ටහිටියානුවෝ
(Tahitians). ටහිටි (තහිටි), නව කැලිඩෝනියා හා අනෙකුත් සොසයිටි දිවයින්හි (බ.) ස්වදේශීය මෙන් ම මිශ්‍ර සම්භවයක් ද ඇති ජනයා මෙනමින් හැඳින්වේ. මවෝහිස් (Maohis) නමින් ද ප්‍රකට මොවුහු පොලිනීසියානු ජනවර්ගයට (පොලිනීසියානුවෝ බ.) අයත් වෙති.
ක්‍රි.ව. පළමු සහස්‍රයේ දී ටහිටියට සංක්‍රමණය වී දෙවන සහස්‍රයේ දී ගෝත්‍ර වශයෙන් සංවිධානය වූ ඔවුහු 18 වන සියවසේ දී වාර්ගික අනන්‍යතාවෙන් ඒකාබද්ධ වූහ. 1767 දී යුරෝපීයයන් හා සම්පර්ක වීමට පෙර ශිලා යුග තාක්ෂණය භාවිත කළාහු, සිය මූලික ජීවනෝපාක්රම වූ කෘෂි කර්මාන්තය සඳහා පස සකස් කිරීමටත් මසුන් දඩයම් කිරීම සඳහා ඔරු සාදා ගැනීමටත් දත්හ. සාම්ප්‍රදායික ව කොස්, හබරල, බතල හා වෙනත් අල වර්ග ආහාරයට ගනිති. වත්මනෙහි ප්රංස ජාතිකයන්ට අයත් පොල්, උක්, කෙසෙල්, පැඟිරි, වැනිලා හා අන්නාසි ආදි වතු වැවීමෙහි ද සංචාරකයන්ට සේවා සැපයීමෙහි ද නියැලෙති. නැව් තටාක සේවකයන් හා ඉදිකිරීම් කම්කරුවන් ඇතුළු සේවක පිරිසක් ද මොවුනතරින් බිහි වී තිබේ. මිශ්‍ර වාර්ගිකයින් අතර වෙළෙන්ඳෝ හා ව්‍යාපාරිකයෝ බහුල ය. මොවුන්ගේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත අතර පාවහන්, පැදුරු, ලී හා ගල් කැටයම් ද වේ. දැන් පිරිසැකසුම් කර්මාන්ත බිහි වී ඇත. අපනයනය සඳහා කොප්පරා, වැනිලා හා මුතු නිපදවති.
මොවුහු, නායකයන් හා වංශවතුන් වන අරී (ari’i), ධනවත් ඉඩම් හිමියන් වන රාටිරා (ra’atira) හා සාමාන්‍ය ගෝත්‍රිකයන් වන මනාහුනේ (manahune) යනුවෙන් ස්තර තුනකට බෙදෙති. ජනගහනයෙන් වැඩි මනාහුනේ පිරිස අතරට සමාජයේ අත්‍යවශ්‍ය කාර්ය ඉටුකරන්නෝ ද වැටෙති. ඔපුනුයි යනුවෙන් හැඳින්වෙනුවෝ වෙන ම උරුම කුලයක් වන පූජකයෝ ය. යුරෝපා ජාතීන් ටහිටියට පැමිණෙන විට එහි ස්වදේශික ජනයා 40,000ක් ද අනෙකුත් සොසයිටි දිවයින්හි 15,000-20,000ක් ද විසූ බැව් පළ වේ. ප්‍රතිශක්තිය හීන වීම හෝ නොමැති වීම නිසා යුරෝපා නෞකා විසින් පැතිරවුණු අතීසාරය, සරම්ප, ටයිපොයිඩ් උණ, ක්ෂය රෝගය, රතු උණ (scarlet fever) ආදියට මොවුහු පහසුවෙන් ගොදුරු වූහ. ඒ හේතුවෙන් ටහිටි ජනගහනය යුරෝපාගමනයෙන් වසර තිහකට පසු 16,000 දක්වා පහළ වැටුණුබව සඳහන් වේ. 1881 පැවැත්වූ ජන සංගණනයේ දී ස්වදේශික ටහිටි ජාතික පිරිස 5,960ක් බව අනාවරණය විය. අද වන විට මෙම සංඛ්‍යාව 180,000ක් පමණ දක්වා වර්ධනය වී තිබේ.
බෙර හා නළා ඇසුරෙන් නිපදවෙන මොවුන්ගේ සංගීතයත් නැටුමත්, නැටුම් ගායනාත් දියුණු ය, ආකර්ෂණීය ය.
අහේතුක භය පිළිබඳ සංකල්පයක් ජනිතවීමට මෙහාමෙහා නමින් හැඳින්වෙන අද්භූත හැඟීම් හේතු වී තිබේ. ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇදහිල්ලට දියුණු දේව පන්තියක් හා නායකයන් පිදීම ද ඇතුළත් ය. එසේ ම අමනුෂ්‍ය බලවේග හා මළගියවුන් ඇදහීම ද ප්‍රචලිත ය. දැන් ඔවුහු බහුතරය කැල්වියානු හා කතෝලික ක්‍රිස්තියානුවෝ වෙත්. ශාකමය ඖෂධ පිළිබඳ මනාව දත් වෙද්දු ටාටරෑවූ (ta’ata râ’au) හෝ ටාටරෑපාවූ (ta’ata rapa’au) නමින් හැඳින්වෙති. 19 වන සියවසේ දී බටහිර වෛද්‍යකර්මය ඔවුන් අතර පැතුරුණි.
1767 ජූනි 16 දා බ්‍රිතාන්‍ය කපිතාන් සැමුවෙල් වොලිස් (Samuel Wallis) ටහිටිය අනාවරණය කරගැනීමෙන් පසු එහි ස්වදේශික ජනයා අභිරුචියෙන් වෙළෙඳාමට ප්‍රිය කළාහු විශේෂයෙන් යකඩ යුගයට නොපිවිස සිටි හෙයින්, යකඩ ඇණ මිලදී ගැනීමට ය.
ෆිලිබර්ට් කොමෙර්කෝන් (Philibert Commerçon) (1727-1773) නමැත්තාගේ The Tahitian Savage to the French නමැති කෘතියෙහි ටහිටියානුවන් ප්‍රසිද්ධියේ කාම සේවනයෙහි යෙදීමේ චර්යාවක් පිළිබඳ සඳහන් වේ. ඒ අනුව, එදෙස බලාසිටින්නන් විසින් අත්පොලසන් දීමෙන් හා සංගීත භාණ්ඩ වැයීමෙන් දිරිගැන්වෙමින් ඔවුහු මෛථුනයෙහි යෙදෙති. වෛවාහික සම්බන්ධතාවෙහි දී සියලු කාන්තාවෝ පුරුෂයන්ගේ භාර්යාවෝ වෙති. සෑම පුරුෂයකුගේ ම බිරිඳ ඔහුගේ මිතුරාගේ බිරිඳ ද වේ. දැන් සාමාන්‍ය ජනයා අතර යුගල විවාහත් නායකයන් අතර බහුභාර්යා විවාහත් සුලබ ය.
‘මුහුණුවරෙහි නොමද ව නිරූපිත සෞම්‍ය ගුණය ඔවුන් ම්ලේච්ඡ ගෝත්‍රිකයන්ය යන අදහස මොහොතකට පළවා හරී. ඔවුන්ගේ බුද්ධිසම්පන්නභාවය ඔවුන් ශිෂ්ටාචාරානුගතවීමට සාක්ෂ්‍ය වෙයි’ යනුවෙන් ‘බීගල්’ නෞකාවේ සංචාරයේ යෙදී සිටි චාර්ල්ස් ඩාර්වින් (බ.) සඳහන් කරයි.
කණු ආධාර කොට ගෙන ඉදිවූ, තණ පතින් හොවිනා ලද දෙපල පියැස්සෙන් සැදි ඍජුකෝණාශ්රාකාර නිවෙසින් සැදි ගම්මාන මොවුන්ගේ සාම්ප්‍රදායික වාසස්ථාන වේ.
ගවොම්, කාවාඩම්, ප්රාවරණ, කාප්ප මොවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම් වේ. ගෝත්‍ර නායකයෝ පිහාටුවෙන් සැදි වටිනා හිස්වැසුම් පැළඳූහ.
දෙවන ලෝක යුද්ධ සමයේ නිදහස් ප්රංස හමුදාවට සම්බන්ධ ව ටහිටියානුවන් 300ක් පමණ යුරෝපයේ පෙරමුණුවල සටන් කළහ. හෙන්රි හීරෝ (Henri Hiro), චාර්ල්ස් මනුටහි (Charles Manutahi), වයිටියාරේ (Vaitiare) හා ටූරෝ රාපොටො (Turo Raapoto) වැනි කවියෝ 1960-70 සමයේ දේශානුරාගී, නිදහස්කාමයෙන් ඔද වැඩුණු කවි පබැඳූහ. මිචෝ චේස් (Michou Chaze), චැන්ටල් ස්පිට්ස් (Chantal Spitz) වයිටියාරේ යන ලේඛිකාවෝ තෙපළ ප්රංස පොලිනීසියාවේ ටහිටියානු අනන්‍යකරණය පිළිබඳ ගැටලු කෙරේ සිය ලේඛනයන්හි අවධානය යොමු කළහ. ටහිටියානු ගොවියෝ හා කම්කරුවෝ තමන් නියම ස්වදේශිකයන් යැයි හඳුන්වා ගනුවෝ යුරෝපාකරණය වූවන් කෙරෙන් වෙන් කර දැක්වීමට ය. එහෙත් මිශ්‍ර සම්භවයක් ඇතියවුන් පවා තමන් ස්වදේශික ටහිටියානුවන් බව විශ්වාස කරනුයේ සංස්කෘතික හා දේශපාලන වශයෙන් ස්වදේශිකයන්ට ඇති සම්බන්ධය නිසා ය. ප්‍රකට ටහිටියානු සමාජ ක්‍රියාධරයන් වන පොවානා අ ඕපා (Pouvanaa a Oopa), ෆ්‍රැන්සිස් සැන්ෆෝර්ඩ් (Francis Sanford), චාර්ලි චින්ග් (Charlie Ching), මයිකල්-ගැස්පාර්ඩ් කොපන්රාත් (Michel-Gaspard Coppenrath) කතෝලික බිෂොප්තුමා හා හර්බර්ට් කොපන්රාත් (Hubert Coppenrath) වැන්නෝ අර්ධ සම්භවයක් ඇති ටහිටියානුවෝ වෙති.
පෝල් ගෝගන් (Paul Gauguin) ප්රංස චිත්‍ර ශිල්පී කලක් ටහිටියේ වෙසෙමින් ටහිටියානුවන් ස්වාභාවිකත්වයෙන් චිත්‍රයට නඟා ඔවුන්ගේ රූ ලෝ පතළ කළේ ය.
ප්රංස රටවැසියන් වන ටහිටියානුවෝ ප්රංස ජාතික සභාවේ දෙදෙනකුගෙන් ද ප්රංස සෙනෙට් සභාවේ එක් අයකුගෙන් ද නියෝජනය වෙති. වැඩිහිටි සර්වජන ඡන්ද බලය හිමි ටහිටියානුවෝ සියලු ප්‍රධාන ප්රංස මැතිවරණයන්ට සහභාගි වෙති. මේ අතර ටහිටි නිදහස් ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක වේ.
(කර්තෘ: රන්ජන දේවමිත්ර සේනාසිංහ)
(සංස්කරණය: 2019)