ඩොමීනියන් ක්‍රමය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Dominian System). 'ඩොමීනියන් ක්‍රමය' යන වචනය ව්‍යවහාරයට පත්වූයේ බ්‍රිතාන්‍ය විසින් තම යටත්විජිතයක් වූ කැනඩාවට ලබා දුන් දේශපාලන තත්වය අයිරිෂ් නිදහස් රාජ්‍යයට ද ලබා දීමෙන් පසුව ය. මෙකී පදයේ අර්ථ නිර්ණය කරනු ලැබුවේ 1926 දී සහ 1930 දී පවත්වන ලද අධිරාජ්‍යය සම්මේලනයන්හි දී ය.

1926 දී නිකුත් කරනු ලැබූ ප්‍රකාශනයක් මඟින් මහා බ්‍රිතාන්‍යය සහ ඩොමීනියන් රාජ්‍යයන් අතර සම්බන්ධතාව පහදා දෙනු ලැබී ය. "අභ්‍යන්තර හා විදේශීය කටයුතු පිළිබඳ ව කිසිම අතකින් යටත් නොවන, තත්වය අතින් සමාන, එහෙත් බ්‍රිතාන්‍ය කිරීටයට පක්ෂපාතීත්වයකින් බැදී ඇති, කැමති විටක පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වෙනස් කරගත හැකි ස්වාභාවික ජන සමූහ" යන නිර්වචනය ඒ අනුව ලැබිණි. 1930 දී පවත්වන ලද අධිරාජ්‍යවාදී සම්මේලනයේ දී මේ තත්ත්වය සම්බන්ධ ව නීත්‍යානුකූල ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන ලදි.

ඩොමීනියන් ක්‍රමය යටතෙහි ඩොමීනියන් රටවල අභ්‍යන්තර කටයුතු කෙරෙහි ඇඟිලි ගැසීමක් කිරීමට බ්‍රිතාන්‍යයට නුපුළුවන. අන් ලෙස කියතොත්, ඩොමීනියන් රටවලට සම්පූර්ණ ස්වාධීනත්වය තිබේ. එහි ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මඟින් තෝරා ගැනුණු පාර්ලිමේන්තුවක් හා අමාත්‍ය මණ්ඩලයක් මඟින් සිදු වේ.

ඩොමීනියන් රටවල නාමික රාජ්‍ය නායකයන් වන අග්‍රාණ්ඩුකාරවරුන් ඒ ඒ රටවල ආණ්ඩු විසින් තෝරාගෙන රාජකීය අනුමැතිය ලබා පත් කර ගනු ලැබේ. ඩොමීනියන් රටේ ආණ්ඩුවේ තේරීමට බ්‍රිතාන්‍ය රාජකීය අනුමැතිය ලැබීම ඉබේට ම සිදුවන්නකි. ඩොමීනියන් රාජ්‍යයන්හි සම්පාදනය කරනු ලබන ව්‍යවස්ථා පනත් ක්‍රියාත්මක කිරීම වළක්වාලීමට (Imperial disallowance) බ්‍රිතාන්‍ය රජයට නුපුළුවන. ඩොමීනියන් තත්වය ලැබීමට පෙර ඇති කරන ලද අධිරාජ්‍යවාදී යුගයේ අණපනත් වෙනස් කිරීමට ඩොමීනියන් රටේ ව්‍යවස්ථාදායක මණ්ඩලය වන පාර්ලිමේන්තුවට පුළුවන. වෙළෙඳ ප්‍රතිපත්ති ද තිබෙන්නේ ඩොමීන්යන් පාලනය යටතේ ය.

1926 දී ඩොමීනියන් තත්වය නමැති සංකල්පය විග්‍රහ කරන ලද 'බැල්ෆර් ප්‍රකාශනය' (Balfour Declaration) වෙස්ට්මිනිස්ටර් ව්‍යවස්ථාව (Statute of Westminster) යනුවෙන් 1931 දී නීතිගත කරනු ලැබිණි.

පොදු රාජ්‍යය මණ්ඩලයේ පෞද්ගලික රටවල් ගෙන බැලූ කල්හි ඩොමීනියන් තත්වය පිළිබඳ යම් යම් වෙනස්කම් දැක්ක හැකි ය. එපමණක් නොව සම්පූර්ණ ස්වාධීනත්වය කෙරෙහි - සෛද්ධාන්තික වශයෙන් බලන කල්හි වූ සමහර සීමාවන් තිබේ. ඒ කෙසේ වෙතත්, පොදු රාජ්‍යය මණ්ඩලීය රටවල් තත්වය අතින් එක සමාන යැයි කිව හැකි ය.

ඩොමීනියන් තත්වය යටතේ අභ්‍යන්තර පාලන කටයුතු කෙරෙහි රාජ්‍යයකට සම්පූර්ණ ස්වාධීනත්වයක් තිබේ. විදේශ සම්බන්ධතා ගැන බලන කල්හි ද ඩොමීනියන් තත්වය ඇති රටක විදේශ කටයුතු සම්බන්ධ ව පිටස්තර රාජ්‍යයන්ගේ ඇඟිලිගැසීමක් සිදු නොවේ. මේ ලක්ෂණ හැරුණු විට, ඩොමීනියන් රාජ්‍යයක කැපී පෙනෙන්නා වූ තවත් විශේෂ අංගයක් නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් බ්‍රිතාන්‍ය කිරීටයට දක්වන සැලකීමයි. මේ අතර ම ඩොමීනියන් රාජ්‍යය සෙසු පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයන් හා සමඟ අභිමත පරිදි සබඳකම් පවත්වයි.

අභ්‍යන්තරික පාලන කටයුතු ගෙන යාමේ දී සම්පූර්ණ ස්වායත්තභාවය හිමිව තිබීම යනුවෙන් අදහස් කරන්නේ අභ්‍යන්තර ස්වාධිපත්‍යය තිබීමයි. අභ්‍යන්තර ස්වාධිපත්‍යය තිබෙන විට රටක ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් නීතිගත කරන ලද අණපනත් වෙන කිසි ම බාධකයක් නොමැතිව ඒ ඒ රටට වලංගු ලෙස සැලකේ. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) ව්‍යවස්ථාදායක බලය සීමා කරනු වස් එම රට විසින් ම සීමා ඇති කළහොත් මිස ඩොමීනියන් රාජ්‍යයවල ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නීතිරීති ඒ රටෙහි අනිවාර්යයෙන් ම වලංගු වේ. ඕනෑ ම පුරවැසියෙකුට බලපාන අයුරින් ඩොමීනියන් රාජ්‍යයක ව්‍යවස්ථා මණ්ඩලයට නීති පැනවීමට පුළුවන. ව්‍යවස්ථාදායක ස්වාධීනත්වය ලබා දීම පිළිබඳව විස්තර සහිතව කරුණු වෙස්ට්මිනිස්ටර් පනතෙහි අන්තර්ගත විය. එක්සත් රාජ්‍යයේ (මහා බ්‍රිතාන්‍යයේ) පාර්ලිමේන්තුව විසින් පනවන නීතියකට පටහැනි වුවද ඒ නිසා ඩොමීනියන් රාජ්‍යයට කිසිම නීතියක් හෝ පනතක් අවලංගු නොවන බව ද එහි සඳහන් ය. ඩොමීනියන් රාජ්‍යයකට තමන්ගේ නීතිවල ඕනෑ ම කොටසක් අවලංගු කිරීමේ බලය ඇති බව වෙස්ට්මිනිස්ටර් පනතින් පිළිගන්නා ලදි. මෙකී නීතිමය ඉඩකඩ කැනඩාව, දකුණු අප්‍රිකාව වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් විසින් ක්‍රියාවේ යොදන ලදි.

වෙස්ට්මිනිස්ටර් ව්‍යවස්ථාවට ම පටහැනි යැයි සැළකිය හැකි අණ පණත් අවලංගු කිරීමට හෝ නීතිගත කිරීමට හෝ ව්‍යවස්ථාදායක මණ්ඩලයට බලපුළුවන්කමක් තිබේදැයි දැනගැනීම මීලඟ ප්‍රශ්නයයි. මෙවැනි බලයක් නොමැතිවීම ඩොමීනියන් රාජ්‍යයේ ස්වාධීනත්වය නැති කරන්නකි. වෙස්ට්මිනිස්ටර් ව්‍යවස්ථාව මෙන් ම වර්තමානයේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කරන සහ අනාගතයේදී සම්මත කළ හැකි අණපනත් ද කිසි සේත් ඉන්දියාවට වලංගු නොවන බව 1947 ඉන්දියානු පණතෙහි සඳහන් කොට ඇත. මෙයින් හැ‍‍ඟෙනුයේ මෙකී බලය සඳහන් නොකර තිබුණ ද එය පහසුවෙන් ම ක්‍රියාවේ යෙදවිය හැකි බවයි. සර් අයිවර් ජෙනිංග්ස්ගේ (Sir Ivor Jennings) අදහසට අනුව මෙසේ කිරීමට ලංකාවට ද පුළුවන. එසේ නම් මෙවැනි බලයක් වඩා පැරණි ඩොමීනියන් රාජ්‍යයන්ට ද ඇතිවිය යුතු ය. වෙස්ට්මිනිස්ටර් ව්‍යවස්ථාවට විරුද්ධ ව ව්‍යවස්ථාවන් සම්පාදනය කර ඒ ව්‍යවස්ථා ඩොමීනියන් රාජ්‍යයේ උසාවි මඟින් වලංගු කර ගැනීමට ඉඩ තිබේ. මෙසේ කිරීමට නොපුළුවන් නම් බ්‍රිතාන්‍යය විසින් ම වෙස්ට්මිනිස්ටර් පනත අවලංගු කරනු ඇත.

නියම ස්වායත්ත බවක් තිබෙන්නේ නම් රටකට ස්වකීය ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමේ බලය (constitutional power) ද තිබිය යුතු ය. කැනඩාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ හැක්කේ වෙස්ට්මිනිස්ටර් ව්‍යවස්ථාව වෙනස් කිරීමෙනි. වෙස්ට්මිනිස්ටර් පනතේ 7 වෙනි කොටසෙහි මෙකී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලය කැනඩාවට නැති කරයි. නියම වශයෙන් බලන කල්හි මේ තහනමෙහි වැදගැම්මක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ෆෙඩරල් ආණ්ඩුව ප්‍රාදේශික ආණ්ඩුවත් හා සමඟ සම්මුතියකට පැමිණි විගස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙකී වගන්තිය බාධාවක් නොමැතිව වෙනස් කළ හැකි ය. කැනඩාව හැර සෙසු ඩොමීනියන් රාජ්‍යයන් සියල්ලට ම ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට බලයක් තිබේ.

මතුපිටින් බලන විට ඩොමීනියන් රාජ්‍යවල ඇතැම් අභ්‍යන්තර කටයුතු සම්බන්ධ ව බාධක රාශියක් ඇත. ඩොමීනියන් රාජ්‍යයවල අග්‍රාණ්ඩුකාරවරුන්ට නිෂේධ බලය ඇත්තේ ය. එහෙත් මේ බලය කිසි සේත් ඒ රටවල ස්වාධීනත්වය කෙරෙහි කිසි ම බාධකයක් ඇති නොකරයි. ඊට හේතුව අග්‍රාණ්ඩුකරුවන් සතු මේ බලය ක්‍රියාවේ යොදනු ලබන්නේ ඩොමීනියන් රාජ්‍යයේ ආණ්ඩුවේ උපදෙස් පිට නිසා ය. එපමණක් නොව මෙකී බලය පහසුවෙන් ම අහෝසි කර දැමීමට පුළුවන. 1937 දී States of the Union Act නමැති පනත මඟින් මෙකී බලය දකුණු අප්‍රිකාව විසින් අහෝසි කර දමන ලදි. 1937 දී ඒරේ රාජ්‍යය ද මෙවැන්නක් කළේ ය. පසුව තමතමන්ගේ රටවල නිදහස් පනත් මඟින් ඉන්දියාව, පාකිස්ථානය සහ ලංකාව විසින් ද මේ බලය ‍අහෝසි කර දමන ලදි.

ප්‍රතික්ෂේප කිරීමේ බලය ද මෙසේ ය. මේ බලය පාවිච්චියට නොගැනීම නිසා එය අභාවයට පත් වී ඇත. 1837 සිට කැනඩාවේ ද 1867 සිට නවසීලන්තයේ ද මේ බලය පාවිච්චි කර නැත. යම් බලයක් විශාල කාලයක් තුළ පාවිච්චි නොකර තිබුණු විට එය අභාවයට පත් වී යෑම අනිවාර්යයෙන් ම සිදුවන්නකි. ඔස්ට්‍රේලියාවේ හෝ දකුණු අප්‍රිකාවේ කිසිවිටක ව්‍යවස්ථාදායක මණ්ඩල විසින් සම්මත කරන ලද අණපණත් කිසිවක් ප්‍රතික්ෂේප කර නැත. ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි මේ ආකාරයේ බලයක් සඳහන් වී නැත්තේ ඉන්දියාවේ, පකිස්ථානයේ සහ ඒරේ (අයර්) නම් රටවල ය.

ඩොමීනියන් රාජ්‍යයක ස්වාධීනත්වය කෙරෙහි තවත් බාධකයක් ඇති වග කියනු ලැබේ. ඩොමීනියන් රාජ්‍යන්ගේ අනුමැතිය හා ඉල්ලීම දඩ පමණක් වුව ද ඒකාබද්ධ රාජ්‍යයේ පාර්ලිමේන්තුවට ඩොමීනියන් රාජ්‍යයන් වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදනය කිරීමට ඇති බලය යනු එයයි. එහෙත් මෙකී බලය කලාතුරකින් පාවිච්චියේ යොදා නැත. VII වැනි එඩ්වඩ් රජතුමාගේ සිහසුන අත්හැරීම පිළිගැනීම ප්‍රකාශ කිරීම සම්බන්ධව ව්‍යවස්ථාවක් කැනඩාව වෙනුවෙන් මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදි. සෛද්ධාන්තික වශයෙන් ගෙන බලන කල්හි මෙකී බලය ඩොමීනියන් රාජ්‍යයක ව්‍යවස්ථාදායක ශක්තිය (legislative competence) කෙරෙහි බාධක උපදවන්නකි. මේ ආකාරයේ ව්‍යවස්ථා සම්පාදනයක් ඉන්දියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, ඒරේ නමැති රටවල් පිළිනොගනී. මේ විදියේ බලයක් ඇති විටක එය නැති කර දැමීමට ඩොමීනියන් රාජ්‍යයකට පුළුවන. එම නිසා මේ බලය ඩොමීනියන් රාජ්‍යයක ස්වාධීනත්වය කෙරෙහි බාධක උපදවන බැව් කිසිසේත් කීමට නුපුළුවන. බැරිඩේල් කීත් සහ හැන්කි යන ව්‍යවස්ථා විශාරදයන්ගේ මතයට අනුව වෙස්ට්මිනිස්ටර් පනත අවලංගු කොට ඩොමීනියන් රාජ්‍යයන් වෙත පවරා ඇති බලතල සියල්ලක්ම ආපසු ගැනීමට පිළිවන. දේශපාලන යථාර්ථය දෙස බලන කල්හි මෙවැනි තත්වයක් මෙනෙහි කිරීමට පවා නොහැකිය. වරක් රටකට නිදහස ලබා දුන්නායින් පසුව යුද්ධකාමීව විනා එය ආපසු ගැනීමට කොහෙත්ම හැකියාවක් නැත. නීත්‍යනුකූල ලෙස බලන කල්හි මෙවැනි තත්වයක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් නීත්‍යනුකූල වශයෙන් ඩොමීනියන් තත්වය සම්පූර්ණ නිදහස යයි කිවනොහේ.

තවත් නීත්‍යානුකූල අඩුපාඩුවක් වන්නේ ඩොමීනියන් රාජ්‍යයක ප්‍රධාන පදවිය පත්කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය රජු විසින් යන්නයි. එහෙත් ඇත්ත වශයෙන්ම ඩොමීනියන් රාජ්‍යයක නාමමාත්‍ර විධායක තැන වන අග්‍රාණ්ඩුකාරවරයා පත් කරනු ලබන්නේ ඩොමීනියන් රාජ්‍යයයේ කැබිනට් මණ්ඩලයේ උපදෙස් පිට ය. එහෙයින් ඩොමීනියන් රාජ්‍යයක නාමමාත්‍ර විධායකයා පත් කිරීමේ නියම බලය පවතින්නේ ඒ රාජ්‍යයේ ආණ්ඩුව අතෙහි බැව් ප්‍රත්‍යක්ෂ වේ. ප්‍රධාන විධායකයා පත්කර ගැනීමට පමණක් නොව අභිමත පරිදි අස්කර දැමීමට ද ඩොමීනියන් රාජ්‍යයකට සම්පූර්ණ බලය නියම වශයෙන් තිබෙන බව ඒරේ රාජ්‍යය ස්වකීය ජනාධිපතිවරයා 1932 ඉවත් කළ විට ප්‍රත්‍යක්ෂ විය.

තම රටේ ඇති ශ්‍රේෂඨාධිකරනයට වඩා උසස් අධිකරණයකට අයදුම් කිරීමේ අයිතිය ඩොමීනියන් රාජ්‍යයක වැසියන්ට තිබීම ඩොමීනියන් රාජ්‍යයන්ගේ ස්වාධීන බලය සීමා කරන්නක් ලෙස සමහර අය සළකති. ඩොමීනියන් රාජ්‍යයවල වැසියන්ට මහා බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයේ අධිකරණ කොමිටි සභාවට අයදුම් කිරීමට පුළුවන. එසේ ප්‍රිවි කවුන්සිලයට යවන ලද නඩු විභාග කිරීමේ දී ඩොමීනියන් රාජ්‍යයේ විනිශ්චයකාරයෙකු ද එංගලන්තයේ විනිශ්චයකාරයන් හා සමඟ එම නඩු විනිශ්චය කරයි. එපමණක් නොව ඩොමීනියන් රාජ්‍යයකට ඕනෑම අවදියකදී ප්‍රිවි කවුසිලයට අයදුම් කිරීමේ බලය නැති කළ හැකි ව තිබේ. දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ ඒරේ (අයර්) රාජ්‍යය මෙන් ශ්‍රී ලංකාව ද මෙසේ කර ඇත.

ඩොමීනියන් වැසියන්ට මහා බ්‍රිතාන්‍යයෙන් ගරු සම්මාන ප්‍රදානය කිරීම සහ චෝදනා ඔප්පු වූ චූදිතයන්ට සමාව දීම බ්‍රිතාන්‍ය කිරීටය ඩොමීනියන් රාජ්‍යයන් කෙරෙහි තබාගෙන ඇති තවත් බලතල යයි සමහර අය සලකති. මෙකී බලය ඕනෑම අවස්ථාවක දී නැතිකර දැමීමට ඩොමීනියන් රාජ්‍යයකට පුළුවන. මේ බලය පාවිච්චි කිරීමට ඉඩ නොදුන් විට දකුණු අප්‍රිකාවේ ඒරේ (අයර්) රාජ්‍යයයේ මෙන්, ඉබේ ම අභාවයට පත්වේ. ලංකාවේ ද මෙය සිදු වී ඇත.

බ්‍රිතාන්‍ය රැජින (රජ) ඩොමීනියන් රාජ්‍යයයේ නායකයා වශයෙන් පිළිගැනීම ද ඩොමීනියන් රාජ්‍යයවල යටහත් තත්වය කියාපාන සාධකයක් වශයෙන් ඇතැම්හු සලකති. මෙසේ පිළිගැනීම අභිමත පරිදි කළ හැකි ස්වේච්ඡාවෙන් ස්වකීය රාජ්‍යයේ නායක වශයෙන් පිළිගැනීමට අකමැති වන ඕනෑ ම රාජ්‍යයකට එය නැතිකර දැමිය හැකි ය. මෙය ඉන්දියාව සහ ඒරේ (අයර්) රාජ්‍යයත් ශ්‍රී ලංකාවත් විසින් එය කර තිබේ.

විදේශ කටයුතු දෙස බලන කල්හි නම් රටක ස්වාධීනත්වය නීත්‍යානුකූල වශයෙන් පැහැදිලි ව තිබිය යුතු ය. ඊට හේතුව වනුයේ සෙසු රටවල් විසින් විදේශීය කටයුතුවල දී ගරු කරනු ලබන්නේ යම් රටක නීත්‍යනුකූල තත්වය වෙත හෙයිනි.

ජාතීන් අතර කටයුතුවල දී ස්වාධීන තත්වයක් ඉසිලීමට නම් රටක් සතුව විශේෂ අයිතිවාසිකම් රාශියක් ම තිබිය යුතු ය.

1. තානාපතිවරුන් විදේශ රටවලට යැවීම සහ විදේශීය රටවලින් තානාපතිවරුන් ලබාගැනීම;

2. තමාට කැමති විටක ගිවිසුම් ඇති කර ගැනීම;

3. අලුතින් බිහිවන රාජ්‍යයන් පිළිගැනීම;

4. ලෝකයේ කිසි ප්‍රදේශයක යුද්ධයක් ඇති වූ විට මධ්‍යස්ථව සිටීම;

5. අභිමත පරිදි යුද්ධ කිරීම සහ සාම ගිවිසුම් ඇති කර ගැනීම;

6. ඕනෑම ප්‍රාදේශික රටවල් කණ්ඩායමකට බැදීම;

7. පොදුරාජ්‍යය මණ්ඩලයෙන් කැමති විටක අස්වීම; යනුවෙනි.

ඉහත කී අයිතිවාසිකම් අරභයා පොදුරාජ්‍යය මණ්ඩලීය සාමාජික රටවල ඇත්තා වූ තත්වය පරීක්ෂා කර බලන කල්හි එම රටවල් මෙකී අයිතිවාසිකම් සියල්ලක් ම නිශ්චිත වශයෙන් භුක්ති විඳින වග අපට පෙනේ.

වෙස්ට්මිනිස්ටර් වයවස්ථාව නීතිගත වෙන්නටත් ප්‍රථමයෙන් විදේශ රටවල තානාපතිවරුන් ලබාගැනීමේ සහ විදේශ රටවලට තානාපතිවරුන් පත් කිරීමේ අයිතිවාසිකම ඔවුනට තිබුණේ ය. එක්සත් රාජධානියේ අවසර ගැනීම ඩොමීනියන් රාජ්‍යයන්ට ගිවිසුම් ඇති කර ගැනීමට ඇති බලය ගෙන හැර දැක්වීමට නිදසුනක් දීමට පුළුවන. කැනඩාව 1923 දී ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් 'හැලිබට් ධීවර ගිවිසුම' (Halibut Fisheries Treaty) ඒ නිදසුන වේ. අයර් රාජ්‍යය දෙවෙනි ලෝක සංග්‍රාමයේදී මධ්‍යස්ථ ව සිටියේ ය. කැනඩාවේ ආණ්ඩුව මෙම යුද්ධයට ගියේ බ්‍රිතාන්‍ය යුදබිමට බැස සත් දිනක් ගත වූවායින් පසුව ය. ඔස්ට්‍රේලියාව ඈත පෙරදිග රටවල් කෙරෙහි යුද්ධකාමී ප්‍රතිපත්ති තනිවම ගෙන ගොස් තිබෙන බව තවත් නිදසුනක් වශයෙන් කිව යුතු වේ.

පොදුරාජ්‍යය මණ්ඩලයේ සාමාජිකයෙකු වීම නිසා වෙනත් ප්‍රදේශීය කණ්ඩායමකට හවුල් වීමට නුපුළුවන් කමක් කිසිසේත් නැත. කැනඩාව 'පෑන් ඇමෙරිකන් යූනියන්' යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙන අතර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ 'පැසිෆික් එලයන්ස්' එකඟතාව පිහිටුවා ගෙන ඇත. මේ ආකාරයේ බලතල හිමිව සිටීම නිසා අන්තර්ජාතික නිදහස ඔවුන්ට තිබෙන වගට ගණන්ගෙන ඇත. එක්සත ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ කියවෙන අයුරින් එම සංවිධානය සමන්විත වනුයේ ස්වාධිපත්‍ය අතින් සම තත්වයක් ඇත්තාවූ රටවල් වලින්ය. එහි සාමාජිකත්වය ලැබීම රටක ස්වාධීනත්වය සහතික වශයෙන් කියාපාන එකම කරුණයි.

ඩොමීනියන් ක්‍රමය තුළ සිටීමෙන් ඒ රටවලට ප්‍රයෝජන ගණනාවක්ම අයත් වන බව කිව යුතුයි. ඩොමීනියන් තත්වය දැරීමෙන් ලැබෙන්නා වූ ප්‍රයෝජන අතර එතරම් දියුණු නොවූ ඩොමීනියන් රාජ්‍යයන්ට පොදුරාජ්‍යය මණ්ඩලයේ වඩා දියුණු වූ රටවල් විසින් ආර්ථික අතින් උදව්දීම විශේෂ ය. කොළඹ ක්‍රමය (Colombo plan) මීට නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය. පොදුරාජ්‍යය මණ්ඩලීය රටවල් අතර විද්‍යාත්මක සහ සංස්කෘතික සම්බන්ධතාවන් ඇති කිරීමට ද ප්‍රයත්න ගනු ලැබේ. දේශපාලන ප්‍රශ්නවලට මුහුණපාන්නට තිබෙන විට, රටවල් කණ්ඩායමක සහයෝගය තිබීම අතිශයින් උපකාරී වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය සඳහා අයදුම් කරන කල්හි, ලංකාවට පොදුරාජ්‍යය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය කෙතරම් අගය සහිත වී ද යන්නවිශේෂයෙන් සඳහන් කළ යුතු ව තිබේ.

(කර්තෘ: එල්.එස්. ගුණසේකර)

(සංස්කරණය: කේ.එන්.ඕ. ධර්මදාස)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩොමීනියන්_ක්‍රමය&oldid=4708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි