ටාරිම් ගඟ
(Tarim River). වයඹදිග චීනයේ සිංකියෑං (Sinkiang) ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයේ ප්‍රධාන ගංගාව මෙනමින් හැඳින්වේ. ‘ටාරිම්’ශබ්දය විලකට ගලාබසින ගංගාවක ඉවුරක් හෝ කාන්තාරයක වැලි හා සමාන වැලි සහිත ගංඉවුරක් යන අරුත් දෙයි.
බටහිරින් යාකන්ඩ් (Yarkand) හා කා-ෂී-කා-ඉර් (K'a-Shih-Ka-erh) හා එක් ව සෑදෙන ටාරිම් ගංගාව ඊසාන දෙසට කිමී. 370ක් ගලා බැසීමෙන් පසු ආ-කො-සු-හෝ (A-K'o- Su-Ho) හා හෝ-ටියන්-හෝ (Ho-t'ien-Ho) අතුගංගාවන්ට එක් වේ. වසර පුරා ම ගලනුයේ ආ-කො-සු-හෝ ගංගාව පමණි. යාකන්ඩ්-ටාරිම් ගංගාවේ මුළු දිග කිමී. 2,030ක් පමණ වේ. එහෙත් ටාරිම් ගංගාවේ ගමන් මාර්ගය නිතර වෙනස්වන හෙයින් දිග ද ඒ අනුව වෙනස් වෙයි. ටාරිම් ගංගා ද්‍රෝණිය ව.කිමී. 951,500 ප්‍රමාණයකින් යුක්ත වේ.
ආරම්භක ස්ථානයේ සිට නැගෙනහිර දෙසට ගලන ටාරිම් ගංගාව ටක්ලාමකාන් කාන්තාරයේ උතුරු මායිම හරහා ගලාගොස් ලොප් නෝර් (Lop Nor) විලේ වගුරුබිම් ප්‍රදේශයෙන් අවසන් වේ.
ටාරිම් ද්‍රෝණියේ වාර්ෂික වර්ෂාපතනය ඉතා අඩුවන අතර සමහර කාලවල දී වැස්ස නැති තරම් ය. ටක්ලාමකාන් කාන්තාරයට හා ලොප් නෝර් තැනිතලාවට ලැබෙන්නේ මිමී. 10 සිට 12.7 දක්වා වූ අඩු වර්ෂාපතනයකි. බටහිර තුන්ලුන් කඳු වාර්ෂිකව මිමී. 30ක පමණ වර්ෂාපතනයක් ලබයි. උපරිම උෂ්ණත්වය සෙ. 60ක් පමණ වේ. දෙසැම්බර් සිට මාර්තු පමණ දක්වා පවතින ශීත ඍතුවේ දී ටාරිම් ගංගා ජලය මිදී පවතී. ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා කාලයේ දී ටාරිම් ගංගාවේ ජලය අඩුවන අතර වසන්ත ඍතුවේ ආරම්භයෙන් පසු ජලය වැඩි වී මැයි සිට සැප්තැම්බර් දක්වා වැඩි ම වතුර ප්‍රමාණයක් පවතී.
ටාරිම් ගං නිම්නයේ හා ද්‍රෝණියේ ක්ෂේම භූමිවල ජනාවාස කිහිපයක් දක්නට ලැබේ. ටර්කික්වරු, උසබෙල්වරු හා ටාජික්වරු මෙහි වාසය කරන ප්‍රධාන ජනකොටස් අතර වෙති. අතීතයේ සිට ගංගාවේ ජලය වාරිමාර්ග සඳහා යොදා ගැනිණ. මෑත සිට වගා බිම් ප්‍රමාණය පුළුල් වේ. වැඩිවීම මෑත සිට දක්නට ලැබේ. ජලය අඩු අවස්ථාවල දී ප්‍රයෝජන ගැනීමට මෙන් ම ජලය වැඩි අවස්ථාවල දී ගංවතුර වැළැක්වීම සඳහා ද උපයෝගී කරගත හැකි අයුරින් ගඟ හරහා වේලි කිහිපයක් ඉදිකර ඇත.
ටාරිම් නිම්නයේ ගමනාගමනය නොදියුණු තත්ත්වයක පවතී. ක්ෂේමභූමිවල ධාන්‍ය, කපු හා පලතුරු වගා කෙරෙන අතර සිල්ක් හා ලොම් රෙදි නිෂ්පාදනය ද කරනු ලැබේ. ටාරිම් ද්‍රෝණියෙන් ඔබ්බට මේවා යවනු ලබන්නේ ඉතා කලාතුරකිනි.
(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)
(සංස්කරණය: 2019)