ඩ්‍රෙසොෆිලා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Drosophila) විනාකිරි මැස්සා (vinegar fly) හෙවත් පොමේස් මැස්සා (Pomace fly) යනුවෙන් ද හැඳින්වේ. ඩිප්ටෙරා (diptera) කෘමි ගෝත්‍රය යටතේ ඩ්‍රොසොෆිලිඩේ (Drosophilidae) කෘමි කුලයට අයත් කෘමි ගණයකි. ඩ්‍රොසොෆිලා මැස්සා, පළතුරු මැස්සා යනුවෙන් ද ඇතැම්විට වරදවා හඳුන්වනු ලැබේ. ඩ්‍රොසොෆිලා විශේෂ 1,000ක් පමණ දැන් ඇත. මේ අතරින් ඇතැම් විශේෂ විශේෂයෙන් ම ඩ්‍රො. මෙලනොගස්ටෙර් (D.melanogaster), ප්‍රවේණි විද්‍යාව හා පරිණාමය අදාල පරීක්ෂණාගාර හා ක්‍ෂේත්‍ර පරීක්ෂණ සඳහා පුළුල් ලෙස භාවිත කෙරේ. පහසුවෙන් බෝ කර ගැනීමට හැකි වීමත් ඉතා කෙටි ජීව චක්‍රයක් තිබීමත් නිසා මේ විශේෂය එම කටයුතු සඳහා ඉතා යෝග්‍යය වේ. සාමාන්‍ය උෂ්ණත්වයේ දී මෙම මැස්සාගේ ජීවන චක්‍රය සම්පූර්ණ විමට ගතවන්නේ සති දෙකකටත් අඩු කාලයකි. අන් කිසි ම ජීවියෙකුගේ ප්‍රවේණිය අදාලව ඩ්‍රොසොෆිලා මෙලනොගස්ටෙර් ලබා නැති තරම් දත්ත ප්‍රමාණයක් මේ විශේෂය පිළිබඳව රැස්කරගෙන ඇත. පරිණත ඩ්‍රොසොෆිලා කීටයන්ගේ ඛේට ග්‍රන්ථිවල අඩංගු යෝධ වර්ණ දේහ (Jiant Chromosomes) විශේෂයෙන් ප්‍රවේනි විද්‍යාව හා අදාළ අධ්‍යනවල භාවිත වේ.

ස්වභාවික පරිසරය තුල ඩ්‍රොසොෆිලාගේ ජීව විද්‍යාව පිළිබඳ එතරම් සවිස්තර ව දැන නැත. ඇතැම් විශේෂයන්ගේ කීටයෝ කුණු වූ පළතුරුවල ජීවත් වෙත්. පරිණත ඩ්‍රොසොෆිලා මැස්සෝ, පැසීමට ලක්වන ශාක යුෂය කෙරෙහි තදින් ආකර්ෂණය වෙමින් එම යුෂය ආහාරයට ගනිති.

(කර්තෘ: ජයන්ති පින්නගොඩ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩ්‍රෙසොෆිලා&oldid=4715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි