වර්ගයට අයත්වන පිසිෆෝමිස් (Piciformes) කුලියට අයත් ටූකන් යනුවෙන් ද හැඳින්වෙන පක්ෂි කාණ්ඩයකි. මෙම කුලයට අයත් ටව්කාවා පක්ෂීන් ගණ 6කට අයත් විශේෂ 40ක් පමණ දක්නට ලැබේ. මොවුන් ව්‍යාප්ත වී ඇත්තේ නවලෝකයේ, එනම් ඇමෙරිකා මහාද්වීප දෙකෙහි ඝර්ම කලාපීය කොටස තුළ ය. මොවුන්ගේ ප්‍රකට ලක්ෂණයක් වනුයේ බොහෝවිට සාපේක්ෂ ව විශාල වර්ණවත් හොටවල් සහිත වීමයි.

ටව්කාවා කාණ්ඩයේ ජීවීන් විශේෂ, බරින් ග්‍රෑ. 139-680 අතර පරාසයක දක්නට ලැබෙයි. දේහ ප්‍රමාණයට සාපේක්ෂ ව කෙටි ගෙලක් හා කුඩා පියාපත් දක්නට ලැබේ. මෙම කුඩා පියාපත් කෙටි පියාසැරියක් සඳහා සකස් වී ඇත. පාද කෙටි ය, ශක්තිමත් ය. පා ඇඟිලි යුගල වශයෙන් පිහිටන අතර පළමු හා සිව්වැනි ඇඟිලි පමණක් පසුපසට යොමු වී පිහිටයි. බහුතරයක් ටව්කාවා විශේෂ වර්ණයෙන් ලිංගික ද්විරූපතාවක් නොපෙන්වයි. එහෙත් සෙලනයිඩෙරා (Selenidera) ගණයට අයත් විශේෂ පමණක් ලිංගික ද්විරූපතාවක් පෙන්වයි.

සාපේක්ෂ ලෙස අතිශය විශාල අංගය නම් වර්ණවත් හොටයි. සමහර විශේෂවල හොටෙහි දිග දේහයේ දිගින් හරි අඩකට වඩා වැඩි ය. විශාල උල් හොට නිසා බොහෝදෙනා පෙර සිතා සිටියේ ටව්කාවා පක්ෂීන් මත්ස්‍ය භක්ෂක විය යුතු බවයි. එසේ නමුත් ටව්කාවා ජීවීන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ නොයෙක් පලතුරු වර්ගයි. දිගු හොට වනයේ වඩා ගැඹුරු ගස් බෙන ආදියෙන් හා එක් ස්ථානයක සිට අවට වූ පල පහසුවෙන් නෙළා ගැනීමේ අවස්ථා සලසයි. ඒ නිසා විශාල හොට එක ලෙසකින් දේහයේ උෂ්ණත්වය යාමනය කිරීම පිණිස ද වැදගත් වේ.

මොවුන් කුඩා රංචු වශයෙන් ජීවත් වන අතර එක් පෙදෙසක අභිජනනය කරමින් ජීවත් වෙයි. සංචාරක පක්ෂියෙක් නොවේ. ස්වාභාවික ගස් බෙනයක හෝ කොට්ටෝරුවකු වැනි වෙනත් පක්ෂියකු විසින් හාරන ලද බෙනයක කූඩු තනයි. වරකට සුදු පැහැති බිත්තර 2-4ත් අතර සංඛ්‍යාවක් දමයි.

ටව්කාවා විශේෂ මූලික වශයෙන් පලතුරු භක්ෂක වුව ද අවස්ථාව පැමිණිවිට කෘමීන්, කටුස්සන් වැනි සතුන් ආහාරයට පැනීම සිදු කරයි. තව ද සමහර ටව්කාවා විශේෂ සමහර පක්ෂීන්ගේ කූඩු ආක්‍රමණය කොට බිත්තර ආහාරයට ගනී.

කෙසේ වෙතත් මොවුන් බීජ ආහාරයට ගන්නා නිසා ටව්කාවා විශේෂ බීජ ව්‍යාප්තිය පිණිස ප්‍රශංසනීය භූමිකාවක් ඉටුකරයි.

(කර්තෘ: ජයන්ත වත්තවිදානගේ)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටව්කාවා&oldid=6516" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි