ඩාන්ටේ අලිහියරි
(Dante Alighieri-දන්තේ අලිගියෙරි-ඉතාලි). (1265-1321). ඉතාලි සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කවියා ලෙස සැලකෙන ඩාන්ටේ යුරෝපීය සාහිත්‍ය ලෝකයේ විශිෂ්ඨතම පුද්ගලයකු ලෙස ද සම්මානයට පාත්‍ර වන්නකි.
ඩාන්ටේගේ ඉතා ප්‍රසිද්ධ නිර්මාණ නම් 1308 දී ලිවීම අරඹා 1321 සිය මරණයට පෙර අවසන් කළ La Divina Comedia ('දිව්‍යමය සුඛාන්තය') නම් මහා කාව්‍යයයි. ලතින් භාෂාව උසස් සාහිත්‍යයේ මධ්‍යව පැවති මධ්‍යකාලීන යුගයෙහි දී සිය මව්බස වන ඉතාලි භාෂාව මහා කාව්‍යයක් නිර්මාණය සඳහා යොදාගැනීමෙන් සාහිත්‍ය මාධ්‍යයක් වශයෙන් ඉතාලි භාෂාවේ අනාගත වර්ධනය සඳහා ඔහුගෙන් වූ සේවය වැදගත් ලෙස සැලකේ. ඩාන්ටේගේ පුරෝගාමි සාහිත්‍ය කටයුතුවලින් පසු වසර 300ට පමණ ඉතාලි සාහිත්‍යය කාව්‍යකරණයට අමතරව ආචාරධර්ම, දේශපාලනය යන විෂයයන් අරභයා ද ඔහු විසින් ග්‍රන්ථ සම්පාදනය කර ඇත. සම්භාව්‍ය ලතින් සාහිත්‍යය පිළිබඳ ව මෙන් ම ක්‍රිස්තියානි දේවධර්මය පිළිබඳ ව ද ඉතා ගැඹුරු දැනුමක් ඔහුට තිබුණු බව ඔහුගේ කෘතිවලින් ප්‍රකට වේ.
ඩාන්ටේ ක්‍රි.ව. 1265 දී ඉතාලයේ ප්ලෝරන්ස් නුවර උපන්නේ ය. ග්‍රීක, ලතින් වැනි සම්භාව්‍ය අධ්‍යයන ද ක්‍රිස්තියානි ධර්මය ද ඇතුළත් සාරවත් අධ්‍යාපනයක් ඔහු ලැබූ බව පෙනේ. ෆ්ලෝරන්ස්හි දේශපාලන කටයුතුවල ක්‍රියාකාරී ලෙස නියැළුණු ඩාන්ටේ 1290 ගණන්වල දී එහි රාජ්‍ය පරිපාලනයේ වැදගත් තනතුරු කීපයක් ද දැරුවේ ය. මේ අවධියෙහි දේශපාලන ලෝකයේ පැවති දරුණු බල අරගලයෙහි විපාකයක් වශයෙන් විරුද්ධවාදී කණ්ඩායමක් බලයට පත් වූ අවස්ථාවෙහි ඔහු රටින් පිටුවහල් කරන ලදි. ආපසු පැමිණිය හොත් මරණීය දණ්ඩනයට යටත් වීමේ තර්ජනය මත සිදුවූ මේ පිටුවහල් කිරීම නිසා 1302 සිට මරණය තෙක් රැවේනා නගරයේ වාසය කළේ ය.
ඩාන්ටේගේ මුල් කෘති අතර La Vita Nuova ('නව දිවිය') නම් 1293 දී පමණ රචිත ප්‍රේම කාව්‍යය සංග්‍රහය ප්‍රසිද්ධ ය. එහි ප්‍රධාන චරිතය වන්නේ බියට්‍රිස් නමැති ඔහුගේ සිත් බැඳගත් කාන්තාවයි. වර්ෂ 1386 දී පමණ 'සුඛාන්තය' ලිවීම ඇරඹුණි. (මෙය 'දිව්‍යමය සුඛාන්තය' යනුවෙන් පසුකාලීන රසිකයන් විසින් නම් කෙරිණි.) මෙය කොටස් තුනකින් හා සර්ග සියයකින් ද සමන්විත ය. 'නිරය' නමැති පළමු කොටසින් මිනිසුන් තමා කරන ලද අපරාධවලට වන්දි වශයෙන් නිරාදුක් විඳිනා නිරයන් මැදින් කථානායකයා (ඩාන්ටේ) යන ගමනක් විස්තර වේ. ඔහුගේ මාර්ගෝපදේශකයා ශ්‍රේෂ්ඨ ලතින් සාහිත්‍යධරයෙකු වන වර්ජිල් ය. නිරාදුක් විඳින්නන් අතර ඓතිහාසික පුද්ගලයෝ ද වෙත්. ස්වර්ගයට යාමට පෙර ශුද්ධභාවයට පත්වන ස්ථානය (Purgatory) යනුවෙන් හැඳින්වෙන දෙවෙනි ස්ථානයේ දී අනාගත බලාපොරොත්තු ඇතිව තම අතීත අපරාධවලට පසුතැවිලි වන්නෝ හමුවෙති. 'ස්වර්ගය' නමැති තුන් වන කොටසේ දී මාර්ගෝපදේශකභාවය (මේ වන විට මියගොස් සිටි) බියට්‍රිස්ට පැවරේ. උතුම් ආධ්‍යාත්මික ගුණ ශක්තියෙන් පරිපූර්ණ බියට්‍රිස් විසින් කවියා ස්වර්ගය මැදින් කැඳවා ගෙන ගොස් දෙවියන් වහනසේ වෙත පමුණුවනු ලැබේ. මෙහිදී ජීවිතයේ අර්ථය ද විශ්වයේ යථා ස්වභාවය ද කවියා පසක් කර ගනී. 'දිව්‍යමය සුඛාන්තය' මහා කාව්‍යයේ අන්තර්ගත ය. මෙය එය රචනා කිරීමේ දී යොදාගත් රිද්මයානුකූල කාව්‍යය ස්වරූපය ද සාහිත්‍යධරයන් විසින් මහත් ලෙස අගය කරනු ලැබේ.
ඩාන්ටේගේ අනෙක් වැදගත් කෘතියක් නම් 1303-1304 කාලයේ දී රචිත De Vulgari Elogventia ('ජනවහරේ ව්‍යක්තභාවය') යන්නයි. ලතින් බසින් රචිත මෙහි ඉතාලි ජනසාහිත්‍ය කෘති නිබන්ධ කිරීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. පසුව සමස්ත ඉතාලියේ ම සම්මත ලේඛක ව්‍යවහාරය බවට පත් වූ ෆ්ලෝරන්ස්හි උපභාෂාවට එම තත්වය ලැබීමට එක් හේතුවක් වූයේ ඩාන්ටේ සිය නිර්මාණ මඟින් එම ව්‍යවහාරයට ලබාදුන් ශක්තියයි. De Monarchdia ('රාජ්‍යත්වය') නම් 1312-13 දී පමණ ලතින් ගද්‍යයෙන් රචිත කෘතිය මඟින් එදා ශුද්ධ රෝම අධිරාජ්‍යය නම් වූ අධිරාජ්‍යය හා කතෝලික පල්ලිය අතර සන්ධානයක් මඟින් මෙලොවත් පරලොවත් සඳහා වැඩ සිදුවන යහපත් රාජ්‍යයක් පිහිටුවීමට ඔහු යෝජනා කෙළේ ය. Il Convivio ('භෝජන සංග්‍රහය') නම් 1304-1307 කාලයේ අරඹා අවසන් නොකළ ඉතාලි බසින් රචිත කාව්‍යයෙහි, දර්ශනය හා විද්‍යාව පිළිබඳ ඔහු තුළ වූ බහුශ්‍රැතභාවය මනාව පළවන බව කියනු ලැබේ.
(කර්තෘ: කේ.එන්.ඕ. ධර්මදාස: 2019)