ඩ්‍රේපං සංඝාරාමය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Drepung monastry). චීනයට අයත් තිබ්බත ස්වයං පාලන ප‍්‍රදේශයේ ළාසා නුවරට කිමී.8ක් බටහිරට වන්නට පිහිටි ගෙෆල් (Gephel) කඳු පාමුල ස්ථාපිත, දෙවන නාලන්දා විශ්වවිද්‍යාලයය යැයි ප‍්‍රකට බෞද්ධ සංඝාරාම සංකීර්ණයයි. තිබ්බතයේ ගෙලූග් නිකායයට අයත් ගේඩන් (Gaden) සහ සෙරා (Sera) යන සංඝාරාම දෙක සම`ග මහා ආසන තුන හෙවත් මහා නායක පදවි තුන යැයි ප‍්‍රකට, අතීතයේ දී රාජ්‍යානුග‍්‍රහය ලත් මහා සංඝාරාම තුනෙන් ධාන්‍යාකාර ව ඉදිකරන ලද බෞද්ධාශ‍්‍රමයයි. ධාන්‍ය එක්රැස් කිරීම වනාහි තිබ්බත බසින් නාමයෙහි අරුතයි. බෞද්ධයින්ගේ වන්දනාවට පාත‍්‍ර වන තිබ්බතයේ පිහිටි විශාලතම බෞද්ධ පූජ්‍යස්ථානයයි. සිකීමයේ, භූතානයේ සහ තිබ්බතයේ දේශපාලන නිලධාරියකු ලෙස පත් කරසිටි විශ‍්‍රාමික බ්‍රිතාන්‍ය හමුදා නිලධාරී ෆ්‍රෙඞී ස්පෙන්සර් චැප්මන් 1936-37 සිදුකළ සිය තිබ්බත සංචාරයෙන් ඉක්බිති සඳහන් කර තිබෙන අන්දමට, භික්ෂූන් 7,700ක් වැඩවාසය කළ, එකල ලොව පිහිටි විශාලතම සංඝාරාමයයි. තිබ්බත බෞද්ධ චින්තා සහ විද්‍යා ශාස්ත‍්‍ර උගැන්ම, ධ්‍යානනය සහ පිළිවෙත් පිළිපැදීම පිළිබඳ ලොව සුපතල මධ්‍යස්ථානයකි.

මෙම ආරාමය බිහිවීම හා සබැඳි පුරාවත් කිහිපයෙකි. බුදුන් වදාළ ලංග්ෂෙග් සූත‍්‍රයේ දැක්වෙන පරිදි, මධෝපා නාගරාජයන් බුදුන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ දී පූජා කරන ලද ධවල ශංකය වමත් සවු මොග්ගල්ලාන තෙරුන් වහන්සේට භාර දෙන ලදුව තිබ්බතයේ ගේඩන්හි පිහිටි සුදු `එෑණු කන්ද යනරුතැති ගොග්පා රි කන්දේ මිහිදන් කරන ලෙස උපදෙස් දුන් සේක. අනාගතයේ දී පද්ම පාරිශුද්ධත්වයෙන් හෙබි භික්ෂූන් වහන්සේ නමක් විසින් මෙය සාරා ගොඩගනු ඇති බවත් ඉනික්බිති සොග්ධුං හෙවත් ආධ්‍යාත්මික මන්ත‍්‍රණය සඳහා එක්රැුස් කරවීමේ සංඥා නිකුත් කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිතයට ගැනෙනු ඇති බවත් එම සූත‍්‍රයේ දක්වා තිබේ. එම ස්ථානය මේ යැයි විශ්වාස කෙරේ.

ක‍්‍රි.ව.1416 දී මෙම සංඝාරාමය ඉදිකරන ලද්දේ ගෙලූග් නිකායාරාම්භක ආගමික ප‍්‍රතිසංස්කරණවාදියා, දාර්ශනිකයා, බෞද්ධ ධර්ම ප‍්‍රචාරකයා සහ ටිබෙට් බුදුසමයේ දෙවන බුදුන් ලෙස සැලකුම් ලබන ජේ සොංඛාපා (Je Tsongkhapa) හෙවත් ලොසාං ද්‍රාක්පා නමින් ප‍්‍රකට හිමියන්ගේ සමීපතම ගෝල හිමිනමක වූ ජම්යාං චොජෙ තාශී පාල්ඩෙන් (Jamyang Choje Tashi Palden) විසිනි. ගන්දේන් සංඝාරාමයට එපිටින් වූ කන්දෙහි නිධන් කර තිබූ වස්තුවක් සේ සාරා ගොඩ ගත් බව දැක්විය යුතු ධවල ශංකය මෙම ආරාමය පිහිටුවා වදාළ භික්ෂුවට පිරිනමන ලද්දේ උන් වහන්සේගේ ගුරු හිමියන් විසින් බව තවත් පුරාණෝක්තියක දැක්වේ. එතන්හි පිහිටි මුල් සංඝාරාමයට වඩා විශාල, උත්කෘෂ්ටාංලකාරයෙන් හෙබි නව සංඝාරාමයක් ස්ථාපිත කළ යුතු බව ගුරු හිමියෝ අනුදැන වදාළහයි පළවේ. මෙම සංඝාරාමය ස්ථාපිත කරන ලද්දේ ථෙරවාද ලිත් ක‍්‍රමයට අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 1960ක් ඉක්මගිය අවස්ථාවේ දී ය. එකල්හි මධ්‍යම තිබ්බතයේ දේශපාලන නායක ව සිටි නෙපෝන් නම්කා සංපෝ (Neupon Namka Zangpo) මෙහි පළමු අග‍්‍ර දායකයා වශයෙන් පත්කරගනු ලැබිණ.

ආරම්භයේ දී ධර්ම මන්දිරය ලෙසත් සංඝාවාසය ලෙසත් සේවයෙහි යොදවා ගත් එක් කුඩා ගොඩනැඟිල්ලකින් පමණක් සමන්විත වූ මෙම සංඝාරාමය ඉනික්බිති අනුක‍්‍රමයෙන් සභා ශාලාව, තාන්ත‍්‍රික ශාලාව, බුද්ධ කාය ශාලාව, දේශනා පුහුණු සහ මනස් ශික්ෂණ ශාලා සහ භික්ෂු කුටි ඉදිකොට පුළුල් කෙරිණ. ඒ සඳහා අවශ්‍ය සියලූ අමුද්‍රව්‍ය සපයන ලද්දේ පළමු දායක භවතා විසිනි. එතුමා විසින් මෙහි භික්ෂූන් වහන්සේට පරිෂ්කාර පූජා ද කරනු ලැබිණි. පසුකාලීනව මෙය කොතරම් විශාල ආරාමයක් බවට පත්විණි ද යත් ටිබෙටය පුරා ද ඉන් පිටත ද මෙම ආරාමයට අයත් පන්සල් පැවතිණ. මෙය පිහිටුවා වදාළ භික්ෂූන් වහන්සේ විසින් උන් වහන්සේ නායක පදවිය දැරූ වසර 32ක කාලය තුළ මෙම සංඝාරාමය සූත‍්‍ර පිටකය කෙරේ වැඩි අවධානය යොමු කරමින් පුළුල් වශයෙන් ත‍්‍රිපිටක ධර්මයත් තාන්ත‍්‍රික ධර්මයත් සාකච්ඡුා කෙරෙන සුප‍්‍රකට මධ්‍යස්ථානයක් බවට පත් කෙරිණ. මෙම ධර්ම සාකච්ඡුා පිළිබඳ උනන්දුවක් දැක්වූ භික්ෂූන් වහන්සේ රැස් ව තෙමේ ම කණ්ඩායම් හතකට බෙදී ධර්ම ශාස්ත‍්‍රීය සාකච්ඡුා කෙළෙන් මහා පර්ෂද හතක්, ඒවාට වෙන් කෙරුණු වෙනම ගොඩනැඟිලි සහිත ව ස්ථාපනය විය. ඒ ගොමෑං (Gomang), ලොසෙලිං (Loseling), ඩෙයෑං (Deyang), න්ගග්පා (Ngagpa), දුල්වා (Dulwa), ශග්කෝර් (Shagkor) සහ ගියල්වා (Gyalwa) හෙවත් ටොසැම්ලිං (Tosamling) යනු වශයෙනි. එයින් අවසානයේ සඳහන් පර්ෂද තුන පසු කලෙක සෙසු ඒවා හා බද්ධ වී සිය අනන්‍යතාව අහෝසි කර ගත්තේ ය. එනයින් ගොමෑං සහ ලොසෙලිං පර්ෂද සූත‍්‍ර ද න්ගග්පා පර්ෂදය තන්ත‍්‍ර ද ඩෙයෑං පර්ෂදය සූත‍්‍ර සහ තන්ත‍්‍ර යන දෙක ම ද අධ්‍යයනය කෙරේ විශේෂ වශයෙන් ප‍්‍රකට විය. භික්ෂු පරම්පරා ලෙස විකාශනය වූ මේවායෙහි මහා නායක හිමිවරයෙක් ප‍්‍රධානත්වය දැරූ අතර උන් වහන්සේ මෙම සංඝාරාමය පිහිටුවා වදාළ භික්ෂූන් වහන්සේගේ ගෝල පරපුරට අයත් වූහ. ඒ ඒ පර්ෂදයෙහි වයස්ගත ම භික්ෂුව මහනායක පදවියට පත්කිරීමේ සම්ප‍්‍රදායයක් පසු කලෙක ස්ථාපිත විය. මෙහි බහුතර භික්ෂූහු සිය ආධ්‍යාත්මික ශක්තිය ප‍්‍රගුණ කිරීමට කැපවීමෙන් ක‍්‍රියා කළ අතර සෙසු භික්ෂූහු සංඝ සමාජයේ සුබසාධනය පිණිස කටයුතු කළහ.

1578 දී දලයි ලාමා (බ.) පදවිය ස්ථාපනය වූයේ ද මෙම සංඝාරාමය ආශ්‍රිත ව ය. දෙවන දලයි ලාමාගේ සිට පස් වන දලයි ලාමා දක්වා වූවෝ මෙම සංඝාරාමයෙහි අධිපති ධුරය දැරුවා පමණක් නොව, දලයි ලාමා පදවියේ ශීත කාලයේ නිල නිවස වූ පොතාලා මන්දිරය (Potala Palace) ඉදිකිරීමට ප‍්‍රථමයෙන්, මෙය සිය නිල නිත්‍ය වාසස්ථානය බවට ද පත් කර ගත්හ. තිබ්බත ආණ්ඩුව හැඳින්වීමට භාවිත කෙරෙන ගංඩෙන් පෝඩ‍්‍රෑං (Ganden Podrang) නාමය සම්භව වූයේ ද මෙම ආරාමයෙහි ඇති දලයි ලාමාතුමාගේ නිල නිවසේ නාමයෙනි. පස්වන දලයි ලාමාතුමාගේ සිට දලයි ලාමා පදවිය තිබ්බතයේ ආගමික මෙන් ම ලෞකික නායක තනතුර ද වශයෙන් පිළිගනු ලැබීමෙන් ඉක්බිති එකී තනතුර සඳහා නව නිල නිවාසයක් ඉදිකරනු ලැබිණ. එහෙත් දලයි ලාමාවරුන්ගේ සාම්ප‍්‍රදායික නිල නිවස පිහිටියේ මෙම සංඝාරාමයේ වන හෙයින් මෙහි පැමිණ නවාතැන්ගෙන සිටීම සාමාන්‍ය සම්ප‍්‍රදායයක් විය.

මෙහි නායක හිමිවරුන් තිබ්බතයේ දේශපාලනයෙහි වැදගත් කාර්ය කොටසක් ඉටු කළ අතර ඔවුහු දලයි ලාමාවරුනට අතිශය සමීප භික්ෂූන් වහන්සේ වූහ. ඔවුහු බාල වයස්කාර දලයි ලාමාවරුන් පත්වන කල ඔවුන්ගේ ප‍්‍රතිශාසකයින් ව ක‍්‍රියා කළ අතර රජයේ උසස් තනතුරු හෙබවූහ. මෙහි වසන භික්ෂු සංඝයාගේ සංඛ්‍යාව 7,760ක් යැයි පොදු පිළිගැනීමක් පැවතිය ද භූමි ප‍්‍රමාණයෙන් වමී.20,000-25,000ක් පමණ වූ මෙහි සත්‍ය වශයෙන් වැඩවාසය කළ භික්ෂු පිරිස ඊට වඩා දහස් ගණනකින් වැඩි විය. 1959 දී චීනය විසින් තිබ්බතය ඈඳා ගැනීමට පෙර මෙය 15,000කට අධික භික්ෂූන් වහන්සේට වාසස්ථාන වූ බැව් පැවසේ.

චීනයේ සංස්කෘතික විප්ලව සමයෙහි මෙම සංඝාරාමයට හානි පමුණුවනු ලැබිණි. එහෙත් ප‍්‍රධාන රැස්වීම් ශාලාව ද ලොසෙලිං, ගෝමාන්, න්ගග්පා, දෙයාං නමැති විශ්වවිද්‍යාල පීඨ ලෙස ක‍්‍රියාත්මක වූ ශාලා ද දලයි ලාමා පදවියේ පැරණි නිල නිවාසය වූ ගංඩෙන් පෝඩ‍්‍රෑං මන්දිරය ද ආරක්ෂා වී පැවතුණි. එකල තිබ්බත සරණාගතයින් සමඟ මෙම ආරාමවාසී දහස් සංඛ්‍යාත භික්ෂූහු ඉන්දියාවට සංක‍්‍රමණය වී බටහිර බෙංගාලයේ බක්ස ඩුවාහි (Buxa Duar) අවු.9ක් සිය පැරණි සම්ප‍්‍රදායයන් රැකගෙන ක‍්‍රියා කළෝ ආහාර සලාක අනුග‍්‍රාහක වැඩසටහනක් නිසා ය. ඉක්බිති ඉන්දීය අග‍්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු විසින් ඉඩම් වෙන් කොට අවසර දෙන ලදුව ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයෙහි උතුරු ප‍්‍රදේශයේ මුන්ගෝඞ් නගරාසන්නයේ මෙනමින් නව විශ්වවිද්‍යාලයීය සංඝාරාමයක් දකුණු ඉන්දියාවට පලා ආ තිබ්බත සරණාගතයින් විසින් ආරම්භ කරනු ලැබිණ. එහි ගෝමාන් සහ ලොසෙලිං යන විශ්වවිද්‍යාල පීඨ ලෙස ක‍්‍රියාත්මක වන ආරාම දෙකෙහි භික්ෂූන් වහන්සේ පන්දහසක් පමණ අධ්‍යාපනය ලබති. මෙයින් ගෝමාන් ආරාමයේ නා නා බස් වහරන ජන කොටස් නියෝජනය කරන විශාල භික්ෂු සංඝයක් සාම්ප‍්‍රදායික ව වාසය කරති. ඒ අතර, ආගමික සහනශීලිත්වයෙන් තොර වූ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් අනුගිය සෝවියට් දේශයේ සිට වැඩම කළ බුර්යාත් (බුර්යාතියාව බ.), කාල්මිකී (කාල්මිකියාව බ.) සහ තිවා (බ.) ජාතික භික්ෂූහු ද වූහ. 1960 අග සිට ගෝමාන් ආරාමයේ හම්බෝ ලාමා හෙවත් මහ නායක පදවිය දරන ලද්දේ අග්වාන් නිමා නමැති බුර්යාත් භික්ෂූන් වහන්සේ විසිනි.

2008 දී ආගමික නිදහස ඉල්ලා තිබ්බත භික්ෂූන් වහන්සේ සහ ගිහියන් විසින් ළාසාහි දී සිදු කරන ලද උද්ඝෝෂණ මැඬලීමේ දී සිය ගණනක් මිය ගිය බවත් දහස් ගණනක් අත්අඩංගුවට පත් වූ බවත් සමහර හිමිවරුන් මෙම ආරාමයෙන් අතුරුදහන් වූ බවත් පළ වන අතර ඉන් ඉක්බිති වසර පහක කාලයකට වසා දමා තිබුණු මෙම සංඝාරාමය චීන පාලනයේ දැඩි අධීක්ෂණයට යටත් ව 2013 දී යළි විවෘත කරන ලද බවත් වාර්තා වේ. මෙහි වත්මනෙහි වැඩ සිටිනුයේ භික්ෂූන් වහන්සේ තුන් සියයක පමණ සංඛ්‍යාවකි. කෞතුකාගාරයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මෙහි සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති.

මෙහි මහත් රාශියක් චීන පෝසිලේන් (බ.), ටංකා (බ.) සිතුවම්, බුද්ධ සහ බෝධිසත්ව ලෝකඩ පිළිම පූජ්‍ය වස්තු වශයෙන් පවතී. විශේෂයෙන් සකසක ලද පේලා 54ක සුරක්ෂිත ත‍්‍රිපිටක පාදක ටංකා සිතුවම් 108 මෙහි ඇති දුර්ලභ කෞතුක භාණ්ඩ එකතුවකි. චීනයේ කිං (Qing) පෙළපතේ ශුංෂි (Shunzhi) අධිරාජයා විසින් පස්වන දලයි ලාමාතුමන්ට තෑගි කරන ලද නෙත්කලූ කැටයමින් අලංකෘත, සඳුන් දැවයෙන් නිර්මිත පාදමින් සැදි, හිඳි ඉරියව්වෙන් වැඩ සිටින මංජුශ‍්‍රී බෝධිසත්ත්ව රූප දෙපැත්තෙහි ම නිරූපිත මී.1.29ක් උස 'මංජුශ‍්‍රී ලෝකඩ දර්පනය' මෙහි තැන්පත් තවත් වටිනා වස්තුවකි. මහා සභා ශාලාවෙහි තැන්පත් අවිආයුධ තිබ්බත සංස්කෘතික සහ යුද කටයුතු ඉතිහාසය පිළිබඳ පර්යේෂණයෙහිලා වැදගත් සාක්ෂ්‍ය වෙයි. ශෝටෝන් නමින් හැඳින්වෙන කෘමි සතුන් පෑගීමෙන් වැලකී සිටිනු වස් සියලු භික්ෂූන් ආරාමවලින් පිටතට නොපැමිණ සිටින (වස් කාලයෙහි) සමයෙහි, එනම් තිබ්බත දින දර්ශනයට අනුව ජූලි පළවෙනිදා සිට සැප්තැම්බර් පළවෙනිදා හෝ හත්වෙනිදා දක්වා කාලයෙහි, වසර 500ක පමණ ඉතිහාසයක් ඇති මෙම සංඝාරාමයේ තැන්පත් කර තිබෙන ශාක්‍යමුනීන්ද්‍රයන්ගේ රුව සහිත සුවිශාල ටංකාවක් දිගහැර ප‍්‍රදර්ශනය කිරීමට සලස්වා පවත්වන උත්සවය මෙම ආරාමයෙහි පැවැත්වෙන ප‍්‍රධාන උත්සවයයි. මෙයට බෞද්ධාගමිකයෝ මෙන් ම සංචාරකයෝ විශාල පිරිසක් ද සහභාගී වෙති.

කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ

(සංස්කරණය නොකරන ලද-2022)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩ්‍රේපං_සංඝාරාමය&oldid=3741" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි