ඩොල්ඩ්‍රම්ස් තීරය
(Doldrums belt) ඩොල්ඩ්‍රම්ස් යනුවෙන් හඳුන්වන්නේ සමකය දෙපස අධික උෂ්ණත්වයෙන් ද අධික ආර්ද්‍රතාවෙන් ද යුත් අචල අල්ප වාතයෙන් යුත් පටු තීරයකි. සමකයේ සිට අංශක පහක් උතුරටත් අංශක පහක් දකුණටත් ඇතුළත සාමාන්‍යයෙන් මිලිබාර් 1,013කට අඩු සමක අඩු පීඩන තීරය ඩොල්ඩ්‍රම් පටිය යනුවෙන් ද හඳුන්වනු ලැබේ.
උතුරු හා දකුණු අර්ධගෝලයන්හි වැඩි පීඩන ප්‍රදේශවල හටගන්නා වූ වෙළඳ සුළං ඩොල්ඩ්‍රම් හෙවත් සමක අඩු පීඩන තීරයේ දී එකිනෙකට හමුවෙයි. ඩොල්ඩ්‍රම් පටිය ඇතිවීමට කෙළින්ම හේතු වී ඇත්තේ ඒ තීරය ලබන ඉතාමත් දැඩි තාපයයි. සමක තීරයට අධික තාපයක් ලැබීමට හේතුව සූර්ය කිරණ ලම්බකව එම තීරයට පතිත වීමයි.
ඩොල්ඩ්‍රම්ස් තීරය තාප සමකයන් සමඟ සමපාත වීමට තුඩු දෙයි. තාප සමකය ඍතුමය පර්යටනයකට හසු වන බැවින් ඩොල්ඩ්‍රම් තීරය ද ඊට තරමක් පිටුපසින් දකුණටත් උතුරටත් පැද්දෙයි. මෙයත් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇති අන්‍ය පීඩන තීර ද දකුණටත් උතුරටත් සංචලනය වේ. සාමාන්‍යයෙන් උතුරු අර්ධ ගෝලයේ උෂ්ණ ඍතුවේදී තාප සමකය 50ක් පමණ උතුරටත් දකුණු ගෝලයේ උෂ්ණ ඍතුවේදී 50ක් දකුණටත් පැද්දේ. මේ නිසා කලාප දෙකක් හමුවන තැන හෝ ඒ අසල පිහිටි සමහර ප්‍රදේශ කිසියම් ඍතුවක දී එක් කලාපයකටත් වෙනත් ඍතුවක දී තවත් කලාපයකටත් හසු වෙයි. නිවර්තන දේශගුණය මෙයට කදිම නිදසුනකි. සමක නිවාත තත්වයක් වෙළෙඳ සුළං තත්වයත් මාරුවෙන් මාරුවට ඇතිවීම මෙවැනි නිවර්තන දේශගුණවල වැදගත් ලක්ෂණයකි.
අන්තර් නිවර්තන පෙරමුණ
විවිධ උෂ්ණත්වයෙන් ද ආර්දතාවයෙන් ද යුත් වාත ස්කන්ධ වැඩි වායු පීඩන කෝෂවල සිට පිටතට හමන තල ඒවා යම්කිසි පෙරමුණු කලාපවල දී ගැටෙයි. එම ගැටුම් කලාප කාලගුණයේ වෙනස්කම් ඇති කරවන ප්‍රදේශ වේ.
සමක අඩු පීඩන ඩොල්ඩ්‍රම්ස් කලාපයේ ද ඊශාන දිග වෙළෙඳ සුලං හා ගිනිකොණ දිග වෙළෙඳ සුළං මඟින් ගෙන එන නිවර්තන වාත ස්කන්ධ අභිසරණය වෙයි. එවිට එය අන්තර් නිවර්තන අභිසරණ පෙරමුණ යනුවෙන් හැඳින්වේ. මෙය ඇත්ත වශයෙන් ම ඩොල්ඩ්‍රම්ස් තීරයේ අඩු වායු පීඩන ප්‍රදේශයයි. එහෙත් මේ වාත ස්කන්ධ දෙකෙහි ම නිවර්තන වායුව අන්තර්ගත නිසා උෂ්ණත්වයේ දැඩි වෙනසක් හට නොගනී. අර්ධ ගෝල දෙක අතර උෂ්ණත්වයේ වෙනස්කම් අධිකතම වන්නේ ඒ ඒ ගෝලයේ ගිම්හාන ඍතුවේ අවසාන කොටසේ දී ය. එවිට ඩොල්ඩ්‍රම්ස් තීරය, සමකයෙන් ඈත් ව පිහිටේ. නිවර්තන කලාපීය කුණාටු තියුණු ලෙසින් ද බහුල ලෙසින් ද ඇති වන්නේ මේ ඍතුවේ දී ය. මේවා ඇතිවීමට වෙනත් හේතූන් ද බලපායි.
ඩොල්ඩ්‍රම් තීරයේ සුළං පිළිබඳ නව මත
ඩොල්ඩ්‍රම්ස් තීරයේ වායු සංසරණය පිළබඳ නව අදහස් කිහිපයක් භූගෝල විද්‍යාඥයන් විසින් මෑත යුගයේ දී ප්‍රකාශයට පත් කොට ඇත. මේ කලාපය තුළ අහිතකර කාලගුණික ලක්ෂණ ඇති වීමට හේතු වනුයේ අචල වූ ද තෙතමනයෙන් යුක්ත වූ ද ඩොල්ඩ්‍රම්ස් වාතයේ අස්ථායිතාවන් (Instability) එම වායුවෙන් ඇති වන සංවහන අකුණු කුණාටු වර්ෂාවන් යැයි පිළිගෙන තිබිණි.
එහෙත් මෑතක දී සොයාගත් කරුණු අනුව නිවාත වායු තත්වය සහ ඩොල්ඩ්‍රම්ස් සුළං සමකය දිගේ වසර පුරා ම පැහැදිළි නැති බවත් එය වසරේ සෑම කාලයක දී ම නොපවතින බවත් ය. ඇතැම් ස්ථාන සහ අවස්ථාවල දී මෝසම් සුළං හෝ වෙළෙඳ සුළං හේතු කොට ගෙන නොපෙනී යන තත්වයක් ද ඇති වීමට ඉඩ ඇත.
සැහැල්ලු අනියත (Variable) ඩොල්ඩුට්ස් සුළං ඇති තත්වයන් පවතින ප්‍රදේශ තුනක් හඳුනා ගෙන ඇත. මෙයින් විශාලතම ප්‍රදේශය බටහිර පැසිෆික් සාගරයේ සහ ඉන්දියන් සාගරයේ පිහිටියේ ය. එය 1800 නැගෙනහිර දේශාංශයේ සිට සමක අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ තෙක් කිලෝ මීටර් 16,000ක් පමණ දුරක විහිදෙයි. තවත් කුඩා ඩොල්ඩ්‍රම්ස් ප්‍රදේශ දෙකක් සමක අප්‍රිකාවේ බටහිර වෙරළේත් සමක මධ්‍යම ඇමෙරිකාවේත් බටහිර වෙරළේත් ස්ථානගත ව පවතී. මේවායේ ස්වරූපය කීලයක් (Wedge) ලෙස ය. ඒවායේ පුළුල් පාදකය මහාද්වීපික වෙරළබඩ කොටසේ විහිදෙන අතර බටහිර දෙසට පටු වී යයි. බටහිර අත්ලාන්තික් සාගරයේ සහ මධ්‍යම පැසිෆික් සාගරයේ ඩොල්ඩ්‍රම්ස් කීලවලින් ඔබ්බට අභිසරණය වන වෙළෙඳ සුළං අතර සැහැල්ලු අනියත සුළං කලාප නැති බව ද සොයාගෙන තිබේ. අවශ්‍යයෙන් ම ඩොල්ඩ්‍රම්ස් තීරය අභිසරණ කලාපයකි. එබැවින් වායුවේ සිරස් චලන ඇතිවී වළාකුළු හා වර්ෂාපතනය බහුල ව ලබා දේ.
අන්තර්-නිවර්ථන අභිසරණ කලාප
ඩොල්ඩ්‍රම්ස් කලාපයේ අභිසරණය වන වාත ස්කන්ධ මඟින් පෙරමුණු ක්‍රියාකාරීත්වය ඇති කිරීමට තරම් උෂ්ණත්වය හා ඝනත්වයේ වෙනස්කම් නැතැයි ප්‍රකාශයක් ද පවතී. මේ ගැන මතභේද ඇත. ඇතැම් අය පෙරමුණු ඇති බව පවසන අතර මධ්‍ය අක්ෂාංශවල අවපාත ඇති කරනසුලු අසන්තතික පෙරමුණු නැතැයි ද පවසති.
ඉතා බහුල වශයෙන් හඳුනාගෙන ඇත්තේ අන්තර් නිවර්තන අභිසරණ කලාපය (ITF)යි. වෙළෙඳ සුළං අභිසරණය වන කලාපය ලෙස මෙය හඳුනාගෙන ඇත. ඇතැම් අය උතුරු අන්තර් නිවර්තන අභිසරණ කලාප (NITC) සහ දකුණු අන්තර් නිවර්තන අභිසරණ කලාපය (SITC) යැයි දෙකක් වශයෙන් ද හඳුන්වති. මේ කලාප තාප සමකයේ උතුරු දකුණු පැද්දීම අනුව උතුරු හා දකුණු අර්ධගෝලවලට පැද්දෙන බවත් ප්‍රකාශ වේ. එබැවින් ඒ පිළිබඳ පැහැදිළි මතයක් නැති බව කිව යුතු ය.
ඩොල්ඩ්‍රම්ස් යන පදය ප්‍රථමයෙන් භාවිතා කළේ සමකය ප්‍රදේශයේ සාගරයෙහි යාත්‍රා කළ නැවියන් විසිනි. එම තීරුවේ යාත්‍රා කරන විට අචල වාතය නිසා නෞකා යාත්‍රා කිරීමට අපහසු වූ තත්වය ප්‍රථම වරට හඳුනාගත්තේ නැවියන් බව සඳහන් වේ.
(කර්තෘ: එස්මි ජී. ද සිල්වා)
(සංස්කරණය නොකළ)