ඩේටන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Dayton). ඇමෙරිකා එක්සත් ජනපදයේ නිරිත දිග ඔහියෝ ජනපදයේ මොන්ට්ගෝමරි කෝරළයේ පිහිටි නගරයක් හා ඡන්ද කොට්ඨාසයක් මෙනමින් හැඳින්වේ. මියාමි, ස්ටිල් වෝටර් හා මෑඩ් (Mad) යන ගංගාවන් අසබඩ පහත් පිටාර තැන්නේ මේ නගරය පිහිටා තිබේ.

මේ ප්‍රදේශයේ සුදු ජනයා පදිංචි වීම ආරම්භ වූයේ 1795 ග්‍රීන්විල්හි දී ෂෝනි (Shawnee) ඉන්දියානුවන් සමඟ ඇතිකර ගත් එම ගිවිසුමෙන් පසුව ය. ජොනතන් ඩේටන් ඇතුළු විප්ලවකාරී සොල්දාදුවන් පිරිසක් මේ බිම් ප්‍රදේශය මිලට ගෙන නව නගරයක් සැළසුම් කළහ. ඩේටන්ගේ නාමයෙන් මේ නගරය ඩේටන් යනුවෙන් නම් කරන ලදි. කෘෂිකාර්මික ද්‍රව්‍ය නැව් ගත කරන තොටුපළක් හැටියටත් ආරම්භයේ දී ඩේටන් ප්‍රසිද්ධියට පත් වූයේ ය. 1829 දී ඩේටන් සිට සින්සිනාටි දක්වා මියාමි හා ඊරි ඇළ මාර්ග තැනීමත්, 1851 දී ස්ප්‍රින්ෆීල්ඩ් (Springfield) දක්වා දුම්රිය මාර්ග තැනීමත්, මෙහි සීඝ්‍ර කාර්මික හා වාණිජ දියුණුවක් ඇති වීමට රුකුල් දුන්නේය. විල්බර් හා ඕවිල් (Wilbur & Orville) රයිට්ගේ ජන්ම භූමිය මෙම නගරයයි. 1892 දී ඔවුහු බයිසිකල් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් මෙහි ආරම්භ කළහ. ගුවන් යාන නිපදවීම සඳහා මුල් ම පර්යේෂණ පවත්වන ලද්දේ මෙහි දී ය.

1913 ඇති වූ මහා ගංවතුරකින් මෙම ප්‍රදේශයට මහත් අලාභහානි සිදුවිය. එහෙයින් අනාගතයේ දී ගංවතුරෙන් සිදුවිය හැකි උපද්‍රව වැළැක්වීම සඳහා පියවර රැසක් ම ගන්නා ලදි.

විශාල හා සංකීර්ණ නාගරික ප්‍රදේශයක් මධ්‍යයේ පිහිටා ඇති ඩේටන් නගරය අවට ඇති සාරවත් කෘෂිකාර්මික ප්‍රදේශයේ නිපදවන ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීමේ හා බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ද වේ. I වන හා II වන ලෝක සංග්‍රාම සමයන්හි දී ගුවන් තරණය පිළිබඳ පර්යේෂණ ආයතන මෙහි පිහිටුවන ලදින් වර්තමානයේ ගුවන් සේවා පිළිබඳව ද ඩේටන් වැදගත්කමක් උසුලයි.

රයිට්-පැටර්සන් (Wright-Patterson) ගුවන් හමුදා මූලස්ථානය 1946 දීත් ගුවන් ගමන් පිළිබඳ කෞතුකාගාරයත් 1971 දීත් මෙහි පිහිටුවනු ලැබී ය.

ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර, ගණක යන්ත්‍ර, මොටර් රථ අමතර කොටස් මෙහි නිපදවන ප්‍රධාන කාර්මික භාණ්ඩ වේ. මේ හැරුණු විට කඩදාසි හා රබර් භාණ්ඩ නිෂ්පාදනය ද සඟරා මුද්‍රණය ද කෙරේ.

ඩේටන්හි ඇති අධ්‍යාපන ආයතන අතුරින් 1850 පිහිටුවන ලද ඩේටන් විශ්ව විද්‍යාලයත්, 1967 දී පිහිටුවන ලද රයිට් රාජ්‍ය විශ්ව විද්‍යාලයත් (Wright State University) 1871 පිහිටුවන ලද දේවධර්ම සෙමනේරියන් (Theological Seminary) වැදගත් වේ. ඩේටන්හි පිහිටි පෝල් ලෝරන්ස් ඩන්බාර් නම් නීග්‍රෝ ජාතික කවියාගේ නිවාසය කෞතුකාගාරයක් බවට පත්කර තිබේ. ජනසංඛ්‍යාව (1970) නගරයේ 243,601ක් ද නාගරික ප්‍රදේශයේ 685,942ක් ද විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ටෙනසීහි රියා (Rhea) කෝරළයේ පිහිටි නගරයක් හා ඡන්ද කොට්ඨාසයක් ද ඩේටන් නමින් හැඳින්වේ.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩේටන්&oldid=4737" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි