ඩිංගෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Dingo). ඕස්ට්‍රේලියා මහද්වීපය පුරා ම පැතිර සිටින කානිස් (සුනඛ) ගණයට අයත් වනවාසී බලු විශේෂයකි. මොවුහු බල්ලන් නොවන අතර ඕස්ට්‍රේලියාට පමණක් සීමා වී සිටින ටැස්මේනියාවේ හෝ නිව්ගිනියාවේ හෝ අන් කිසිම රටක දැකිය නොහැකි සත්ත්ව විශේෂයකි.

වෘකයාටත් බල්ලාටත් සමානතාවක් දක්වන ඩිංගෝ ක්ෂාර පාට (creawny) සිට රතුවන් කහපාට දක්වා සෑම වර්ණයක ම දක්නට ඇති සතෙකි. එමෙන් ම ඇල්බිනෝ (albino) සතුන් පිළිබඳ ව ද වාර්තා වී ඇත. මොහුගේ දත් උල් වූ ශක්තිමත් ඒවා ය. වලිගය දිග ය. රෝම බුසියකින් යුතු අග්ගිස්ස සුදු පැහැ ගනී. පාද ද අග සුදුවන් ය. උදරය වක ගැසී ඇත. හොම්බ උල් ය. ත්‍රිකෝණාකාර විශාල කන් පෙති නිරතුරුව කෙලින් ම පවතියි. මේ ලකුණුවලින් ලංකාවේ සාමාන්‍ය බල්ලාට මද සමානතාවක් දක්වයි. ඩිංගෝ බිරීමෙහි අසමත් ය. මොහුගේ දිග බිරුලීම වෘකයකුට දක්වන නෑකමකි. ඩිංගෝගේ මේ දෙකට ම නැති ගතිගුණ ඔහු කානිස් පවුලේ වෙනස් ම ඇත්තක් බවට සාධක ය.

ඩිංගෝ ගෘහාශ්‍රිත (domestic) සතෙක් නොවේ. ගෘහශ්‍රිත කළ හැකි වන්නේ ද අමාරුවෙන් බවත් හීලෑ කළ ද වනවාසී ගති අත් නොහැරෙන බවත් පෙනේ. ගව පට්ටි බලා ගැනීමට තරම් හීලෑ කළ ද ගොවිපළට කඩා වැදී සතුන් ඩැහැ ගැනීමේ සහජ පුරුද්ද රාත්‍රී කාලයේ දී ඉස්මතු බවත් පවසති. ඩිංගෝ මව වරකට පැටව් 5 සිට 10 දෙනෙකු දක්වා ගණනක් බිහි කරයි. පැටවුන් ප්‍රසූත කරන්නේ ශීත කාලය අවසන දී හෝ වසන්ත කාලයේ දී ය. පැටව් බිහිකිරීමට මව් සතා ගස් බෙනයක් හෝ ගුලක් හෝ ගල් ගුහාවක් තෝරා ගනියි. මේ පැටවුන් ළදරු කාලයේ දී ම යමෙකු විසින් ඇති කරනු ලැබුවහොත් ස්වාමියාට ඇල්මක් දක්වනු පෙනේ. එසේ වුව ද මේ ඩිංගෝ 'හීලෑ' තත්වයට දියුණු වන්නේ නැත. කෝප කරනු නොලැබුවහොත් ඩිංගෝ මිනිසාට පහර දෙන්නේ ද නැති තරම් ය. මෙකල ද ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් සමග මොහු දඩයමෙහි යෙදෙයි. වනවාසී ඩිංගෝ තනි ව හෝ දෙදෙනා බැගින් එක් ව දඩයමෙහි යෙදීමෙහි ලා මොහු දක්වන්නේ පුදුම කපටි, ශූරකමකි. නිශ්ශබ්ද ව ගොදුරට ළංවීමෙහිත් වහා ඩැහැ ගැනීමෙහිත් නිපුණ වී සිටියි. ඕස්ට්‍රේයාවේ ගොවිපළවල අලුත උපන් වසු පැටවුන් හා බැටළු පැටවුන් සියයට 50 සිට 60 දක්වා ප්‍රමාණයක් අතුරුදහන් වන්නේ ඩිංගෝට ගොදුරු වීමෙන් බව පෙනේ. (1965) මේ හැරෙන්නට ජව සම්පන්න පැසිපෝතකයෙකු (Marsupial) වන කැන්ගරු පවා ඩිංගෝ විසින් දඩයම් කැරේ. ඩිංගෝගේ කුකුළන් දඩයම නිසා ද ඕස්ට්‍රේලියානු ගොවියා විඳින පාඩුව අතිමහත් ය.

මොහු බල්ලන් සමග දෙමුහුම් කිරීමෙන් වෙනත් සුනඛ විශේෂයක් ඇති කළ හැකි වුව ද එය පහසුවෙන් කළ හැකි දෙයක්මත් නොවේ. ඩිංගෝ සහ ඇල්සේෂන් දෙමුහුම කොහෙත්ම කළ නොහෙන දෙයක් වන්නේ මොවුන්ගේ වෘක ආදිකල්පිකයන් (progenitors) අතර ස්වභාවයෙන් ම ප්‍රතිවිරුද්ධතාවයක් (antagonism) ඇති හෙයිනි. ඩිංගෝ සහ කොලී නමැති මුර බල්ලන් (sheep dog) දෙමුහුමෙන් විශාල සුනඛයෙකු නිපදවා ඇත.

ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ මෙන් ම ඩිංගෝගේ ද මුල් ප්‍රභව සෙවීමට ගත් ප්‍රයත්න මේ තාක් සාර්ථක වී නැත ඇත. මොවුහු ඉන්දියානු වල්බල්ලන්ගෙන් හෝ ආසියාතික වෘකයාගෙන් ගෘහාශ්‍රිත තත්ත්වයකට මදක් පැමිණි විශේෂයක් බවත් ඕස්ට්‍රේලියාව පළමුවරට අභිබවනය කළ ගෝත්‍රික ජනයා හා සමග පැමිණි බවත් එක් මතයිනි. ටොරොස් සමුද්‍ර සන්ධියෙහි ඇති පාලමක් වැනි ගොඩබිම් කොටස දිගේ ඩිංගෝ පැමිණෙන්නට ඇත යනු සමහරෙකුගේ මතය වුව ද වඳ වී ගිය පැසිපෝතකයන්ගේ පාෂාණගත ඇටකටු සමග මොහුගේ ඇටකටු තිබීමත් අනෙක් (non-Marsupial) ක්ෂීරපායින්ගේ අස්ථි ඒ සමග නොවීමත් නිසා ඒ මතය එතරම් ප්‍රබල එකක් ලෙස සැලකිය නොහේ. මොවුන් පැමිණෙන්නට ඇත්තේ මෑත ප්ලයිස්ටොසින (late Pleistocene) යුගයෙන් පසුව දිග ඔරුවලින් මහද්වීපයට පැමිණෙන්නට ඇති මිනිසුන් සමගිනි. ඩිංගෝ පිළිබඳව පළමුවෙන් ම සඳහන් වන්නේ දහත් වන සියවසෙහි ඕස්ට්‍රේලියාට පැමිණි දේශාටකයන්ගේ ලියවිලිවලයි. මුල් ම සටහන ඇත්තේ 1623 දී ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළෙහි වූ විශාල සුනඛයකුගේත් මිනිසෙකුගේත් පියසටහන් සම්බන්ධයෙනි. ඊළඟට තවත් දේශාටකයකු වන Dampier 1700 දී මෙසේ ලියා ඇත. "අද මගේ පිරිවර විසින් කුසගින්නෙන් පෙළෙන වෘකයන් වැනි සතුන් දෙතුන් දෙනෙකු දැක ඇත. උන් සමෙන් වැසුණු ඇටසැකිළි වැනි ස්වදේශීය සුනඛයෝ ය."

කපිතාන් ජෙම්ස් කුක් එක්දාස් 1770 දී කුක්ස්ටවුන් ප්‍රදේශයෙහි වෙසෙන ස්වදේශීන් පිළිබඳ ව මෙසේ ලියා ඇත. "මේ ස්වදේශීන් සතුන් වශයෙන් ඇති කරන්නේ බල්ලන් පමණකි. මේ බල්ලෙකු මම ද වරක් දිටිමි" යනුවෙනි.

පසු කලෙක ආණ්ඩුකාර ධුරයට පත් වූ ජොන් හන්ටර් විසින් 1788 දී ඩිංගෝ පැටවුන් තම නැවෙන් ගෙන ගොස් ඕලන්ද ජාතික නිලධරයෙකුට තෑගි කරන ලදි. යුරෝපා ජාතික ගොවීන් ඕස්ට්‍රේලියාවට ගොඩබැසී කාලයේ දී සිටි 'ඩිංගෝ සුනඛ සංඛ්‍යාව' ඉතා ස්වල්පයක් බවත් මේ ගොවීන් විසින් ගවයන් බැටළුවන් හා කුකුළන් ඇති කිරීම ඇරඹීමත් සමග ඩිංගෝ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් වැඩි වූ බවත් ඉතිහාසයෙන් පෙනේ. අද ඕස්ට්‍රේලියානු ගොවිපලට හිරිහැරයක් බවට පත් වී සිටින ඩිංගෝගෙන් තම සතුන් ආරක්ෂා කර ගනු වස් ගොවීන්ට විශාල සටනක් කිරීමට සිදු වී ඇත. සැතපුම් ගණන් දිගට දිවෙන උස් වැටවල්, බොරු වළවල්, උගුල් හා වස වර්ග යෙදූ ආහාරත් මෙහි ලා උදව් වන අතර වෙඩි තැබීමෙන් ද මොවුන් මැඩලීමට උත්සාහ කැරේ.

ඩිංගෝ යන නම මේ සත්වයාට සිඩ්නිය අවට වෙසෙන ස්වදේශීය ජනයා විසින් භාවිත කැරෙන නමයි. විද්‍යාඥයන් විසින් නම් කරන ලද්දේ කානිස් ඇන්ටාර්ක්ටිකුස් (Canis antarcticus) හෙවත් දකුණු දිග සුනඛයා නමිනි. පසු කලෙක එය වඩාත් උචිත ලෙසින් කානිස් පැමිලියාරිස් ඩිංගෝ (Canis familiars dingo) යනුවෙන් වෙනස් කර ඇත.

(සහාය: සමීර් මහතා, පුස්තකාලයාධිපති, ඕස්ත්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය)

(කර්තෘ: මාධවී සේනාරත්න: 1981)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩිංගෝ&oldid=4400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි