ඩොන් කියෝටෙ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Don Quixote) ස්පාඤ්ඤ සාහිත්‍යධරයන් අතර ප්‍රසිද්ධතමයා ලෙස සැලකෙන මිගුවෙල් ද සර්වැන්ටේස් (1547-1616) විසින් ලියා ඇති විශිෂඨතම කෘතිය ඩොන් කියෝටෙ නම් නවකතාවයි. එහි ප්‍රධාන චරිතය වන්නේ ඩොන් කියෝටෙ නමින් හැඳින්වෙන ඉඩම් හිමියෙකි. පුරාණයේ විසූ 'නයිට්වරු' යනුවෙන් හැඳින්වුනු වීර සෙබලුන් පිළිබද අත්භූත කතා මහත් අභිරුචියෙන් කියවන ඩොන් කියෝටෙ, තමාද එබඳුම වීරවරයෙකු විය යුතු යැයි අදිටන් කරගෙන 'ලා මන්චාවෙහි ඩොන් කියෝටෙ' (Don Quixote of la mancha) නම් ආරූඩ නාමය ගෙන පෞරාණික නයිට්වරු මෙන් අයෝමය සන්නාහයක් පැළද තම 'රොසිනන්තෙ' නමැති මහලු අශ්වයා පිට නැගී වීර චාරිකාවක යෙදෙන්නේ ය. සන්චෝ පැන්සා (sancho panza) නම් ගොවියෙක් ඔහුගේ අතවැසියා ලෙස ඔහුගේ ගමනට එක් වෙයි. උස කෙට්ටු සිරුරින් යුත් ඩොන් කියෝටෙ මිටි තරබාරු සිරුරින් යුතුව තම බූරුවා පිට ගමන් කරන සන්චෝ පැන්සා යුවළ කරන කියන දෑ හාස්‍යජනක ය. නවකතාවේ විශාල කොටසක් යෙදී ඇත්තේ ඔවුනගේ උද්‍යෝගීමත් දෙබස් සඳහා ය. මතු පිටින් හාස්‍යජනක වුවත් ගැඹුරින් සළකා බලන විට ඩොන් කියෝටෙ කෙරෙන් පරමාදර්ශී ප්‍රයත්න නිරූපණය වන අතර සැන්චෝ පැන්සා යථාර්ථවාදීභාවය නිරූපණය කරන්නේ යැයි කිව හැකි ය.

නවකතාවේ නිරූපිත පරිදි ඩොන් කියෝටෙ විහිළුවට හා ගර්හාවට භාජනය වන්නේ ය. එහෙත් තමාගේ වීර ඉරණම ගැන ඇති විශ්වාසය ඒ කිසිවකින් පළුදු වන්නට ඔහු ඉඩ දෙන්නේ නැත.

නවකතාවේ දෙවන භාගය ඇරඹෙන්නේ තම ජීවිත කතාවේ පළමු කොටස ලේඛනගත ව පළවී ඇති බව ඔහු දැන ගන්නා අවස්ථාවෙනි. තම අපේක්ෂිත ජීවිත මෙහෙවර ඉටු කිරීමේ ප්‍රයත්නයෙහි තවදුරටත් නිරත වන ඔහුට අවසන තම මරණයට ටික කලකට පෙර තමා මෙතෙක් සිහිනයක් ලුහු බැඳ ගිය බව ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

ඩොන් කියෝටෙගේ චරිතය තමන් පිළිබඳ අනිසි ඇගයුමක් අනුව වීර ක්‍රියාවන්හි යෙදීමට තැත් දරන්නන් පිළිබඳ උදාහරණයක් ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි සලකනු ලබන්නකි.

(කර්තෘ: කේ.එන්.ඕ. ධර්මදාස)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩොන්_කියෝටෙ&oldid=4733" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි