ඩැනියල් ඕ'කොනල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Daniel O'Connell). (1775–1847). දේශප්‍රේමී අයිරිෂ් දේශපාලන නායකයකු හැටියට කීර්තියට පත් මෙතෙම එරට කතෝලික පවුලක ඉපිද ලන්ඩන්හි දී නීතිය හදාරා 1798 දී අයිරිෂ් නීතිඥ මණ්ඩලයට බැඳී ඒ සමඟ ම වාගේ සිය දේශපාලන ජීවිතය ද ඇරඹීය. මේ අවධියේ දී මහා බ්‍රිතාන්‍ය රජයෙන් අයිරිෂ් කතෝලිකයන්ට විරුද්ධව පනවා තිබුණු බාධක හා නීතිරීති ඉවත් කරවා ගෙන ප්‍රොතැස්තන්තවරුන් හා සම අයිතිවාසිකම් ලබාගැනීමේ සටනට පිවිසි හෙතෙම ස්වකීය සංවිධාන ශක්තිය, වාගීශතාව හා අප්‍රතිහත ධෛර්යය ද ප්‍රයෝජනයට ගනිමින් එම සටන් ව්‍යාපාරයෙහි නායකත්වය දිනාගත්තේය. 1823 දී හේ එම ව්‍යාපාරය නිසි ලෙස ගෙනයාම අරභයා කතෝලික සංගමය පිහිටුවීය. මෙහි සෑම සාමාජිකයකුගෙන් ම පැන්සය බැගින් ලැබුණු සම්මාදම් මුදල් වැය කොට විශාල මහජන ව්‍යාපාරයක් ඇරඹූ ඔහුට එංගලන්තයෙන් ද මහත් පිටුබලයක් ලැබිණි. ව්‍යාපාරයේ විශාලත්වය නිසා ම රජය එයට අත තැබීමට බිය විය. 1825 දී රජය එය තහනම් කර දැමූ විට කතෝලික ඡන්ද බලය සංවිධානය කළ ඔහු කතෝලිකයකු වශයෙන් තමාට අසුන් ගත නුහුණ ද 1828 දී අතුරු මැතිවරණයකින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. කතෝලිකයන්ට යම් යම් සහන නොදී අයර්ලන්තයේ සිවිල් යුද්ධයක් වැළැක්වීමට බැරි තත්වයක් මෙහි දී පෙනී ගියෙන් අග්‍රාමාත්‍ය වෙලිංටන් ආදිපාදවරයා 1829 දී විමුක්තිදාන (Emancipation) පනත සම්මත කර ගත්තේය. 1832 වන විට පාර්ලිමේන්තුවේ අයිරිෂ් මන්ත්‍රීවරුන් 45 දෙනකුගේ නායකත්වය දැරූ ඕ'කොනල් 1835 දී පීල්ගේ කොන්සර්වටිව් රජය පෙරළා දැමීමට උදව් විය. අනතුරුව විග් රජයට ආධාර දෙමින් අයර්ලන්තයේ ඇතැම් ප්‍රතිසංස්කරණයන් කරවා ගත් ඔහුට වර්ෂ කීපයක දී විග් රජයෙන් ද එතරම් යහපතක් නොවන බව පෙනිණි. ඔහු ‘අවලංගු කිරීමේ සංගමය’ (Repeal Association) නම් වූ නව ජනතා ව්‍යාපාරය පිහිටුවා ගත්තේ මෙසමයෙහි දීය. මේ මගින් රැස්වීම් පවත්වා බලවත් උද්ඝෝෂණ ගෙන ගිය ඔහු තම සංවිධානයෙහි ශක්තිය පෙන්වා එමගින් සිය යෝජනාවලට රජය කැමති කරවා ගැනීමට ඉටා ක්‍රියා කෙළේය. 1843 දී මහත් බලාපොරොත්තු ඇතිව ඔහු සංවිධානය කළ දසලක්ෂයක් ජනතාවගේ පෙළපාළිය තහනම් කළ රජය ඔහු සිරගෙට යැවීය. 1844 දී ඔහුගේ සිර දඬුවම අවලංගු වුව ද ඔහුගේ සෞඛ්‍යය පිරිහී ගොස් තිබිණි. යොවුන් පරපුර හා ඔහු අතර වාදභේද ද පැන නැංගේය. 1847 දී රෝමයට වන්දනාවේ යමින් සිටිය දී මියගිය ඔහු උදාර දේශප්‍රේමියකු හැටියට අයිරිෂ්වරුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වේ. මොහු ‘විමුක්තිදායකයා’ (the Liberator) යන විරුදාවලියෙන් හැඳින්විණි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩැනියල්_ඕ%27කොනල්&oldid=12090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි