ටස්කනි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Tuscany). ඉතාලියේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි පළාතක් මෙනමින් හැඳින්වේ. ඉතාලි භාෂාවෙන් ටොස්කානා (Toscana) යනුවෙන් හඳුන්වනු ලබන මෙයට එල්බා ඇතුළු දූපත් කීපයක් ද මැසා එ කැර්රාරා (Massa e Carrara), ලූකා (Lucca), පිස්ටොයියා (Pistoria), ෆිරෙන්සේ (Firenze), ලිවෝර්නෝ (Livorno), පීසා (Pisa), ඇරෙට්සෝ (Arezzo), සියෙනා (Siena), ග්‍රොසෙටෝ (Grosseto) යන පළාත් ද ඇතුළත් වේ. භූමි ප්‍රමාණය ව.කිමී. 22,991කි. ටස්කනි පළාතේ ප්‍රධාන නගරය ෆ්ලොරෙන්ස් (Florence) (ඉතාලි බසින් ෆිරෙන්සි - Firenze) වන අතර ලිවොර්නෝ ප්‍රධාන වරාය වේ.

ඉතාලියේ සාරවත් ම කෘෂිකාර්මික ප්‍රදේශ අතුරින් එකක් වන ටස්කනි, තිරිඟු ආදි ධාන්‍ය වර්ග ද ඔලිව්, ඔලිව් තෙල් හා මිදි සම්බන්ධයෙන් ද මහත් ප්‍රසිද්ධියක් උසුලයි. එළවළු හා පලතුරු වගාව මෙන් ම ගවයන්, අශ්වයන්, ඌරන් හා කුකුළන් ඇති කිරීම ද සිදු කෙරේ. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ආර්නෝ (Arno), ඔම්බ්‍රෝනේ (Ombrone) යන ගංගං මගින් ලැබේ.

ඊයම්, තුත්තනාගම්, ඇන්ටිමන්, රසදිය, තඹ, බෝරැක්ස් හා යපස් මෙහි ඇති වැදගත් ඛනිජ සම්පත් වේ. එල්බා දූපත්වල ඇති යපස් නිධි දැනට අවසන් වෙමින් පවතී. කැර්රාරා (Carrara) ප්‍රදේශයෙන් හාරාගනු ලබන කිරිගරුඬ ලෝක ප්‍රසිද්ධියට පත් ව ඇත.

ලෝහ කර්මාන්තය, රසායන ද්‍රව්‍ය හා රෙදි නිෂ්පාදනය මෙහි කෙරෙන ප්‍රධාන කර්මාන්ත ය. ෆ්ලෝරන්ස් නගරය විශේෂයෙන් ම හස්ත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධ ය. වෙරළබඩ ප්‍රදේශ ඓතිහාසික වැදගත්කමක් ඇති ප්‍රදේශ සංචාරක මධ්‍යස්ථාන වශයෙන් වැදගත් වේ. ලිවොර්නෝ නගරයෙහි නැව් තැනීමේ කර්මාන්තය ද කෙරේ.

ටස්කනි ඉතිහාසය

ඓතිහාසික වශයෙන් ටස්කනි පළාතට අයත් වූයේ බටහිර මධ්‍යම ඉතාලියයි. ටස්කනිය එහි නාමය ලද්දේ ක්‍රි.පූ. 1000 දී පමණ එම ප්‍රදේශයේ පදිංචි ව සිටි එට්රස්කන්වරුන්ගෙනි (Etruscan). 6 වන ශතවර්ෂයේ දී ලාම්බාඩ්වරුන් යටතේ දේශපාලනික එක්සත් බවක් ලබා සිටි මෙය ක්‍රි.පූ. 774 දී ෆ්රෑන්ක්වරුන්ගේ කවුන්ටියක් ද විය. 11 වන සියවසේ දී එවකට මධ්‍යම ඉතාලියේ බලසම්පන්න ව සිටි ඇටෝනි (Attoni) පවුලට මෙහි පාලනය හිමි විය. ඇටෝනිවරුන්ගේ බලය පිරිහීමත් සමග ටස්කනියේ නගර එකින් එක සිය ස්වාධීනත්වය ලබා ගත්තෙන් ප්‍රදේශයේ සාම්ප්‍රදායික එක්සත් බව නැති වී ගියේ ය. ඊළඟ ශතවර්ෂ හතර ඇතුළත දී බලය සඳහා නගර අතර සටන් පැවතිණ.

සංස්කෘතික පුනරුදයේ (Renaissance) වැදගත් ම තැනක් ටස්කනියට හිමි වේ. එම පුනරුද සමයේ විසූ අසහාය චිත්‍රශිල්පීන් හා මූර්ති ශිල්පීන් වූ බොටිචෙල්ලි, ජොත්තෝ, ඩොනටෙල්ලෝ, ෆිලිපෝ ලිප්පි, උච්චෙල්ලෝ, ලියනාඩෝ ඩා වින්චි සහ මයිකල් ඈන්ජෙලෝ විසුවේ ෆ්ලෝරන්ස්හි ය. ඒ සමග ම ලෝක ප්‍රකට සාහිත්‍යධරයන් වූ පෙට්රාක් සහ ඩාන්ටේ (13-14 සියවස්), දාර්ශනික මැකියාවෙල්ලි (15-16 සියවස්), තාරකා විද්‍යාඥ ගැලීලියෝ (16-17 සියවස්) දේශ ගවේෂක ඇමෙරිගෝ වෙස්පුච්චි (15-16 සියවස්) ආදීහු ද ටස්කනිවාසීහු වූහ. ටස්කනියේ ඇති චිත්‍රාගාර හා කෞතුකාගාරවල මෙන් ම දේවස්ථානවල ද ලෝක ප්‍රකට චිත්‍ර හා මූර්ති නිර්මාණ රාශියක් තැන්පත් ව ඇත. 1434 දී එවකට මෙහි ප්‍රධාන නගරය වූ ෆ්ලෝරන්ස්හි පාලනය මෙඩිසි (Medici) පවුලට හිමිවීමෙන් පසු ටස්කනිය පාලන ප්‍රදේශයක් (principality) බවට පත් විය. 16 වන ශතවර්ෂයෙන් පසු ප්‍රදේශයේ සංස්කෘතික හා ආර්ථික පරිහානියක් ඇති විය.

1737න් පසු ව ටස්කනිය හැප්ස්බර්ප්-ලොරේන්වරුන්ගේ පාලනයට යටත් විය. මේ පාලකයන් යටතේ පළාතේ අභ්‍යන්තර වෙළෙඳාමට තිබුණු බාධක ඉවත් කරනු ලැබූ අතර පූජකයන් සතු වූ වරප්‍රසාද අඩු කොට මරණීය දණ්ඩනය ද අහෝසි කරන ලදි.

1808 දී ටස්කනිය ප්‍රංස අධිරාජ්‍යයට ඈඳාගත් නැපෝලියන් බොනපාට් 1809 දී එහි පාලනය සිය සහෝදරියට පැවරී ය. නැපෝලියන්ගේ පරාජයත් සමග තෙවන ෆර්ඩිනන්ඩ් ටස්කනියේ පාලනය අල්ලා ගත්තේ ය.

1848න් පසු ලිබරල්වාදී විප්ලව මෙම ප්‍රදේශයේ බලවත් ව පැතිරී ගියේ ය. එහි ප්‍රතිඵලයක් වූයේ, පාලකයා වූ ලියෝපෝල්ඩ් පලවා හැර නව සමූහාණ්ඩුවක් බිහිවීමයි. ඔස්ට්‍රියානුන්ගේ හා ටස්කන්වරුන්ගේ ආධාර ඇති ව නැවත බලය ලබාගත් ලියෝපෝල්ඩ් 1859 දී පිඩිමොන්ට් හා ඔස්ට්‍රියාව අතර ඇති වූ සටනේ දී පිඩිමොන්ට් දේශයට සහාය වීමට අකැමති වීමත් නව ව්‍යවස්ථාවක් සම්පාදනයට ඉඩ නොදීමත් නිසා ෆ්ලොරන්ස්වාසීන් විසින් පලවා හරින ලදි. ටස්කනිය 1860 මාර්තු මාසයේ පැවැති ඡන්දයේ දී එක්සත් ඉතාලියට බැඳීමට කැමැත්ත ප්‍රකාශ කෙළේ ය. ඒ අනුව ටස්කනිය 1861 දී නව ඉතාලියානු රාජ්‍යයේ කොටසක් බවට පත් විය.

ටස්කනියේ භාවිත ඉතාලියානු උපභාෂා ස්වරූපය (Dialetto toscano) සම්මානනීයත්වයට පත් වූයේ ඩාන්ටේ ඇලිඝියරි, ෆ්‍රැන්චෙස්කෝ පෙට්රාකා, ජියොවානි බොකච්චියෝ, නිකොලෝ මැකියාවෙල්ලි ආදි විශිෂ්ටයන් විසින් සිය රචනාවන් එම භාෂා ව්‍යවහාරයෙන් ලේඛනගත කිරීම නිසා ය. එය ඉතාලි උපභාෂා අතර සම්භාව්‍ය ලතින් භාෂාවට ඉතා සමීප උපභාෂාව වේ. පසු ව එක්සත් ඉතාලියේ රාජ්‍ය භාෂාව සකස් කර ගැනුණේ උපභාෂා අතුරින් සම්මානනීයත්වයට පත් ටස්කන් උපභාෂාව පාදක කොට ගනිමිනි.

කලා මධ්‍යස්ථානයක් වශයෙන් ටස්කනිය ලෝක සංස්කෘතික ඉතිහාසයේ අසහාය ස්ථානයක් දරන්නේ ය. පුනරුද යුගයට අයත් චිත්‍ර සහ මූර්ති විශාලතම සංඛ්‍යාවක් එක්තැන් වී ඇත්තේ මෙහි තිබෙන දේවස්ථාන හා කලාගාරයන්හි ය. එහෙයින් එයට ‘ඉතාලියේ කලා මාලිගාව’ යන විරුද නාමය ලැබී ඇත. ටස්කනියේ ස්ථාන හතක් ම ලෝක උරුම ස්ථාන ලෙස නම් කොට තිබේ. එනම්, ෆ්ලෝරන්ස් නගරය, සියෙනා නගරය, පීසාහි දේවස්ථාන චතුරස්‍රය, සන් ගිමිඥානෝ නගර කේන්ද්‍රය, පියෙන්සා නගර කේන්ද්‍රය, වැල් ඩි ධර්සියා භූමිභාගය, මෙඩිසි විලා සහ උද්‍යාන යන ස්ථාන ය.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටස්කනි&oldid=6530" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි