ඩ්රුයිඩ්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Druid). කෙල්ටික් (බ.) භාෂා වහරන නියායෙන් ගොඩනැඟුණු අනන්‍යතාවෙන් එක්සත් කෙරුණු කෙල්ට් (කෙල්ට්වරු බ.) වාර්ගිකයින් අතර සිටි උගතුන් හැඳින්වීම පිණිස භාවිත වූ නාමයයි. පූජකයින්, ගුරුවරුන්, වෙදැදුරන්, තාරකා ශාස්ත‍්‍රඥයින්, දේශපාලන උපදේශකයින් සහ විනිශ්චයකරුවන් ලෙස ක‍්‍රියා කළ ඔවුහු උසස් පෙළැන්තියේ අය ලෙස සැලකුණහ. 'දේවදාරු වෘක්ෂයේ පඬිවරයා' යනරුතැති කෙල්ටික් භාෂිත වචනාර්ථයෙන් මෙම නාමය සම්භව වූහයි දැක්වේ. දෙරු (deru) (සිං.දාරු) සහ වේයිඞ් (weid) (සිං.වේද) යන ප‍්‍රාග් ඉන්දු-යුරෝපීය මූලධාතුද්වයෙන් ගම්‍ය 'ගස දන්නා' යනු එහි මුල් අරුතැයි කල්පනා කළ හැකි ය. මොවුන්ගේ ශුද්ධ වූ රැස්වීම් පවත්වන ලද්දේ ද දේවදාරු රුක් ගොමුවල යැයි ද පළවේ. වාර්ෂික මහා රැස්වීම සඳහා ගෝල්හි කේන්ද්‍රය ලෙස සැලකුණු කාර්නීට්ස්හි (The Carnutes) මොවුහු රැස්වූහ. තමන් පිළිබඳ වාර්තා තබා නොගත් හෙයින් මොවුන් පිළිබඳ නිවරද වශයෙන් දත හැකි තොරතුරු අල්ප ය. මොවුන් පිළිබඳ සඳහන් ආදීතම වාර්තා ලැබෙනුයේ ක‍්‍රි.පූ. 4-2 කාලයට අයත් ග‍්‍රීක-රෝම රචනාවන්හි ය. ක‍්‍රි.පූ. 58-50 දී තමා සිදු කළ ගෝල් (Gaul) ආක‍්‍රමණය පිළිබඳ ජූලියස් සීසර් (බ.) විසින් ම පොත් අටකින් රචනා කෙරුණු 'ගෝල් සංග‍්‍රාම සටහන්' (Commentarii de Bello Gallico), මොවුන් පිළිබඳ තොරතුරු රැගත් ප‍්‍රධාන මූලාශ‍්‍රයයි. ඒ අනුව, ගෝල්හි විසූ ගෞරව සම්භාවනාවට පත් පුද්ගල කණ්ඩායම් දෙකෙන් එකක් වූවෝ මොවුහු ය. වන්දනා, බිලිපූජා, පේන කීම් සහ ගෝල්, බ්‍රිතාන්‍ය සහ අයිරිෂ් සමාජයන්හි අධිකරණ ක‍්‍රියාවලිය සංවිධානය කිරීම සම්බන්ධනේ වගකීම් දැරුවෝ මොවුහු ය. මොවුහු අතිශය සංකීර්ණ ආගමික සහ සමාජ සංවිධාන ව්‍යූහයක් යටතේ ගොනුවී සිටියහ. සීසර්ට අනුව, මොවුන් හමුදා සේවයෙන් සහ බදු ගෙවීමෙන් නිදහස් කර සිටි අතර ආගමික උත්සවවලින් මිනිසුන් නෙරපා හැරීමේත් සමාජයෙන් පිටමං කිරීමේත් බලය මොවුන් සතු ව තිබිණ. සිසෙරෝ (Cicero) සහ ටැසිටස් (Tacitus) යන රෝම ශාත‍්‍රඥයින් විසින් ද මොවුන් පිළිබඳ වාර්තා තබා තිබේ. ග‍්‍රීක ඉතිහාසඥයින් වූ ඩියෝඩොරස් සහ ස්ට්‍රේබෝ සඳහන් කරන අන්දමට, මොවුන්ගේ සමාජ පිළිගැනීම කොතරම් ද කිවහොත් හමුදා දෙකක් අතර ඇතිවන්නට යන යුද්ධයක් මොවුන් මැදිහත්වීමෙන් නතර කළ හැකිව තිබිණ. එනයින් මොවුනට එරෙහි වන්නන් දෙවියන් අපහාසයට ලක්කළවුන් සේ සලකා පිටුවහල් කරනු ලැබිණ, නැතහොත් මරණයට පමුණුවනු ලැබිණැයි පළවේ. වීර කතා සහ පුරාණෝක්තිගත පද්‍ය මතකයේ රඳවාගෙන සිටි ඔවුහු ඒවා මුඛ පරම්පරානුගත ව තරුණ ජනයා වෙත පිරිනැමූහ. සීසර් සඳහන් කරන අන්දමට, ඒවා සම්පූර්ණ වශයෙන් කටපාඩමින් උගෙන අධ්‍යයනය කිරීමට වසර විස්සක් දක්වා වන කාලයක් ගතවිය. මොවුන්ගේ සම්භවය පිළිබඳ ප‍්‍රංස වාග්විද්‍යාඥ ජෝර්ජ් ඩුමේසිල් (Georges Dumézil)ගේ මතයට අනුව, මොවුහු ප‍්‍රාග් ඉන්දු-යුරොපීය (proto-Indo-European) සමාජයේ පැවති පූජක පෙලැන්තියෙන් නෂ්ටාවශේෂ පිරිසක් වෙති. පැරණි ඉන්දියානු සමාජයේ සිටි බ‍්‍රාහ්මණයින් මෙනි. වයඹදිග යුරෝපයේ වාසය කළ පූර්ව ඉන්දු-යුරෝපීය ජනයා කෙරෙන් බ්‍රිතාන්‍ය දිවයින්වාසී කෙල්ට්වරුන් විසින් මෙනමින් හැඳින්වුණු සමාජ සංස්ථාව ආසක්ත කර ගන්නට ඇතැයි තවත් මතයෙකි. රහස් ලේඛන ව්‍යවහාරයක් සේ සැලකෙන ඕගම් (Ogham) නමැති අයර්ලන්තයේ සහ මහා බ්‍රිතාන්‍යයේ දක්නට ලැබෙන අක්ෂර නිපදවූයේ මොවුන් බවට පුරාතත්වඥ ආර්.ඒ. ස්ටුවර්ට් මැකාලිස්ටර් (R.A. Stewart Macalister) මත පළ කර තිබේ. මොවුන් සාක්ෂරතාවෙන් යුක්ත වූවන් යැයි සැලකෙන නමුත් ඔවුන්ගේ ආගමික විශ්වාස විසින් එකී ඇදහිලි ධර්මය ග‍්‍රන්ථාරූඪ කිරීමෙන් ඔවුන් වලක්වනු ලැබිණ.

මොවුන්ගේ ආගමික ඇදහිලිවල යම් යම් අංශ පිළිබඳ පමණක් තොරතුරු අනාවරණය වී තිබේ. ඇලෙක්සැන්ඩර් කෝර්නේලියස් පොලිහිස්ටර් (Alexander Cornelius Polyhistor), ජූලියස් සීසර් සහ ඩියෝඩොරස් සඳහන් කර අන්දමට, ආත්මය නොමියෙන බවටත් එය වසර කිහිපයකින් ඉක්බිති නව දේහයක නව උත්පත්තියක් ලබන බවටත් විශ්වාසයක් මොවුන් තුළ විය. එනයින්, පයිතගරස්ගේ පශ්චාත් මරණ ආත්ම සංචරණය පිළිබඳ ඉගැන්වීම හෙවත් පුනර්භවය මොවුන් විශ්වාස කළ බවක් ග‍්‍රීක-රෝම දෘෂ්ටියෙන් ඔවුහු නිරීක්ෂණය කළහ. ස්කොට් ජාතික ජනශ‍්‍රැති පර්යේෂක ඩොනල්ඞ් ඇලෙක්සැන්ඩර් මැකන්සි විසින් මේ සම්බන්ධයෙන් උපකල්පනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අශෝක අධිරාජයා විසින් බෞද්ධ ධර්ම ප‍්‍රචාරකයින් මෙම පෙදෙස්වලට පිටත්කොට හරින්නට ඇති බවයි. පොදු ඉන්දු-යුරෝපීය මූලයන් පිළිබඳ දක්වමින් මෙම විශ්වාසය පැහැදිලි කිරීමට සමහරෙක් නැඹුරුතාවක් දක්වති. මීට අමතර ව යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ද අතිවිශාල දෙවිදේවතාවුන් කට්ටුවකට පුදපූජා පැවැත්වීම ද වෘක්ෂ සහ ජල මූලාශ‍්‍ර වැනි සොබාදහමේ වස්තු වන්දනය ද මොවුන් අතර ප‍්‍රචලිත ව තිබිණැයි දැක්වේ.

ඖෂධයක් වශයෙන් මෙන් ම අනාගත සිද්ධි ප‍්‍රකාශ කිරීමේ දීත් උපයෝගී කොට ගැනුණු, පිළිල ශාක ගණයට වැටෙන, ප‍්‍රභේද 70-100ක් පමණ ඇති විස්ක්‍යුම් (Viscum) වර්ගයේ විශේෂිත ශාක ප‍්‍රභේදයක් නෙලා ගැනීමේ ක‍්‍රියාදාමය මොවුන්ගේ චාරිත‍්‍රයන්හි විශේෂ ස්ථානයක් ගති. ඒවා වැඩිය යුත්තේ දේවදාරු රුක්හි යැයි කියැවේ. දිගු කාලයක් පුරා නියැලූණු එම කටයුත්තෙන් ඉක්බිති සඳ මෝදු වන හවැනි දිනයේ දී උත්සවයක් පවත්වනු ලැබිණි. එහි දී බිලිපූජා පැවැත්වීමේ චාරිත‍්‍රයක් ද ප‍්‍රචලිත ව පැවතිණි. සුදු ඇඳුමෙන් සැරසුණු පූජකයා ගසට නැඟ රන් දෑකැත්තෙන් එකී ශාක විශේෂය කපා සුදු කබායක් මත තැන්පත් කිරීමට පෙර, එම ගස පාමුල ස්ථානය බිලිපූජාව පැවැත්වීමත් උත්සවශ‍්‍රීයෙන් ආහාර අනුව කිරිමත් පිණිස පිළියෙල කරනු ලැබිණ. අං යා කොට බඳින ලද සුදු ගවයින් දෙදෙනකු ඉනික්බිති එතැන්හි ම බිලි දෙනුයේ දෙවිදේවතාවුන් උදෙසා ස්තෝත‍්‍ර ගායනා කරමිනි. එම චාරිත‍්‍ර ඉටුකිරීමෙන් පසු කපා ගත් ශාක විශේෂය ඕනෑ ම විෂකට ප‍්‍රතිවිෂක් ලෙස භාවිත කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසය විය. සිය දෙවිදේවතාවුන්ගෙන් මොවුන් පිළිසරණක් බලාපොරොත්තු වූයේ මිනිස් බිලි පුදදීමෙන් පමණකැයි ජූලියස් සීසර්ගේ සටහන්හි පැනේ. බිලිදීම සඳහා උපයෝගී කරගන්නා ලද්දේ සිරභාරයේ සිටි සතුරන් හෝ අපරාධකරුවන් ය. එවැන්නන් නොමැති අවස්ථාවල දී අහිංසක මිනිස්සු බිලිවූහ. සීසර්ගේ විස්තරකථනය පදනම් කරගනිමින්, විලෝ අතුවලින් සෑදූ මිනිසකු හැඩැති කූඩුවක බහා මිනිසුන් පුළුස්සා දමාලූහයි ප‍්‍රබන්ධයක් පශ්චාත්කාලීන ව නිර්මාණය විය. එහෙත් එබැව් සනාථ කරන්නා වූ පුරාවිද්‍යාත්මක සාධක අනාවරණය වී නැත. රෝමවරුන් පරිදි ම මිනිසුන් බිලිදීමේ චාරිත‍්‍රය ඉටුකිරීමට මොවුන් පෙළඹුණේ ඉතාම හදිසි අවස්ථාවන්හි දී පමණකැයි යන මතය වඩාත් පිළිගැනීමට ලක් ව තිබේ. මොවුන් විසින් මිනී මස් ආහාරයට ගැනීම පිළිබඳ ව ප්ලිනි (ජ්‍යෙෂ්ඨ) සඳහන් කරයි. ග්ලෝස්ටෙෂයර් (Gloucestershire) කෝරළයේ දකුණුදිග ප‍්‍රදේශයේ ඇල්වෙස්ටන් (Alveston) ගුහාවෙන් සොයා ගැනුණු කාන්තාවන්ගේ ද ඇතුළු නෂ්ටප‍්‍රාප්ත මානව දේහ 150ක පමණ ප‍්‍රමාණයත්, චෙශයර් (Cheshire) කෝරලයේ ලින්ඩෝ-මොස් (Lindow-Moss) නමැති ස්ථානයේ පිහිටි දැවබතින් සැදුණු වගුරක තිබී සොයා ගැනුණු ලින්ඩෝ මිනිසා (Lindow Man) (බ.) යැයි ප‍්‍රකට වූ හොඳින් ආරක්ෂා වී තිබූ මානව දේහයත් පරික්ෂාවට ලක් කිරීමේ දී සනාථ වූයේ ඔවුන් බිලිදීමට ලක්වූවන් බවත් ඔවුන්ගේ ඇට මිදුළු ඇතුළු මාංශ කොටස් ආහාරයට ගෙන තිබෙන බවත් ය. පොරවක් හෝ අසිපතක් භාවිතයෙන් මෙම බිලිපූජා සිදු කර ඇති බවත්, අස්ථිවල ඛනිජ සංයුතිය පරීක්ෂාවෙන් බිල්ලට හසු වී ඇත්තේ එම ප‍්‍රදේශයේ ම ජීවත් වූවන් බවත් තහවුරු වී ඇත. මෙම නෂ්ටාවශේෂ ක‍්‍රි.ව. පළමු සියවසට දිනනිර්ණ කෙරී තිබේ. එනයින්, මෙම පිදවිලි රෝම හමුදා විසින් බ්‍රිතාන්‍ය දූපත් ආක‍්‍රමණය කළ කාලයට (ක‍්‍රි.ව. 40-60) අයත් වන බවටත් ඔවුනට විරුද්ධ සටනේ දී දෙවිදේවතාවන්ගේ අනුග‍්‍රහය අපේක්ෂාවෙන් මෙම බිලි පුද දෙන්නට ඇති බවටත් මතයක් ඉදිරිපත් ව තිබේ. එහෙත් එමඟින් රෝමන්වරුන්ගෙන් බේරී සිය ස්වාධීනත්වය රැක ගැනීමට මොවුහු අසමත් වූහ. මොවුන්ගේ බලකොටුව බවට පත් ව තිබූ උතුරු වේල්සයේ ඇන්ගල්සි (Anglesey) හෙවත් මෝනා දිවයින ආරක්ෂා කරගෙන සිටියවුන් ඝාතනය කර රෝමන්වරුන් විසින් සිය ග‍්‍රහණයට ගත්තෙන් එහි වූ මොවුන්ගේ ශුද්ධස්ථාන සහ ශුද්ධත්වයෙහි ලා සැලකුණු ශාක විනාශ කොට දැමිණි. දෙවන රෝම අධිරාජ ටයිබීරියස්ගේ පාලන සමයේ දී (ක‍්‍රි.ව.14-37) මොවුන්ගේ ආගමික භාවිතාවන් තහනම් කරන නීති හඳුන්වා දෙනු ලැබිණ. ඒ වන විට පළමු රෝම අධිරාජයා වූ ඔගස්ටස් විසින් කිසිදු පුද්ගලයකුට ඞ්රුයිඞ්වරයකු සහ රෝම පුරවැසියකු යන දෙයාකාරයෙන් ම එකවර තමන් අනන්‍යකරණය කළ නොහැකි බවට තහනම් නියෝගයක් පැණවිණ. ක්ලෝඩියස් අධිරාජයාගේ පාලන සමයෙහි (ක‍්‍රි.ව.41-54) ඞ්රුයිඞ් ආගමික භාවිතාවන් දැඩි තහනමට ලක් කෙරිණ. එම රෝම නීති මෙන් ම පසු කලෙක කිතුනු ආගම ද විසින් ක‍්‍රි.ව. 5 වන සියවස වන විට මොවුන්ගේ පැවැත්ම අවසානය කරා රැගෙනවිත් තිබිණ.

යුරෝපයේ සම්භාව්‍ය පෞරාණික ඉතිහාසය විමසීමේ උද්‍යෝගයක් ඇති වූ 17-18 සියවස්හි මොවුන් කෙරේ එංගලන්තයේ කුතුහලයක් ඇති විය. මොවුන් සම්භව වීමට බොහෝ කලෙකට පෙර ඉදිකෙරුණු ස්ටෝන්හෙන්ජ් (Stonehenge) (බ.) වැනි බ්‍රිතාන්‍යයේ මහා ශිලා යුගයේ නිර්මාණ පවා එංගලන්ත ලේඛක සහ ඉතිහාස ගවේෂක ජෝන් ඕබ්‍රි (John Aubrey) (1626-97) විසින් මොවුන්ගේ නිර්මාණ යැයි හඳුන්වා දෙනු ලැබිණි. බ්‍රිතාන්‍ය වෛද්‍ය සහ ඉතිහාස පර්යේෂක විලියම් ස්ටීක්ලි (William Stukeley) (1687-1765) මොවුන් කිතුනු දහමට සමීප, සෙමිටික් සම්භවයක් ඇති ඒබ‍්‍රහම් ඇදහීම් ඇති ආගම්හි (Abrahamic religions) අනුගාමිකයින් ලෙස සැලකී ය. නැපෝලියානු යුද්ධ සහ පළමු ලෝක මහා සංග‍්‍රාමය අතර කාලයේ යුරෝපයේ බලපැවැත්වූ රොමෑන්තික ජාත්‍යෝන්මාදවාදී යුගයේ දී ඕබ්‍රිගේ සහ ස්ටීක්ලිගේ එකී සාවද්‍ය ඉගැන්වීම් තවදුරටත් වර්ධනය කරනු ලැබිණි. එනයින් මොවුන් කෙරෙන් රෝමන්වරුන්ට විරුද්ධ අරගලයේ සැබෑ වීරයින් දුටහ. ඉංග‍්‍රීසි රොමෑන්තිකවාදී සාහිත්‍යයෙහි සොබාදහම සමඟ අත්‍යන්තයෙන් බද්ධ වූ අද්භූතත්වයේ ආලෝක කදම්බයෙන් වැසීගත් විස්මිත පුද්ගල රූපයක් මොවුන් කෙරෙන් ගොඩනඟනු ලැබිණ. වේල්සයේ වාසය කරන කෙල්ටික් ගායකයින් සහ කවියන් වන බාර්ඞ්වරුන් (Bard) සහ මන්දිර ගායකයින් සහ අනාගත වක්තෘක හැකියා ඇති ෆිලීවරුන් (Filí) මොවුන්ගේ ආධ්‍යාත්මික උරුමයේ ආරක්ෂකයින් සේ සැලකේ. එකල ජනප‍්‍රිය සාහිත්‍යයටත් සංගීතයටත් මොවුන් පිළිබඳ තේමාව අවතීර්ණ විය. ඉංග‍්‍රීසි ජාතික චිත‍්‍ර ශිල්පියෙක් සහ කවියෙක් වූ විලියම් බ්ලේක්ගේ (William Blake) සහ අයර්ලන්ත දාර්ශනික ජෝන් ටෝලන්ඞ්ගේ (John Toland) ක‍්‍රියාකාරකම් කෙරෙන් උත්තේජනය ලත් නව ඞ්රුයිඞ් ව්‍යාපාරයක් 1909 දී එංගලන්තයේ බිහිවිය. සුබසාධන කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය කොමිසම විසින් 2010 ඔක්තෝබර් 2 වන දින සොබාදහමට අරක්ගත් ආත්මයනට ඞ්රුයිඞ්වරුන් කරන වන්දනය ආගමක් ලෙස පිළිගනු ලැබිණ. 2003 වසරේ බීබීසී ප‍්‍රවෘත්ති වාර්තාවනට අනුව, බ්‍රිතාන්‍ය ජාතිකයින් දසදහසකට අධික සංඛ්‍යාවක් තමන් ඞ්රුයිඞ්වරුන් යැයි පිළිගෙන තිබේ.

කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ

(සංස්කරණය නොකරන ලද-2022)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩ්රුයිඩ්&oldid=3744" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි