ඩේසි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(බෙලිස් පෙරෙනිස්-Bellis perennis). කොම්පොසිටේ කුලයට අයත් ගෙවතු අලංකාර කිරීම සඳහා වවනු ලබන පැළෑටියකි. මෙයින් සමහරක් වල් පැළෑටි ලෙසින් ද වැවේ.

ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට අයත් වන ඩේසි ආකාර (verities) සිය ගණනක් ඇත. ප්‍රධාන වර්ග දෙක යුරෝපීය (ගෙවතු) ඩේසි හා ඔක්ස් අයි ඩේසි වේ.

යුරෝපීය ඩේසිවල සාමාන්‍යයෙන් කඳන් නොමැත. පිටතට පෙනෙන්නේ පැතලිව පිහිටි පත්‍ර රාශියක් මෙනි. පත්‍ර අඟල් දෙකක් පමණ දිග ය. පටන් ගැන්මේ දී එය පටු ය. අග්‍රය දෙසට වත්ම පුළුල් වේ. පත්‍ර දාරය යන්තමින් කඩතොලු වූ ආකාරයක් පෙන්වයි. මූල පද්ධතිය සාමාන්‍යයෙන් වාර්ෂික ය.

පුෂ්ප හටගන්නේ කෙටි නටුවල අග ය. ඒ ඒ මුකුටයට වෙන වෙන ම වෘත්තයක් ඇත. සංකීර්ණ පුෂ්ප ඇත. වටේට ඇති පුෂ්ප (Ray Flowers) නිසා පුෂ්පය තාරකා හැඩයක් ගනී. මේවා සුදු, දම්පාට හෝ රෝසපාට විය හැකි ය. මධ්‍යයේ ඇති පුෂ්ප කහවන් ය. මල් පිපෙන කාලය නොවැම්බර් සිට අප්‍රේල් දක්වා ය.

ප්‍රචාරණය තණ ඇට සමඟින් සිදුවේ. වරක් පැල වූ විට එය වඳකිරීම අපහසු වන තරම්ය . (ඇමෙරිකාව) මේ ශාකය හිරුඑළිය ඇති විට හොදින් වැඩේ. තණබිම්, වඟුරුබිම්වල හොදින් ව්‍යාප්ත වේ. මේවා විශේෂ දෙතුන්සීයක් ඇත. ලංකාවේ දැකිය හැකි ඒවායින් ප්‍රධාන කීපයක් පහත දැක්වේ. දකුණු වේල්සය හා ක්වීන්ස්ලන්තය නිජබිම වූ ඕස්ට්‍රේලියානු ඩේසි (Vittadinia australis) සුදුවන් හෝ ක්‍රිම්සන් පාට ඇති පුෂ්පයන් ය. මොන්ටානෝවා සුදු පැහැ පුෂ්පයන් ඇති ඩේසි වර්ගයකි. මේ දෙක ම වල් පැළෑටි ලෙසින් සැලකිය හැකි ය.

බාර්බර්ටන් ඩේසි (Gerbera Jamesoni) ගෙවතුවල සිටුවනු ලබන වල් පැළෑටියකි. එය වැඩෙන්නේ හියුමස් පසෙහිය. හිරු එළිය හොදින් අවශ්‍ය ය. එය ට්‍රාන්ස්වාල්හි ශාකයකි.

මෙම ඩේසි පැළෑටි සියල්ල බෙලිස් ගණයට අයත් වේ. ඒ හැරෙන්නට ඔක්ස් අයි ඩේසි (Oxeye Daisy) හෙවත් ක්‍රිසැන්තිමම් ඩේසිවලට වඩා වෙනස් ය. අඩි තුනක් පමණ උස ය. සිහින් ප්‍රරෝහය (කඳ) කෙලින් ඇති අතර හරිත වර්ණය ගනියි. මේ කඳේ දාරයන් දැකීමට පුළුවන. ප්‍රරෝහය පැන නගින්නේ තිරස් වූ මූල පද්ධතියකිනි. පත්‍ර අඟල් තුනක් පමණ දිග ය. තද කොළ පාට ය. පත්‍ර දාරය දිගේ දැති පිහිටා ඇත.

මෙය මෙක්සිකෝවේ උපත ලත් ශාකයකි. යුරෝපයේ වගුරුබිම්වල හා තණබිම්වල වඳකිරීමට අපහසු තරමින් පැතිර ගොස් ඇත. ලංකාවේ ද ඔක්ස් අයි ඩේසි දැකීමට පුළුවන. පුෂ්පයන් ප්‍රරෝහයේ අග පිහිටයි. අඟල් දෙකක් පමණ විශ්කම්භයක් මේවාට ඇත. (Ray Flowers) සුදු ය. මධ්‍යයේ ඇති පුෂ්ප කහවන් ය. නාභියේ දී (Centre) පහත් වී ඇත. පැතලි කවයකි. (Disc) පුෂ්ප හටගන්නේ දෙසැම්බරයේ සිට ජූනි දක්වා කාලය තුලයි. ලපටි පත්‍ර සලාද වශයෙන් ආහාරයට ගනු ලැබේ. (ඇමෙරිකාව) උතුරු කැරොලිනාවේ ජාතික පුෂ්පය ලෙසින් ඔක්ස් අයි ඩේසි පුෂ්පය සැලකේ.

(කර්තෘ: මාධවී සේනාරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩේසි&oldid=4736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි