ටසොක්
(Tussock). තණ තිල්ලක, භෞතික ව ඒකාකාරී ව නොවිසිරී ස්වාභාවික ව ම තන්හි තන්හි ගොඩැලි ආකාරයෙන් වර්ධනය වන තෘණ ගොමු මෙනම් ගනී. නිරුක්තිය අවිනිශ්චිත වුවත් තන්හි තන්හි ඇති ගොඩැලි හෝ කුඩා කඳුගැට වැනි නෙරීම් ලෙස මෙම පදය අර්ථ නිරූපණය කළ හැකි ය.
නිවර්තන, සෞම්‍ය කලාපීය මෙන් ම ධ්‍රැවාසන්න ප්‍රදේශයන්හි ද ඒ ඒ තැනට ආවේණික ශාක හෝ තෘණ විශේෂ මගින් වර්ධනය වූ ටසොක් ව්‍යාප්ත ව තිබේ.
උදාහරණ ලෙස, උතුරු ඇමෙරිකාවේ තෘණ මිටි (bunch grass) ද නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල හා ගිනිකොන දිග අප්‍රිකාවේ හිම තෘණ (snow grass) ද ලෙස මේවා හැඳින්වේ. උතුරු ඇමෙරිකානු කලාපයෙහි එරිස්ටිඩා පොපරියා (Aristida purpurea), බූටලූනා ග්‍රැසිලිස් (Boutelouna graciclis), ක්ලමෝග්‍රොස්ටිස් ෆොලියෝසා (Calamogrostis foliosa), ෆිස්ටූලා කැලිෆෝනියා (Festula california) හා ක්ලේරියා මොකැන්තා (Koeleria mocrantha) යන ශාක විශේෂ ගොමු වී ටසොක් තත්ත්වයන් ඇති කරයි. දකුණු ඇමෙරිකානු කලාපයේ වැඩෙන ඩශ්කම්ශියා සෙස්පිටෝසා (Deschampsia cespitosa), නසෙල්ලා ට්‍රිකටෝමා (Nassella trichotoma), පෝආ ෆලුබලාටා (Poa flubellata) වැනි විශේෂ මෙනයින් ඉතා වැදගත් වේ.
අප්‍රිකාවේ හෙටරොෆෙගන් කන්ටෝටස් (Heterofogen contortus) ද යුරෝපයේ ඇම්පොලඩස්මොස් මොරිටැනිකස් (Ampelodesmos mauritanicus) ද ඕස්ට්‍රේලියාවේ ජිම්නස්කීනස් ස්කියෝසෙෆලස් (Gymnoschoenus sphaerocephalus) පෝආ ලැබිලඩිඅයි (Poa labillardiei) හා ජොයිසියා පලිඩා (Joycea pallida) ද නවසීලන්තයේ චිඔනොක්ලොආ රූබ්රා (Chionochloa rubra) ෆෙස්ටිකා නොවියසකැන්ඩි (Festuca novaezecandiae) හා පෝආ (Poa) ද යනු ටසොක් ගොමු නිර්මාණයට ඉවහල් වන තෘණ විශේෂයෝ වෙත්. එමෙන් ම උත්තර ධ්‍රැවීය ප්‍රදේශවල බොහෝදුරට පෝආ (Poa), නසෙල්ලා (Nassella) හා ඩශ්කම්ශියා (Deschampsia) ටසොක් ගොමු ඇතිකරලීමේ පුරෝගාමී ශාක විශේෂයෝ වෙත්.
එනයින් තෘණ කුලයේ පොඑසී (Poaceae) ශාක විශේෂ ටසොක් තත්ත්වයන් ඇතිකරලීමේ දී වඩා වැදගත් වන බව පැහැදිලි වේ. එහෙත් තෘණ කුලයට අයත් නොවන ශාක වර්ග ද මේ සඳහා දායක වේ. ක්‍යාරෙක්ස් ඇප්රොපින්ක්වේටා (Carex appropinquata) (පන් කුලය/සයිපරේසි (Cyperaceae)), ඝනියා ඇස්පිරා (Gahnia aspera) සයිපරේසි (Cyperaceae), ක්‍යාරෙක්ස් ස්ට්‍රිකා (Carex stricta) සයිපරේසි (Cyperaceae) විශේෂ ඒ සඳහා උදාහරණයි.
ටසොක් තත්ත්වයන් ඇතිවීමේ නිශ්චිත හේතුසාධක පිළිබඳ නිගමනයන්ට මෙතෙක් එළඹ නැත. එහෙත් පාංශු ජලය හා පෝෂණ තත්ත්වයන් මේ සඳහා බලපානබවට පොදු මතයකි. ජල ගැලීම් නිසා සිදුවන පාංශු ඛාදනය, ගිනි ගැනීම්, සතුන්ගේ උළා කෑම, ලාවා ඝනවීම, කෘෂිකාර්මික කටයුතු ආදිය ටසොක් තත්ත්වයන් ඇතිවීමේ පාරිසරික සාධක ලෙස හඳුනාගෙන ඇත. මේ සඳහා ඉවහල් වනුයේ බොහෝ විට සුළඟ මගින් පරාගනය හා බීජ ව්‍යාප්තිය සිදුවන ශාක ය.
විවිධ වූ ශාක ප්‍රජාවන් ආශ්‍රිත ව ටසොක් තත්ත්වයන් හඳුනාගෙන ඇත. උදාහරණ ලෙස, සාමාන්‍ය හා සවානා තණබිම්, තෙත් භූමි (wet land), ගංමෝය, කඳුකර වනාන්තර ආශ්‍රිත ව ද එක් කාලයක දී ජලයෙන් යටවන ප්‍රදේශවල (riparian zone) ද කටු පඳුරු හා ළඳු කැලෑවන්හි (shrubs and shrublands) ද වැලි කඳු හා කාන්තාර ප්‍රජාවන්ගේ ද ටසොක් තෘණ දැකිය හැකි ය. මනුෂ්‍ය හා සත්ත්ව ආහාර මෙන් ම තෘණ භූමිවල වෙසෙන ජීවීන්ගේ වාසස්ථාන සඳහා ද ටසොක් ඉතාමත් වැදපත් වේ. ටසොක් ශාකයන්හි මූල පද්ධතිය පොළොවේ ඉතා ගැඹුරට කිඳා බැස පැතිරී ඇති ස්වාභාවයක් පෙන්නුම් කරයි. එය පාංශු ඛාදනය අඩුවීමටත් පසේ වායු හුවමාරුව හා ජිද්‍රතාව (porosity) ඉහළ නැංවීමෙන් සරුභාවය වැඩිවීමටත් බලපායි.
ශ්‍රී ලංකාවේ ටසොක් තෘණ ප්‍රදේශවලට හොඳම උදාහරණය, හෝර්ටන් තැන්නේ හෙක්. 574ක භූමි ප්‍රදේශයක විසිරී තැනින් තැන ගොමු ව පවතින තෘණ ප්‍රජාවයි. එය 1960 සිට 1970 දක්වා අර්තාපල් වගාව නිසා හානියට පත් වූ පරිසර පද්ධතියකි. මෙහි ඇති ක්‍රිස්සොපෝගන් නොඩියුලිබාර්බිස් (Chrysopogon nodulibarbis) හා ඇන්ඩ්‍රොපෝගන් පොලිටකස් (Andropogon polyptychos) ටසොක් සාදන ප්‍රධාන ශාක විශේෂ වේ. මෙම තෘණ දෙවර්ගය ටසොක් භූමියේ තරමක් වියළි ප්‍රදේශවල සරුවට වැඩෙන අතර තෙත් ප්‍රදේශවල බ්‍රගියුරා එග්සොරිස්ටේටා (Bruguiera exaristata) ශාකය වඩාත් බහුල වේ. අතරින්පතර විසිරී පවතින මහරත්මල් (Rhododendron arboretun) ශාකය හෝර්ටන් තැන්නෙහි ටසොක් තෘණ භූමිය ආශ්‍රිත ව දැකිය හැකි ය.
ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල ටසොක් වර්ධනයට උපකාරී වනුයේ ක්‍රිසොෆිජන් සෙලනිකස් (Chrysopogen zeylanicus) හා සිම්බෝපගන් කන්ෆිර්ටෆිලස් (Cymbopogen confertiflorus) විශේෂ ය. මෙම ශාක ප්‍රභේද තෙත් සහිත නිම්නවල බොහෝවිට දැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සමහර තෘණභූමිවල ද ටසොක් තත්ත්වයන් නිරීක්ෂණය වේ. පා පහර දී වෙන් කොට ගෙන එකී තණ ගොඩැලි වන අලින් විසින් ආහාර කොටගනු ලැබෙනු නිතර දැකිය හැකි ය.
(කර්තෘ: කේ.ඒ.ජේ.එම්. කුරුප්පුආරච්චි)
(සංස්කරණය: 2019)